උපාලි කොළඹගේ
ජාතික ආරක්ෂාව පිළිබඳ කතිකාව යළිත් උත්කර්ෂයට පැමිණ තිබේ. අලුත් කඩේ උසාවිය තුළ සැකකරුවකු ඝාතනයට ලක්වීමේ පසුබිම තුළ මෙම සංවාදය වඩා තියුණු ස්වරූපයක් ගෙන ඇති බවද පෙනේ. එහෙත් සංවාදය තුළ දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ සුපුරුදු ලෙසම මෙම සංවාදය පක්ෂ විපක්ෂ කණ්ඩායම්වල බලු පොරයක් බවට පත්ව තිබීමය. කිසියම් සාධනීය හෝ ගුණාත්මක ලක්ෂණ ඒ තුළ දක්නට නොලැබෙන අතර සිදුවන එකම දෙපැත්ත එකිනෙකා චෝදනා හා ප්‍රතිචෝදනා එල්ල කර ගැනීමය.
අපේ දේශපාලන සන්දර්භය තුළ මෙය සුව නොවන රෝග තත්ත්වයකැයිද කිව හැක. ජාතික ආරක්ෂාව යන්න පුළුල් මාතෘකාවක් වන අතර එය හැම මොහොතකම යාවත්කාලීන කළ යුතු ද වන්නේය. එමෙන්ම වටහා ගත යුත්තේ සාපේක්ෂවය.
අපේ ආරක්ෂක අංශවල දක්නට ලැබෙන බලවත්ම දුර්වලතාවය නම් අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීමය. ආරක්ෂක දැලේ සිදුරු තිබෙන බව කල් සිට දැන ගෙන ඊට ප්‍රතිකර්ම යෙදීමේ ක්‍රමවේදයක් අපේ ආරක්ෂක අංශ අනුගමනය නොකළ තරම්ය. යම් ප්‍රතිකර්මයක් සිදු කළා නම් ඒද ඉතා මද වශයෙනි. අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීමේ උපමාව නම් මෙතැනට හරියට ගැලපෙන බව නම් කිව හැක. වෙඩික්කරු ගරු විනිසුරු අබියසටම විත් අවශ්‍ය පුද්ගලයාට වෙඩි තබා පලායන තුරු කිසිවෙකු ඊට එරෙහිවනවා හෝ වෙඩික්කරු පසු පස හඹා යෑමක් දක්නට නොවීය. උසාවිය තුළ ආයුධ සන්නද්ධ ආරක්ෂකයන් නොසිටි නිසා මෙලෙස සියලු දෙනා බකං නිලා ගෙන සිටියා යැයි සිතමු. නමුත් සියලු ආරක්ෂකයන් ඉන්පසු හැසුරුණ ආකාරයද පුදුම සහගතය. වෙඩික්කරු පිස්තෝලය බිම දමනු අන් අයද දකින්නට ඇත. එසේ නම් පොර බැදීමකට හෝ කිසිවකු ඉදිරිපත් නූනේ ඇයි ?
අප මේ සියල්ල පසෙකින් තබා වර්තමානය දෙසට හැරෙමු. භයානක අපරාධකාරයන් උසාවි නොගෙන්වා තාක්ෂණික ක්‍රමෝපායන් මගින් නඩු ඇසීමේ ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමේ වැඩපිළිවෙළක් ගැනද පැවසේ. එය හොඳය. නමුත් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකිද යන්න ගැටලු සහගතය. අනික් කරුණ මෙම යෝජනාව මීට කලින්ද ක්‍රියාත්මක කරන බව පැවසූමුත් එයට සිදු වූයේ කුමක්දැයි දන්නේ නැත.
එමෙන්ම ජීවිත තර්ජන තිබෙන එකම කොටස පාතාල සැකකරුවන් පමණක් නොවේ. විශේෂයෙන් විනිසුරුවරුන්ට එල්ල විය හැකි තර්ජන පිළිබඳව ද මීට වඩා දැඩි අවධානයක් යොමුකළ යුතුය.
එක් දොරක් වැසෙද්දී තව දොරක් විවරකර ගැනීම පාතාලයේ පොදු ලක්ෂණයකි. වෛද්‍යවරුන් ලෙස හෝ ආගමික නායකයන් ලෙස අවශ්‍ය ස්ථානයට ඇතුළු වීමේ හැකියාවක් තවමත් පවතී. එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා ඝාතනය කළේ භික්ෂූන් වහන්සේ නමක් බවද අමතක නොකළ යුතුය. එම ඝාතන කුමන්ත්‍රණයේ මහ මොළකරු වූයේද එවක ප්‍රකට භික්ෂුවක වූ එවක කැළණි පන්සලේ විහාරාධිපති වූ මාපිටිගම බුද්ධරක්ඛිතය.
එදා මෙන්ම අදත් ජීවිත තර්ජනයට ලක්ව සිටින එකම පිරිස පාතාලයන් නොවන බවද හොඳින් වටහා ගතයුතුය. දේශපාලනඥයන් ආරක්ෂක අංශ ප්‍රධානීන් ආදී විවිධ ශ්‍රේණිවල පුද්ගලයන් මීට අයත්ය. විශේෂයෙන්ම යටගිය අපරාධ යළි හාරවුස්සා බැලීමට යෑමේදී මෙම තත්ත්වය තවත් නරක අතට හැරීමට ඉඩ තිබේ.
අපේ රටේ පාතාලය හා දේශපාලනය අතර ඇත්තේ සමීප සම්බන්ධයකි. හරියට එකම කාසියේ දෙපැත්ත මෙනි. එම නිසා වර්තමාන ආණ්ඩු වේ වගකිව යුත්තන්ද නිසි ආරක්ෂාවක් ලබා ගතයුතු බව මගේ අදහසයි. අඩුකළ ආරක්ෂාව යළි ලබා ගැනීමේදී පොඩි ලැජ්ජාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක ගණන් ගන්න එපා.
