මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් ජනපතිගේ පණිවුඩය!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 26, කොළඹ (LNW):

මහා ශිව රාත්‍රී දිනයෙහි දැල්වෙන පහන් ආලෝකයෙන් හදවත් එකලු කර අප තෝරා ගත් එ’මඟ වඩ-වඩා හෙළි කර ගැනීමට එක් වන්නැ’යි ලක් වැසි ඔබ සියලුදෙනාට ආරාධනා කරන බව දන්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් ලෝකවාසී හින්දු බැතිමතුන් වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරයි.

එම සම්පූර්ණ පණිවුඩය පහතින් දැක්වේ.

“ලෝකවාසී හින්දු බැතිමතුන් විසින් ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන මංගල්‍යය ලෙස මහා ශිව රාත්‍රි දිනය සැලකේ. ශිව දෙවියන් සහ පාර්වතීගේ එක් වීමත්, ශිව දෙවියන් ඔහුගේ දිව්‍යමය නර්තනය වන තාණ්ඩව නර්තතනය ඉදිරිපත් කරන අවස්ථාවත් මෙයින් සිහිපත් කෙරේ. 

එයින් ලෝකයෙහි හා ජීවිතයෙහි “මෝහාන්ධකාරය ජය ගැනීම” සංකේතවත් කරයි. එහෙයින් ‘මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාලෝකය දැල් වේවා’යි යන ප්‍රාර්ථනයෙන් මෙදින රැය පුරා හින්දු බැතිමත්හු උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත වෙති. එමෙන්ම ජීවිතයේ සෞභාග්‍යය ප්‍රාර්ථනා කිරීමද මහා ශිව රාත්‍රී දිනයේ දී සිදුකෙරේ.

ශිව හා පාර්වතීගේ එක් වීම සවිඥානයේ හා ශක්තියේ එක් වීමකි. එය, දෑස් වසා ලූ මෝහයේ තිරපට ඉරා යථාවේ ආලෝකයට දෑස් විවර කිරීමකි. මේ මොහොත යුග ගණන් අප සහෘදත්වයෙන් දුරස් කර ලූ භේද-බිඳුම් නිර්මාණය කළ අශිෂ්ට අඳුරේ තිරකඩ ඉරා  එකමුතුව මුළු බඳිමින් මේ බිම මත නව යුගයක උදාව අත්විඳිමින් සිටින අවස්ථාවකි.  

අන්තර් – ආගමික සහජීවනය අන් කවරදාටත් වඩා අගයමින් හා සුරකිමින් රටේ සෑම ජන කොටසක්ම එකිනෙකා කෙරෙහි ගෞරව – ආදර පෙරදැරිව අප මාතෘ භූමියේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින මොහොතකි. 

ඒ සවිමත් පාදම මත හිඳ යහපත් රටක් නිර්මාණය කර ගැනීම සඳහා එකම ජාතියක් ලෙස අප සැම එක්ව ඉදිරියට යා යුතුය.

සියලුදෙනා ප්‍රාර්ථනා කරන යහපත් දේශපාලන සංස්කෘතියකින් යුතු සමෘද්ධිමත් රටක් ගොඩනඟනු වස් දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් නව පරිවර්තන රැසක් සමඟ පුනරුද  යුගයක් කරා අප මේ වන විට ගමන් කරමින් සිටින්නෙමු. 

මහා ශිව රාත්‍රී දිනයෙහි දැල්වෙන පහන් ආලෝකයෙන් හදවත් එකලු කර අප තෝරා ගත් එ’මඟ වඩ-වඩා හෙළි කර ගැනීමට එක් වන්නැ’යි ලක් වැසි ඔබ සියලුදෙනාට මම ආරාධනා කරමි. මහා ශිව රාත්‍රී දිනය සමරන ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන් ඇතුළු ලොව පුරා හින්දු ජනතාවගේ යහපත් සිතුම්-පැතුම් ඉටු වී ජීවිත අර්ථවත් වේවා’යි ප්‍රාර්ථනා කරමි.” ලෙස සටහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...