මේ ලියන්නේ ඉතාමත් බර වූ හදවතකින් යුතුවය. එය විස්තරාත්මකව ඔබට කියන්නට මට අකුරු ගළපා ගත හැකි වේදැයි විශ්වාසයක් නැති බව පළමුවෙන්ම කියන අතරම ඊට සමාව අයදිමි.
මීට මොහොතකට පෙර මා නිවසට පැමිණියේ කුඩා කල සිට මගේ සමීපතම මිතුරෙකු මෙන්ම ගමන් සගයෙකුගේ ආදරණීය සහෝදරයාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමෙන් අනතුරුවය. මගේ මිත්‍රයාගේ සහෝදරයාට අත් පත් වූ ඉරණම අසන ඔබට මා කියන දේ සුළුවෙන් හෝ දැනෙනු ඇතැයි පමණක් මම විශ්වාස කරමි. ඒ නිසා අපහසුවෙන් හෝ මේ එන හැඟීම් ධාරාවෙන් බිඳක් මෙහි අකුරු කොට තබමි.
පෙරේදා දින මගේ මිතුරාගේ සහෝදරයාට (39 හැවිරිදි) පපු ප්‍රදේශයේ හදිසියේ ඇති වූ වේදනාවක් නිසා ඔහු මගේ මිතුරාත් සමඟම වාහනයට නැඟ රෝහල කරා යන්නට පිටත් වී ඇත. මගේ මිතුරා හැකි ඉක්මනින්ම ළඟම ඇති පෞද්ගලික රෝහල වෙත එහිදී තම සහෝදරයා කැඳවා ගෙන ගොස් ඇත. ඒ යන අතරතුර පවා ඔහු මගේ මිතුරාට ප්‍රවේශමෙන් රිය පදවන ලෙස අවවාද කර මුදල් අවශ්‍ය වුවහොත් තම ගිණුමෙන් ගන්නා ලෙස පවසා බැංකු කාඩ් පත පවා ඒ යනෙන තුර ලබා දී ඇත. කෙසේ වෙතත් ඔවුන් ගිය පළමු රෝහලේ හදිසි හෘදයාබාධයක් වැළඳී තිබූ ඔහුට ප්‍රතිකාර කරන්නට අවශ්‍ය බෙහෙත් තිබී නැත. ඉන් අනතුරුව ඔහුගේම ඉල්ලීම පරිදි ගිලන් රථයකින් දෙවන රෝහල කරා ගෙන ගියද එහි පවා ඔහුට ඒ අවස්ථාවේ ප්‍රතිකාර කරන්නට අවශ්‍ය බෙහෙත් තිබී නැත. කෙසේ වෙතත් ඉන් අනතුරුව අවාසනාවන්ත ලෙස එම දෙවන රෝහලේ දී මගේ මිත්‍රයාගේ ආදරණීය සොහොයුරා අවාසනාවන්ත ලෙස සිය අවසන් සුසුම් හෙළා ඇත.
මට මේ සම්පූරණ කතාව මගේ මිතුරාගෙන් ඇසූ විට ආ හැඟීම තරම් මූසල බවක් මා මෑතකදී අත් දැක නැත. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් සොහොයුරා තිදරු පියෙකි. වැඩිමල්ම දරුවාට වයස අවුරුදු 8ක් පමණය. කෙසේ වෙතත් අද සවස් භාගයේ සුසාන භූමියෙන් නික්මෙන්නට මත්තෙන් සිය පියා භූමදාන කළ ස්ථානයේ ඒ පුංචි පුතා දණ නමා සිය පියාට වන්දනා කර නික්ම යන දසුන ඔබ දුටුවේ නම් හෝ මියගිය සොයුරාගේ ආදරණීය බිරිඳ වඩාගෙන සිටි බාලම අත දරුවා බිම තිබෙන වලක් වටා වෙනදා නොදකින මහ පිරිසක් වට වී සිය පියාව පෙට්ටියකට දමා අද මේ කරන මේ අමුතු සෙල්ලම දෙස ලොකු කර ගත් ඇස් වලින් බලා සිටි අයුරු ඔබ දුටුවේ නම් හෝ මේ කතාව ඔබට දැනෙන්නට කියන්නට එයද මට පහසුවක් වනු ඇත. එලෙසින්ම මා අසලින් තබා ගත් මගේ මිතුරාගේ මෙන්ම මිය ගිය සොහොයුරාගේ ආදරණීය පියා ”අනේ මගේ පුතාට පස් දාන්න මට බෑ” කියා කඳුළු පිරි දෙනෙතින් භූමදාන වල අසලින් ඉවත් වනු ඔබ දුටුවේ නම් එයද මට පහසුවක් වනු ඇත. කෙසේ වෙතත් මම එය ඇස් දෙකෙන්ම දුටුවෙමි. ඒ නිසා ඔබට මෙය කියමි. මා සමඟ එහි සිටි මගේ අනෙක් මිතුරන්ද ඊට සාක්ෂි වනු ඇතැයි සිතමි.
මට ඔබෙන් අසන්නට ඇත්තේ එක ප්‍රශ්නයක් පමණි. මේ අහිංසක මිනිසුන් කළ වරද කුමක්ද? හොඳින් කතා බහ කරමින් ඉස්පිරිතාලයට ගිය තරුණ මිනිසෙකු පණ නල ගිය දේහයක් ලෙසින් තම ආදරණීයයන් හමුවට පැමිණෙන්නට කළ වරද කුමක්ද?
මා ඔබ තරම් දේශපාලනය නොදන්නවා වෙන්නට පුළුවන. එහෙත් මට වැටහෙන ආකාරයට අප දැන් මේ අත් විඳින්නේ රටේ කාලකණ්ණි පාලකයන් අපට දුන් උරුමයයි. අහිංසක රෝගීන්ගේ බෙහෙත් ටික උකසට තබා සංවර්ධන ව්‍යාපෘති කියමින් කොමිස් ගසා මහජන මුදල් විනාශ කළ සාපලත් පාලකයිනේ, ඔබට මේ මියෙන ජීවිත ගැන හෝ මේ දින ගණනාව පුරාවටම තමන් සාධාරණව හරි හම්බ කර තමන්ගේ ඉන්ධන ටික ගෑස් ටික මිලදී ගන්නට පෝලිම් වල හිටවා තබා විඩාවට පත් කර මරා දැමූ මිනිසුන්ගේ ජීවිත ගැන හෝ අල්ප මාත්‍රයක හැඟීමක් නැති බව දනිමි. ඒ නිසා මේ අමතන්නේ උන්ව රජවරු ලෙස සළකමින්, උන්ගේ පවුල් පාලනය, හොරකම් ජඩකම් ඉවසන, ඒවා සාධාරණීකරණය කරන පුරවැසියන්ටය. මේ මරණ සියල්ලටම ඔබ වග කිව යුතුය ! ඔබ දේශපාලකයෙකුගෙන් යැපෙන මිනිසෙකු නම් හෝ ලැබෙන වරප්‍රසාද නිසා හෝ දේශපාලන වහල් භාවය නිසා නිහඬව සිට ඉඳහිට තමන්ගේ විරුද්ධ දේශපාලන කඳවුරේ වැරදි පමණක් දකින ගැත්තෙකු නම් මේ මරණ වලට ඔබ වග කිව යුතුය. එමෙන්ම සරලම කිවහොත් ඔබ අසාධාරණය පෙනී පෙනී අදටත් නිහඬව සිටින පුරවැසියෙකු මේ නැතිවුණ/නැතිවෙන සෑම ජීවිතයකටම ඔබ වග කිව යුතුය ! අපේම මහජන මුදලින් යැපුණු/යැපෙන ජනතාවගේ සේවකයන් විය යුතු මහජන නියෝජිතයන් රජවරු කරන්නට ගියා නම් මේ මරණ වලට ඔබ වගකිව යුතුය !
මීට වඩා දෑ කියන්නට තරම් ශක්තියක් නැති තරමට මනස විඩාබරය. මේ මොහොතේ පවා බලලෝභිව එක පවුලක් රකින්නට කැස කන ආණ්ඩු පාර්ශවයත්, තමන් මේ අවස්ථාවේ දේශපාලනිකව සිදු කළ යුත්ත සිදු නොකොට වටේ යමින් කල් අදි මින් ඔවුනට සහය දෙන විපක්ෂයත් ජනතා ජීවිත උකසට තබා මේ කරන බල සෙල්ලම නවතන්නට ඔබ හා මම පුරවැසියන් ලෙස බල කළ යුතුය. ගෑස් පෝලිම් වල ඉන්ධන පෝලිම් වල මහ මඟ අධික තෙහෙට්ටුවෙන් මෙන්ම ඉස්පිරිතාල වල බෙහෙත් නොමැතිව මේ මිය යන්නේ අපේ මිනිසුන්ය. ඒ නිසා අවසාන වශයෙන්, පුරවැසියෙකු ලෙසින් ඔබේ නිහඬ බලා සිටීම සැපතක් ලෙස දැනෙනුයේ ඔබේ පවුලේ කෙනෙකු හෝ සමීපතමයෙකු මිය යනතෙක් පමණක්ම වග වේදනාවෙන් සිහිපත් කරමි.
හිමාල් අයියේ ඔබට නිවන් සුව !
- සචින්ද දුලංජන facebook
RN