ඉසුරු පරාක්‍රම
මාර්තු 04, කොළඹ (LNW): දිගු කලක් මුළුල්ලේ පැවති වාහන ආනයන සීමා ඉවත් කිරීමට රජය කටයුතු කිරීම හමුවේ එළඹෙන වසර තුළ රටෙහි ආර්ථික අස්ථාවරත්වයක් ඇති වීමට මංපෙත් විවර වී ඇති බව වාර්තා වේ.
ඉකුත් වර්ෂවල පැවති අධික ඉල්ලුම ඉදිරි කාලය තුළ අනපේක්ෂිත ලෙස මුදාහැරුණහොත් මෙම අර්බුදය මාස ගණනක් තුළ මතුවිය හැකි බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ.
පාරිභෝගික ඉල්ලුමටත් වඩා ආනයන බදුවලින් ලැබෙන ආදායම ඉහළ නංවා ගැනීමේ අරමුණින් මෙම ආනයන සීමා ඉවත් කරන ලදී. වැටුප් ඉහළ දැමීම, බදු අඩු කිරීම, සහ ගොවියන් හා ධීවරයන් හට මූල්‍ය ආධාර ලබා දීම ආදී රජය විසින් ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට මෙම ආදායම වැදගත් ය.
උක්ත ප්‍රතිපත්ති වෙනස්වීමත් සමඟ ඉකුත් බ්‍රහස්පතින්දා දින ආනයනය කරන ලද පළමු වාහන තොගය හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත ගොඩබාන ලදී.
ඒ අනුව, එන්වයිකේ ලංකා ලිමිටඩ් විසින් මෙහෙයවන එම්වී ජුපිටර් ලීඩර් නෞකාවෙන් ජපානයෙන් ආනයනය කරන ලද වාහන 378 ක් ගෙන එන ලද අතර, ඉන් වාහන 196 ක් දේශීය වෙළඳපොල වෙත මුදාහැරීමට නියමිතව තිබේ. මෙම වාහන තොගය අතර, ලෑන්ඩ් කෘෘසර්, හයිලික්ස් කැබ්ස්, ප්‍රාඩෝ එස්යූවී, ටොයොටා සෙඩෑන්, සුසුකි ඇල්ටෝ මිනි ඇතුළු ජනප්‍රිය සන්නාම දරන මෝටර් රථ රැසක් පවතී.
මීට අමතරව, වරාය විසින් වාහන 2318 ක් හොබවන ලද අතර, ඉන් 1940 ක් අප්‍රිකානු වෙළඳපොල වෙත යොමුකරන ලදී.
වාහන ආනයනවල ඉහළ යෑම හමුවේ ඒවා කලමනාකරණය කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සතුව පවතී. එම වාහන විධිමත්ව නිෂ්කාශනය කොට මුදාහැරීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් පිළිගන්නා ලද යටිතල පහසුකම් හා ඉතා කාර්යක්ෂම කාර්යමණ්ඩලයක් වරාය තුළ ක්‍රියාත්මක වේ.
පැය 24 පුරාම ක්‍රියාත්මකවන සීසීටීවී නිරීක්ෂණ පද්ධති සහ අධි තීව්‍රතා ආලෝකකරණ (high-intensity lighting) පද්ධති සහිත රේගු පරීක්ෂණ ඒකකයක් වරාය සතුවන අතර, එමඟින් එම වාහනවල අනුකූලතා පරීක්ෂාවන් සහතික කිරීම සිදුවේ.
මේ අතර, නව ආනයන සඳහා අමතර තාවකාලික ගබඩා කිරීමේ පහසුකම් ඇතුළු, නිෂ්කාශනය කිරීමට නියමිත වාහන සඳහා ආරක්ෂිත ගබඩා පහසුකම් ද පිහිටුවා ඇත. එමෙන් ම, ආනයනකරුවන් සහ ලිපිකරුවන්ගේ පහසුව සඳහා, ලේඛන කටයුතු විධිමත්කරන මූලික පහසුකම් සහ වාහන සැකසුම් ස්ථාන (Vehicle Processing Stations) ස්ථාපිත කිරීමට වරාය කටයුතුකර ඇත.
වාහන 4,000 පමණ තබාගත හැකි ආනයනික වාහන ගාල්කරන භූමි ප්‍රදේශයක් ද වරාය සතුවන අතර, මෙමඟින් දේශීය සහ අතරමැදි ආනයන තාවකාලිකව තබා ගැනීම සඳහා පහසුකම් සලසා ඇත. මෙම ස්ථානයට පිවිසීම සඳහා අවසර ඇත්තේ බලයලත් නිලධාරීන්ට පමණි.
2018 වර්ෂයේ පටන් ම, හම්බන්තොට ජාත්‍යන්තර වරාය මෙරට මෝටර් රථ සැපයුම් අංශයේ සැලකියයුතු කාර්යභාරයක් ඉටුකර තිබේ. ඉහළ යන වාහන ඉල්ලුමට සරිලන පරිදි එම වාහන හැසිරවීම සඳහා වරාය සතු ධාරිතාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ඇ.ඩො. මිලියන 10 ක ආයෝජනයක් සිදුකිරීමට නියමිත ව පවතියි. හම්බන්තොට වරායේ උපායමාර්ගික පිහිටීම සහ කාර්යක්ෂම ව මෙහෙයුම් දියත් කිරීම සඳහා කැපවූ සේවාවක් වරාය තුළ ක්‍රියාත්මක වීම හමුවේ වාහන ආනයනයේ තීරණාත්මක මර්මස්ථානයක් ලෙස හම්බන්තොට වරාය හඳුනාගත හැකි ය.
කෙසේවෙතත්, වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමට වත්මන් රජය කටයුතු කිරීම හමුවේ මතුවිය හැකි මූල්‍යමය ප්‍රතිවිපාක සම්බන්ධයෙන් විද්වතුන්ගේ අවධානය යොමුව තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ, අත්‍යාවශ්‍ය වැටුප් වැඩිකිරීම් සහ බදු අඩුකිරීම් සඳහා රජය ආනයන ආදායම් මත යැපීම ඉතා අවදානම්කාරී බවයි.
පරීක්ෂා කිරීමකින් තොරව වාහන ආනයනය දිගටම සිදුවූවහොත්, එමඟින් රටින් පිටතට යන විදේශ විනිමය හමුවේ රුපියලේ අගය අස්ථාවර වීම හා උද්ධමනය ඉහළ යෑම වැනි හානිකර ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව ඔවුහු අවධාරණය කරති.
අධික ආනයන සීමා කිරීම සඳහා වටිනාකම-මත-ණය (LTV) අනුපාතය වැනි සාර්ව විචක්ෂණශීලී ප්‍රතිපත්ති (macroprudential policies) භාවිතාකළ හැකි ය, නමුත් එවැනි පියවරක් අනුගමනය කළහොත් තීරුබදු ආදායම එකවර අඩුවනු ඇත.
ඒ අනුව, එකිනෙකට පරස්පර අර්බුද දෙකකට මුහුණ දීමට රජයට සිදුවේ. සීමාරහිත ව වාහන ආනයනය කළහොත් විදෙස් මුදල් තොග පිටින් රටින් පිටව ගොස්, රුපියලේ අගය සැලකිය යුතු මට්ටමකින් අවප්‍රමාණය වී යා හැකි අතර, ආනයන සීමා කළහොත් පොරොන්දු වූ වැටුප් වැඩිකිරීම් හා බදු අඩුකිරීම් සඳහා අවශ්‍ය අරමුදල්වල හිඟයක් මතුවිය හැකි ය.
මෙම අර්බුද ද්විත්වය හමුවේ රටේ ආර්ථික තත්ත්වය ස්ථාවරව පවත්වා ගැනීම රජයට ගැටළුවක් නොවන්නේ ද?
රුපියල ස්ථාවරව පවත්වා ගැනීමට මහ බැංකුව මැදිහත් වී සිටින මොහොතක විදෙස් මුදල් රටින් ඉවත්ව යෑම සිදුවූවහොත් විදේශ විනිමය සංචිත කඩා වැටිය හැකි ය. කෙසේවෙතත්, විදේශ විනිමය වෙළඳපොල සඳහා සෘජු මැදිහත් වීමක් සිදුනොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් උපදෙස් ලබා දී ඇති අතර, විදේශ විනිමයේ උච්චාවචනය ස්වභාවිකව සිදුවීමට ඉඩ ලබා දෙන මෙන් එම සංවිධානය ඉල්ලා සිටියි.
නැවත වරක් රුපියල දැවැන්ත ලෙස අවප්‍රමාණය වූවහොත් උද්ධමනය ඉහළගොස්, පාරිභෝගිකයක් වෙත පැටවෙන මූල්‍ය බර තවදුරටත් තීව්‍ර විය හැකි ය.
ඒ අනුව, එකිනෙක පරයා පැණනැඟෙන මෙම අර්බුද දෙක විසඳාගෙන රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට රජය ගන්නා උපායමාර්ගික ක්‍රමවේදය කුමක්ද යන්න අපි බලා සිටිමු.
