කෙහෙළියටත් කරන්න බැරිවුණු දේ නලින්ද කරයිද ?

Date:

රටක් විදිහට ලෝකයේ දියුණු රටවල් මට්ටමටම ලංකාවේ ක්ෂේත්‍රයක් ගිහින් තියෙනවනම් ඒ අනිවාර්යෙන්ම ලංකාවෙ සෞඛ්‍ය ක්ෂේත්‍රය. කලාපයේ ඉහළින්ම තියෙන්නෙ අපේ රටේ සෞඛ්‍ය දර්ශක. මේ සාර්ථකත්වයට ලොකුම දායකත්වයක් සපයන්නෙ වෛද්‍යවරු ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්යය මණ්ඩලය. ඉතින් ඒ වගේ පිරිසක් තමන් ඉටු කරන සේවයට සාධාරණ ගෙවීමක් කරන එක රජයේ වගකීමක්.

අය වැයෙන් පඩි වැඩි කළා කියලා සතුටින් ඉන්න රටේ පුදුම හිතෙන දේ තමයි ඒ වෛද්‍යවරුන්ගේ පඩි වැඩි කළාට දීමනා ගෙවන ප්‍රමාණය අඩු කළා කියන එක. ඉතාම සරල ගණිතයට අනුව 1/80 ක් ගෙවපු එක 1/120ක් කරනවා කියන්නෙ අඩු කරනවා තමයි. අතට ලැබෙන ගාණ වැඩි වෙනවා කියලා පෙන්නුවට ඇත්තටම වෙන්නෙ කවුරු හරි අමතරව වැඩ කරන දවසක හරි පැයක හරි අගය හෑල්ලුවට ලක් කිරීම. ගෙව්වත් නැතත් අකමැත්තෙන් හරි අමතර රාජකාරි කරන්න වෙන්නෙ ඉස්පිරිතාලයක් කියන්නෙ හරි වෙලාවට වැඩ ඉවර කරලා ගෙදර දුවන්න පුලුවන් තැනක් නොවෙන නිසා.

ආර්ථික වශයෙන් රට බංකොලොත් කරපු මහ බැංකුවෙවත්, වඳුරෙක් පැන්නමත් රටම අඳුරෙ තියන ලංවිමෙවත්, රටින් හාල් ගේනකන් බලන් ඉන්න කෘෂිකර්ම අංශෙවත්, තාක්ෂණික දෝෂ නිසා එළියට විසි වෙන නඩු ෆයිල් කරන නීතිපති දෙපාර්තමේන්තුවෙවත්, අධිකරණය ඇතුළෙ වෙඩි තියලා යනකන් බලන් ඉන්න ආරක්ෂක අංශවලවත් මෙහෙම දීමනා ගෙවන එක කප්පාදු කරලා නෑ. කාට හරි තර්ක කරන්න පුලුවන් ඔය හැම අසාර්ථක දේකටම හේතුව දේශපාලකයො කියලා. ඒ කියන්නෙ හැමෝම ජප කරන හැත්තෑ හය වසරක සාපය. හැබැයි සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉහළටම ගියෙත් ඔය කියන දේශපාලකයො ඉද්දිම තමයි. කොටින්ම කියනවනම් කෙහෙළිය වගේ නරුම ඇමති කෙනෙක් ඉඳලත් සෞඛ්‍යය සේවය වට්ටන්න බැරි වුණා.

කෙහෙළියට කරන්න බැරි වුණ ඒ වැඩේ වෛද්‍යවරයෙකුත් වුණ නලින්ද කරයි ද කියන එක තමා දැන් තියෙන බය. මේ විදිහට අසාධාරණයට ලක් වුණොත් තවත් ගොඩක් වෛද්‍යවරු රට අත හැරලා යයි. මොකද මහ බැංකුවට වගේ තමන්ගෙ පඩිය තමන්ටම වැඩි කර ගන්නවත් තමන්ගෙ පඩියෙන් බදු මුදල කපන්න එපා නියෝගයක් ගන්නවත් වෛද්‍යවරුන්ට බැරි නිසා.

~ වෛද්‍ය සමන්ත සෙනවිරත්න

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...