සටහන – පුලී
පෙබරවාරි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ධවල මන්දිරය සිය නිල සමාජ මාධ්‍ය ගිණුම්වල නව වීඩියෝ පටයක් පළ කිරීම කාගේත් නෙත ගැටුණු කරුණක්ව හමාරය. ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම සමච්චලයට ලක්කරමින්, එය “ASMR අත්දැකීමක්” ලෙස විස්තර කරන ලද මෙම වීඩියෝ පටයේ, දම්වැල්වල ලෝහමය ඝෝෂාව සහ ගුවන් යානා දොරවල් තඳින් වැසීමෙන් ඉස්මතු කරන අතිශයෝක්තියෙන් යුත් ශබ්ද ප්‍රයෝග සහිතව රැඳවියන් විලංගු දමා පිටුවහල් කරන ලද ගුවන් යානයකට රැගෙන යන සමීප දර්ශන ඇතුළත් විය.
ASMR (Autonomous Sensory Meridian Response) යනු සාමකාමී හා විවේකාත්මක අත්දැකීමක් ලබා දෙන්නක් ලෙස හැඳින්විය හැකි ය. සිත් පහන් කිරීම අරමුණු කරගත් මෙවැනි අදහසක් අමනුෂ්‍ය අධිකාරීන් හා අගය පිරිහුණු සිදුවීම්වලට සම්බන්ධ කිරීම යුතුද?
එක්සත් ජනපද පරිපාලනයේ දැඩි සංක්‍රමණ ප්රතිපත්තිවල පුරසාරම් පෙනෙන පරිදි සිදු කළ මෙම වීඩියෝව, මේ වනවිට සංක්‍රමණික අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟන කණ්ඩායම්, නීති සම්පාදකයින් සහ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ උදහසට ලක්ව ඇත. බොහෝ අය එය හඳුන්වන්නේ කුරිරු සහ අමානුෂික ප්‍රයෝගයක් ලෙසිනි.
ට්‍රම්ප්ගේ උසි ගැන්වීමෙන් මෙම කරන අසත්පුරුෂ ක්‍රියාවන්ට ණයට කහින ඊලෝන් මස්ක් ද අන්න “Haha Wow” කියා එය ශෙයාර් කර ද තිබුණි.
මෙය උසිගන්වන උපක්‍රමයක් නොවේ ද?
මෙම වීඩියෝව, ඉකුත් බදාදා පළ කරන ලද අතර එහි ශීර්ෂ පාඨයේ සිට වීඩියෝවෙහි අවසානය දක්වාම එය දේශපාලනික උසිගැන්වීමක් පෙන්නුම් කරන ලදී. ට්‍රම්ප්ගේ පරිපාලනයේ සංක්‍රමණ ප්‍රතිපත්ති සහ ASMR වීඩියෝවක් ලෙස ඇට මස් නහර වලින් සැදුම්ලත් මිනිසුන්ගේ ආත්ම ගරුත්වය සමච්චලයට ලක් කිරීම ඊට කදිම නිදසුනක් පෙන්වා දෙයි.
ආගමන විගමන සහ රේගු බලාත්මක කිරීමේ (ICE) නිලධාරීන් මාංචු දමා සවි කළ රැඳවියන් ගුවන් යානයට රැගෙන යෑම සහ ඇඟ බැඳ නිසි ලෙස ඇවිදගන්නටවත් නොහැකිව ලතැවෙන ඔවුන්ගේ කුඩා වීඩියෝ පට අමුනා මේ මහා නිර්මාණාත්මක වීඩියෝව නිමවා තිබේ.
උපදේශන කණ්ඩායම් සහ සිවිල් අයිතිවාසිකම් සංවිධාන මෙය හෙලා දැක්වූ අතර ඇමරිකානු සිවිල් නිදහස සංගමය (ACLU) එය “විකාර” ලෙස හැඳින්වූයේ පරිපාලනය මිනිස් දුක් වේදනා දේශපාලන සංදර්ශනයක් බවට පත් කරන බවට චෝදනා කරමිනි.
“පිටුවහල් කිරීම විහිළුවක් නොවේ. මිනිසුන් ඔවුන්ගේ පවුල්වලින්, ඔවුන්ගේ නිවෙස්වලින් වෙන් කිරීම, බොහෝ අවස්ථාවලදී ජීවිතයට තර්ජනයක් වන තත්ත්වයන් පවා ඇතිවිය හැකි බව,” ACLU හි ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම වීඩියෝව රටේ පරිපාලනය පහත් මට්ටමක පවතින බවට සාක්ෂි සාධක පෙන්වන බව ද වැඩිදුරටත් කියා සිටින්නට විය.
ඩිමොක්‍රටීස් මන්ත්‍රීවරු ද මෙම පහත් ක්‍රියාව විවේචනාත්මක ඇසින් බලමින් හෙලා දැක්වූයේ කෝපාවිෂ්ඨ සහගතවය.
සමාජ මාධ්‍ය තුළ පිළිකුලේ සිට අවිශ්වාසය දක්වා ගමන් කරන මෙම කෙරුවාව සමහර පරිශීලකයින් කියා සිටියේ එය ASMR වීඩියෝවක් ලෙස දක්වා ඇත්තේ එහි ඇති සුවපහසුව සහ විවේකය ලබා දීමට අදහස් කරන බවය. හරිම ලස්සන නිදහසක් දම්වැල් දමා ඔවුන් විදින්නේ නේද?
තවත් සමහරු ධවල මන්දිරයේ ආචාර ධර්ම ප්‍රශ්න කළේ එහි විරුද්ධවාදීන් “ට්‍රෝල්” කිරීමට එහි නිල වේදිකාව භාවිතා කරගත් එකක් බව පවසමිනි.
හැලහැප්පීම් පසුබෑම් නොතකා, ධවල මන්දිරය විසින් මෙම වීඩියෝව ආරක්ෂා කර, එය දක්ෂිණාංශික ශක්තියේ සහ බලාත්මක කිරීමේ පණිවිඩයක් ලෙස රාමු කර ඇත. සාමාන්‍ය ක්‍රියාකාරීන්ගේ අධික කෝපාවිෂ්ඨ විවේචන බැහැර කරමින් දේශසීමා සුරක්ෂිත කිරීමට සහ ආගමන නීති බලාත්මක කිරීමට පරිපාලනය කැපවී සිටින බව ද ඔවුන් පවසන්නේ මරාගෙන හරි ඔවුන්ට ඕනෑ දේ ඔවුන් කරන බවට පවසමිනි.
“අපි දිගටම නීතිය රකිමින් ඇමරිකානු පුරවැසියන් ආරක්ෂා කරන්නෙමු”, “නීතිවිරෝධී සංක්‍රමණවලට ප්‍රතිවිපාක ඇති අතර, නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙම පරිපාලනය සමාව නොගනී.”
මෙයයි දක්ෂිණාංශික ලේ පිපාසිතයන්ගේ එකම අරමුණ!
මෙය දේශපාලන දඩබ්බරකම උත්සන්න වීමේ ලකුණක්ද?
මෙම වීඩියෝව නිකුත් කරනුයේ, ආගමන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දේශපාලන ආතතිය උග්‍ර වූ අවස්ථාවක ය. එය පරිපාලනය දේශසීමා ආරක්ෂාව පිළිබඳ ඇති දැඩි ස්ථාවරය ප්‍රදර්ශනය කිරීමේ උත්සාහයක් ලෙස ය.
කෙසේ වෙතත්, පිටුවහල් කිරීමේ වීඩියෝවක් “ASMR” අත්දැකීමක් ලෙස රාමු කිරීමට ගත් තීරණය ඕනෑවට වඩා උඩ පැනීමකි. එය පරිපාලනයේ පදනම සමඟ හොඳින් ක්‍රීඩා කරන අතරම, එය සංක්‍රමණ පිළිබඳ පක්ෂග්රාහී බෙදීම ගැඹුරු කරමින් කෲරත්වය සහ අමානුෂිකත්වය පිළිබඳ චෝදනා ඇවිලීමට මූලාරම්භය ද වියහැකිය.
මතභේදය දිග හැරෙන විට, එක් දෙයක් පැහැදිලිය. ධවල මන්දිරය දේශපාලන ආයුධයක් ලෙස සමාජ මාධ්‍ය භාවිතා කරමින්, මෙම අලුත් නාඩගම කෙලවර වෙන්නේ ලෝකයම කම්පාවට පත් කරමින් ය.