මේ සටහන් පෙළ ලියවෙන වකවානුවේ අපේ කාලයේ අසිරිමත්ම ජන නැගිටීම සිදුවීම ලියුම්කරුට සතුටක්. ඒ සතුටට එක හේතුවක් තමයි ඉතිහාසය අපේ ජීවිත ගාවින්ම ගලිවරයෙක් වගේ ඇවිද යන හැටි ගැන ඇසින් දුටු සාක්ෂි සටහන් කරන්නට පුළුවන් වීම. මීට අවුරුදු එකොළහකට විතර කලින් දවසක, එකමත් එක දේශපාලන නිමේෂයක, කවිය කම්බස්
පොත ලියපු මහේෂ් කුමාර සහෝදරය කිව්වා, මේ තමයි මචං අපේ ජීවිත කාලෙ අපි දකින විප්ලවය
කියල. ඒත් මහේෂ් මට දැන් හිතෙනව මේ තමයි ඒ මොහොත කියල. මොකද, සටන්කාමීත්වයේ එක පරිච්ඡේදයක් කම්බස්. ඊළඟට මුණගැහෙන දාක මෙන්තෝල් දුමක් මැද්දෙන් අපි ඒ ගැන කතා කරමු. සමහරවිට උඹ ගාව වෙනස් කතාවක් ඇති. උඹ හැමදාමත් වෙනස් ඇහැකින් බැලුව නිසා ආසයි ඒ කතාවත් අහන්න. චින්න චින්න ආසෛ.
අලුත් පරිච්ඡේදයකට ඉතිහාස පිටු පෙරැළෙන වෙලාවක් මේක කියල ලියුම්කරුට හිතෙනවා. අපි ඉගෙනගත්ත දේශපාලන ශබ්දකෝෂයට අනුව, මේ උදාවෙලා තියෙන්නේ විප්ලවීය මොහොතක්. අවස්ථාවාදය හෙවත් මෙන්ෂෙවික්වාදය
කියන්නේ පන්ති පහෙන් තුන්වැනි පන්තිය. ඒකෙදි, 53 මොකද වුණේ
කියල අපි ඉගෙන ගත්තා. 53 ස්වර්ණමය විප්ලවීය තත්ත්වය පැරණි වමේ නායකයන් නිකම්ම නිකම් අපතේ යැව්ව මොහොතක් හැටියට – වමේ අසමගිය නිසා හර්තාලයේ ජනබලයෙන් අවසන් ඉලක්කය සපුරාගත නොහැකි වුණු මොහොතක් හැටියට තමයි අපි ඒ ඉතිහාසය අර්ථකථනය කරගත්තේ. ඉතින් මේ ලියන මොහොතේ උදාවෙලා තියෙන්නේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නා මිනිසුන් බව භාවිතයෙන් ඔප්පු කර පෙන්විය හැකි වටිනා කියන දේශපාලන තත්පරයක්.
රට පුරා නැගුණු අරගලවල ජවය ගෝල්ෆේස් ගිනිසිළුවෙන් ඉහළට ගෙනාවා. යමහල් ශිඛරය
කියන්නේ රාජිත දිසානායක පාසල් සමයේ හදපු නාට්‍යයක්. යමහල කියන්නේ ගිනිකන්ද. ශිඛරය කියන්නේ මුදුන. (ඒකනේ කඳු මුදුනේදී ඉපැදුණු එක්තරා දියණියකට සිකරි
කියල නම දැම්මේ. ඒක වෙන දවසක කතාකරමු. අද මාතෘකාව යමහල් ශිඛරය මුදුනේදී සේකර හමුවීම මිස සිකරි හමුවීම නෙමෙයිනේ) ජන අරගලය රට පුරා විහිදුණු ගිනි කන්දක් නම්, ශිඛරය ගෝල්ෆේස්. හැබැයි ගිනිකන්ද රටේ සිව්කොනට විහිදිලා. බටහිර වෙරළේ ශිඛරය තිබුණත් උතුරෙන් දකුණෙන් නැගෙනහිරෙන් ලාවා ගඟ ගලනවා. දැන්වත් බලාපන් ඇහැ ඇරලා නන්දේ - ලාවා ගලන හැටි මහජන ගිනිකන්දේ
කියල අරගලයට කවි ලියැවෙන්නෙ ඒ නිසයි.
ඉතින් ඔව්.. සේකර.! ඒ නම ඇසූ පමණින් සැකක් නැහැ ඔබට සිහිවන්නේ මහගම සේකර. ලෝකය තනි යායක් වන්නට සිහින දුටු සේකර. වෙසක් පහන්වලින් ගලන - සවණක් ගන රැසින් වැසී - පොළව බෙදූ තාප්ප හා කටු කම්බිද - මොහොතින් අතුරුදන් වී ගොසින්ය. ලෝකය තනි යායකි.
ඔහු ලිව්වේ එහෙමයි. සේකර ගාලු මුවදොරට ආවා නම්, කුමක් ලියයිද ? සටන් පාඨ වැඩ වර්ජන කම්හල් දැති රෝද අතර- ගෑනු පිරිමි එක රොත්තට හිරවීගෙන උදේ සවස වැඩට යනෙන කෝච්චියක - දෙනෝදාහක් සෙනග අතර - බුදු වීමට; තනියම නොව දෙනෝදහක් සෙනඟ එක්ක අපි ඔක්කොම එකට බුදු වීමට.
කියා නොකියයිද ? නොඑසේනම් බතක් වතක් ලද පමණින් විමුක්තියක් ලැබිය හැකිදැයි අහයිද ?
ඒ සේකර ඇති මිනිසුන් අතර උපේක්ෂාවෙන් බලාගෙන, තරු විසිරුණු අහස යට නිරාමිස සතුටක් විඳ විඳ. ඒ සතුට මඳ පවනක් වගේ හමා යන අතරේ, මේ විප්ලවීය නිමේෂයේ ශැන්ග්රිලා සෙවනැල්ල යට කුඩාරම් මැදින් ඇවිදගෙන යනකොට මුණගැහෙන්න පුළුවන් තවත් සේකරලා දෙන්නෙක්. ඒ දෙන්නම තරුණයෝ. වමේ පක්ෂ දෙකක වැඩකරන තරුණයෝ. වාසගම්වලින් කිව්වොත් එක්කෙනෙක් ගුණසේකර. අනෙක් කෙනා වීරසේකර. මේ තරුණ සේකරලා මතවාදී වෙනස්කම් තියාගෙන එක අරගල බිමක්, සාමුහික වැඩබිමක් කරගෙන ඉන්න හැටි ආස්වාදනීයයි, කලක් තිස්සේ වමේ සමගිය පැතුව මිනිහෙකුට. එකොළොස් අවුරුද්දකට පස්සෙ එකිනෙකා මරා නොගෙන සහෝදරයා කියා අමතනව දැක්කම ලස්සනයි මහේෂ් ඒ දර්ශනය.
ඒකම තමයි යමහල් ශිඛරයේ සිසිලස. සාමුහිකත්වයේ නිවැරදිම දේශපාලන සලකුණ තියාගත්තොත් නොඅනුමානයි 53 අබිබවනවා දෙදහස් විසි දෙක !
- විමල් කැටිපෙආරච්චි