*
Saturday, April 19, 2025
spot_img

Latest Posts

ට්‍රම්ප් තීරු බදු යුද්ධය. දින 90 ක් කල් දැමීම. ශ්‍රී ලංකාව වැනි රටවල් ගොඩ එයි ද?

ලිපියේ අරමුණ සහ පසුබිම

පසුගිය අප්‍රේල් 02 දින ඇමෙරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් විසින් ඇමෙරිකාවට ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා නව තීරු බදු ප්‍රතිපත්තියක් එළි දැක්වූ අතර එය ඊයේ (අප්‍රේල් 09) දින සිට ක්‍රියාත්මක වීමට නියමිත විය. එම තීරු බදු ප්‍රතිපත්තිය කොටස් තුනකි.

  • පළමුව, සියළු රටවලට 10% පොදු තීරු බද්දක් පැනවීම.
  • දෙවනුව, රටවලට වෙනස් වූ ප්‍රති තීරු බදු අනුපාතයන් පැනවීම.
  • කාර් ඇතුළු තෝරා ගත් ආනයන සඳහා විශේෂ තීරු බද්දක් පැනවීම.

එහෙත්, ඊයේ දින එම තීරු බදු ප්‍රතිපත්තියේ සැලකිය යුතු සංශෝධනයක් කරන ලදි (වීඩියෝව මෙතනින් බලන්න).

  • පළමුව, චීනයට එරෙහි ප්‍රති තීරු බද්ද 34% සිට 125% දක්වා ඉහළ දැමීම. ඊට හේතුව, චීනය විසින් ඇමෙරිකාවෙන් පළි ගැනීමේ තීරු බදු පැනවීම යි.
  • දෙවනුව, පළි ගැනීමට ඉදිරිපත් නොවූ සියළුම රටවලට පැනවූ ප්‍රති තීරු බදු දින 90 ක් දක්වා කල් දැමීම. එය රටවල් 75 කින් පමණ තීරු බදු සාකච්ඡා සඳහා ලද ඉල්ලීම් සහ ඇමෙරිකානු මුදල් වෙළෙඳපොළවල ඇති වූ හදිසි සමපේක්ෂණ කැළඹීම සැලකිල්ලට ගෙන කරන ලදි. එහෙත්, 10% පොදු තීරු බද්ද ඊයේ සිට ක්‍රියාත්මක විය.

 මෙම දින 90 ක කල් දීමට හේතුව ලෙස දක්වා ඇත්තේ, දැනට පනවා ඇති ප්‍රති තීරු බදු නැවත සංශෝධනය කිරීම නොව, ඒ ඒ රටවල් සමඟ වූ ඇමෙරිකානු වෙළෙඳ හිඟය ශුන්‍යය දක්වා පහළ දැමීමේ වැඩපිළිවෙලවල් සාකච්ඡා කිරීම බව යි. 

එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ, ඇමෙරිකානු තීරු බදු ප්‍රතිපත්තියට ප්‍රතික්‍රියා දැක්වීමේ දී උපකාරී විය හැකි පසුබිම් කරුණු කිහිපයක් පැහැදිළි කිරීම යි. 

තීරු බදු යනු හුදෙක් ආර්ථික විෂයක් නොව, ගෝලීය භූදේශපාලනික සංසිද්ධියක් බැවින් රටවල් අතර තීරු බදු ගැටුම් විසඳා ගැනීම කළ යුත්තේ දේශපාලනික සංහිඳියාවෙන් පමණි. ඊට හේතුව, ගෝලීය භූදේශපාලනය තුළ ඇමෙරිකාව වැනි ලෝකයේ බලවත් රටක තීරු බදු ප්‍රතිපත්තියට එරෙහිව සටන් කිරීම යනු තම හිස ගලක ගසා ගැනීම වැනි ක්‍රියාවක් බැවිනි. එබැවින්, නොයෙකුත් විශ්ලේෂණයන් කිරීම හැර මීට විසඳුම් මාර්ගයන් ඉදිරිපත් කිරීමට ආර්ථික විද්‍යාඥයන්ට හැකියාවක් නොමැත.

  • මෙම නව තීරු බදු ප්‍රතිපත්තිය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තම මැතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ පොරොන්දුවකි. තමා තීරු බදු මිනිසකු බව ඔහු විසින් නිරන්තරයෙන් ප්‍රකාශ කරන ලදි. ඔහුගේ පළමු 2016-2020 ජනාධිපති සමයේ ද චීනය සහ වෙළෙඳ තරගකාරී රටවල් කිහිපයකින් ආනයනය කෙරෙන භාණ්ඩ කිහිපයකට ඉහළ තීරු බදු පනවන ලදි. 
  • විදේශික ආගමනය සීමා කිරීම, රාජ්‍ය මුදල් නාස්තිය සහ දුෂණය තුරන් කිරීම, වෙළෙඳපොළ නියාමනය පහළ දැමීම සහ කුඩා රජයක් හරහා අයවැය හිඟය සැලකිය යුතු ලෙස පහළ දැමීම ද ඔහුගේ අනෙක් ප්‍රධාන මැතිවරණ පොරොන්දු වෙයි. 
  • එම පොරොන්දු සියල්ලම දැනටමත් රැඩිකල් ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. ඒවා හුදෙක් ඇමෙරිකාවේ සිස්ටම් චේන්ජ් එකක් ලෙස දැක්විය හැකි අතර ඊට එරෙහිව දේශපාලනික උද්ඝෝෂණයන් පැතිරෙමින් පවතී. මෙම නව තීරු බදු ප්‍රතිපත්තිය හේතු කොට ට්‍රම්ප්ට එරෙහි විරෝධය ක්ෂණිකව ලෝකය පුරා පැතිරී යන ලදි. ඊට මූලික හේතුව, කලක් තිස්සේ පවතින සිස්ටම්වලට පුරුදු වී ඇති දේශපාලනික නායකයන් එම සිස්ටම් චේන්ජ්වලට ඇති දැඩි අකමැත්ත යි. 
  • එහෙත්, මෙය නව ආර්ථික අභියෝගයක් ලෙස සලකා එමගින් නව ආර්ථික අවස්ථාවන් සහ ප්‍රයෝජන උකහා ගැනීම සඳහා යොමු වන බවට රටවල් සුළු සංඛ්‍යාවක් පමණක් ප්‍රකාශ කොට ඇත. සමහර රටවල් ඩොනල්ඩ් ට්‍රම්ප්ට දොස් පැවරීමත්, සමහර රටවල් තමන් මුහුණ දෙන ආර්ථික අපහසුකම් ප්‍රකාශයට පත් කිරීමත් දැකිය හැකිය.

තීරු බදු යනු කුමක් ද? එය ගෙවන්නේ කවුරු ද?

තීරු බදු යනු රටකට පිටරටවලින් ආනයනය කරන භාණ්ඩවලට රජය විසින් වරායේ දී අය කරන බද්ද යි. එය භාණ්ඩ ආනයන කරු විසින් ගෙවූව ද, එය පසුව පාරිභෝගිකයාට පැටවෙනු ඇත. ඊට හේතුව, ආනයනිත භාණ්ඩවල දේශීය මිල ගණන්වලට තීරු බදු වියදම එකතු කරන බැවිනි. 

  • ඕනෑම බද්දක ප්‍රතිඵලය භාණ්ඩ මිල ඉහළ යාම යි. එබැවින්, ට්‍රම්ප්ගේ තීරු බදු ගෙවන්නේ, ඇමෙරිකානු මහජනතාව යි. එසේ නැතුව, ඇමෙරිකාවට භාණ්ඩ අපනයන කරන විදේශීය සමාගම් නොවේ. එහෙත්, තීරු බදු පැනවූ පසු රටවල නායකයන් විසින් පවසනුයේ, එය විදේශ රටවල් ගෙවන බව යි. එය සාවද්‍යය. එහි සත්‍යය වන්නේ, එය තම රටේ පොදු මහජනයා විසින් ගෙවන බව යි. එහෙත්, තීරු බදු පැනවූ භාණ්ඩ සඳහා ආදේශක භාණ්ඩ නිෂ්පාදනය කරන දේශීය නිෂ්පාදකයන්ට වාසි විය හැකිය. ඊට හේතුව, ආනයන මිල ගණන් ඉහළ යාම හේතු කොට, ඒවායේ ඉල්ලුම පහළ ගොස්, දේශීය ආදේශක භාණ්ඩ ඉල්ලුම ඉහළ යා හැකි බැවිනි.
  • වෙනත් බදු මෙන් තීරු බදු ද හුදු දේශපාලනික තීරණයකි. එහි මූලික අරමුණ රජයේ ආදායම යි. ඊට අමතරව, දේශීය ආර්ථිකයට හිතකර ලෙස විවිධ භාණ්ඩ සඳහා විවිධ ප්‍රමාණයේ තීරු බදු අනුපාතයන් අය කිරීම දැකිය හැකිය. 
  • දේශීය නිෂ්පාදනයන් විදේශ තරඟයෙන් ආරක්ෂා කිරීම සඳහා ඉහළ තීරු බදු අය කෙරේ. රටේ ප්‍රමුඛ කර්මාන්තයන් සඳහා අවශ්‍ය ආනයනිත අමුද්‍රව්‍ය සඳහා පහළ තීරු බදු අය කිරීම හරහා ඒවායේ නිෂ්පාදන පිරිවැය සහ මිල ගණන් පහළ මට්ටමක පවත්වා ගැනේ. අධෛර්යමත් කළ යුතු ආනයන සඳහා ඉතා ඉහළ තීරු බදු අය කෙරේ. එසේම, රජයට හිතවත් සමාගම්වලට ලාභ දා යී වන ලෙස, ඒ ඒ අවස්ථාවල තීරු බදු අනුපාතයන් වෙනස් කිරීම ද රහසක් නොවේ. 
  • එබැවින්, රටවල තීරු බදු ප්‍රතිපත්ති ඉතාමත් වියවුල් සහගත ය. හොඳ නරක හඳුනා ගැනීම සහ තක්සේරු කිරීම අපහසුය. එහෙත්, ට්‍රම්ප්ගේ තීරු බදු සියළු රටවලට එකම ගණනය කිරීමේ පදනමක් මත අය කොට ඇත. රටවල් සමඟ ඇති ඇයි හොඳයිකම් අනුව සහන තීරු බදු අය කිරීමක් මෙහි නොමැත.

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියේ පදනම කුමක් ද?

රටවල් විසින් කලින් කලට පනවන තීරු බදු හුදෙක් අත්තනෝමතික ඉලක්කම් ය. එම ඉලක්කම් බොහෝ දුරට රටවල් අතර පවතින දේශපාලනික මිතුදම සහ අදාළ වෙළෙඳ භාණ්ඩයන්හි දේශීය ආර්ථිකයට ඇති වැදගත්කම මත රඳා පවතී.

එහෙත්, ට්‍රම්ප්ගේ නව තීරු බදු සියලු රටවලට සමාන පොදු නිර්ණායකයක් මත පනවා ඇත. ප්‍රති හෝ එකට එක තීරු බදු ලෙස හැඳින් වෙන මෙය ගණනය කොට ඇති ආකාරය පහත දැක්වෙයි. එය ඉතා සරල ය. 

  • රට සමඟ භාණ්ඩ  වෙළෙඳාමෙන් (ආනයන සහ අපනයන) ඇමෙරිකාව මුහුණ දෙන වෙළෙඳ හිඟය / රටෙන් ඇමෙරිකාවට ආනයනය කරන ලද භාණ්ඩවල සමස්ත වටිනාකම  x 100 
  • එම ප්‍රතිශතයෙන් භාගය, රටෙන් ඇමෙරිකාවට ආනයන කෙරෙන භාණ්ඩ සඳහා තීරු බද්ද ලෙස නියම කිරීම 
  • ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර එම ප්‍රතිශතය 88% වන බැවින් ශ්‍රී ලංකාව සඳහා 44% ක තීරු බද්දක් (88% න් භාගය) පනවා ඇත.

මෙම නිර්ණායකයට අනුව සෙසු රටවල් සමස්තයක් ලෙස ඇමෙරිකාවට සිදු කළ අලාභය හෝ තීරු බද්ද 37% කි. එබැවින්, ඇමෙරිකාව විසින් 16.5% ක පොදු තීරු බද්දක් සෑම රටකටම එරෙහිව පැනවිය යුතුය. ඒ අනුව, ට්‍රම්ප් විසින් 10% ක පොදු තීරු බද්දක් ද පනවන ලදි. රටවලට පනවන ලද තීරු බදු යනු එය ඉක්මවා පැනවූ තීරු බදු ය.

මෙම නිර්ණායකයේ දී, ඒ ඒ රට සමඟ ඇමෙරිකාවට ඇති වෙළෙඳ හිඟය යනු ඒ ඒ රට විසින් තමාට වාසි දායක ලෙස ඇමෙරිකාව සමඟ වෙළෙඳාම අවකළමනාකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රකාශ කෙරේ. එනම්, අමෙරිකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා ඉහළ තීරු බදු පැනවීම, වෙළෙඳ බාධකයන් පැනවීම, අපනයන සඳහා සහනාධාර සහ බදු සහන සැපයීම සහ රටට වාසි වන ලෙස විනිමය අනුපාතය අවභාවිතය වැනි සියළුම ආකාරයේ දේශීය වාසි තකා සිදු කෙරෙන ක්‍රියාවන් ය. 

එබැවින්, ඉහත දැක්වූ ප්‍රතිශතය යනු රට විසින් සමස්තයක් ලෙස ඇමෙරිකාවට අවාසිදායක ලෙස වෙළෙඳාමේ දී සත්‍ය වශයෙන් භාවිතා කොට ඇති සමස්ත තීරු බද්ද යි. එබැවින්, ඉන් භාගයක් තීරු බද්ද ලෙස පැනවීම වට්ටම් තීරු බද්ද හෝ උපකාරක තීරු බද්ද ලෙස හඳුන්වා දී ඇත.

ට්‍රම්ප් විසින් මෙසේ භාණ්ඩ ආනයනය මත තීරු බදු පැනවීමේ පදනම වන්නේ, ඇමෙරිකාවේ සමස්ත විදේශ ගනුදෙනුවල හිඟයට හේතුව වෙළෙඳ හිඟය (භාණ්ඩ ආනයන සහ අපනයන අතර පරතරය) වීම යි. 2024 වර්ෂයේ දී ඇමෙරිකානු සමස්ත විදේශ ගනුදෙනු හිඟය ඩොලර් බිලියන 1,133.6 ක් වූ අතර වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 1,212.9 ක් (එනම්, භාණ්ඩ ආනයන ඩොලර් බිලියන 3,296.2 සහ භාණ්ඩ අපනයන ඩොලර් බිලියන 2,083.2) විය. එබැවින්, ඇමෙරිකාවේ සමස්ත විදේශ ගනුදෙනුවල සමස්ත ශේෂය අතිරික්තයක් කිරීමට නම්, සමස්ත වෙළෙඳ අතිරික්තයක් අවශ්‍යය. ඒ සඳහා ට්‍රම්ප්ගේ උපක්‍රමය වන්නේ, ඉහළ තීරු බදු පැනවීම හරහා රටවල් සමඟ වන වෙළෙඳ හිඟය පහළ දැමීම පිණිස භූදේශපාලනික ක්‍රියාවලියක් අනුගමනය කිරීම යි. 

එබැවින්, ඉදිරි දින 90 දී රටවල් විසින් සාකච්ඡා කළ යුත්තේ, තම රට සමඟ ඇමෙරිකාව මුහුණ දෙන වෙළෙඳ හිඟය ශුන්‍යය දක්වා පහළ දැමීමේ වෙළෙඳ ගිවිසුමකට එකඟ වීම යි. එහි දී, ඇමෙරිකාවට එරෙහිව පනවා ඇති තීරු බදු සහ වෙනත් වෙළෙඳ බාධකයන් ඉවත් කිරීම අවශ්‍ය වනු ඇත. එසේ නැතිව, හුදෙක් තම රටට එරෙහිව පනවා ඇති ප්‍රති තීරු බද්ද පහළ දමන ලෙස ආයාචනා කිරීමෙන් ඵලක නොමැත.

ඇමෙරිකානු ගෙවුම් ශේෂ හිඟය, ඇමෙරිකානු පරිභෝජනය සහ ගෝලීය ඩොලරය 

ඇමෙරිකාවේ ගෙවුම් ශේෂ හිඟය යනු ඇමෙරිකානු ජනතාවට එරට නිෂ්පාදනයට වඩා වැඩි භාණ්ඩ හ සේවා පරිමාවක් මුදල් මුද්‍රණය/ණය මැවීම හරහා පරිභෝජනය කිරීමට අවස්ථාව ලැබීම යි. එනම්, ඇමෙරිකාව විසින් සෙසු ලෝකයට ණය වීම හරහා ඉහළ පරිභෝජන මට්ටමක් අත් කර ගැනීම යි. ලෝකය පුරා ඩොලරය ඉහළම ජාත්‍යන්තර සංචිත මුදල ලෙස පිළි ගන්නා බැවින් සියලු රටවල් ඇමෙරිකාවට භාණ්ඩ හා සේවාවන් අපනයනය කිරීම තුළින් ඩොලර් සංචිත ගොඩ නැගීමට ඉදිරිපත් විය. ඇමෙරිකාව අනුගමනය කළ බොහෝ නිදහස් තීරු බදු ප්‍රතිපත්තිය ද එයට දායක විය. එබැවින්, ඇමෙරිකානු ගෙවුම් ශේෂ හිඟය හෝ වෙළෙඳ හිඟය මගින් ඇමෙරිකානු ආර්ථිකයට සහ ජනතාවට දෙවරක් දායක විය. පළමුව, ඉහළ පරිභෝජන සහ ජීවන මට්ටමක් අත්කර ගැනීම. දෙවනුව, සෙසු රටවල් විසින් ඇමෙරිකාව සමඟ වෙළෙඳ අතිරික්තය හරහා අත්කර ගත් ඩොලර් සංචිත මුදල් නැවත ඇමෙරිකාවේ රාජ්‍ය සුරැකුම්පත්වල සහ බැංකුවල ආයෝජනය කිරීම. එබැවින්, ඇමෙරිකාව විසින් ඩොලර් මුද්‍රණය කරන බැවින් මෙම ගෙවුම් ශේෂ හිඟය ඇමෙරිකාවේ ඉහළ ආර්ථික සහ පරිභෝජන මට්ටමට මහත් සේ දායක විය.

එබැවින්, මෙම නව තීරු බදු ප්‍රතිපත්තිය මගින් රටවල් විසින් ඇමෙරිකාව සමඟ වෙළෙඳාමේ දී ඇති තම වෙළෙඳ අතිරික්තය (රට සමඟ ඇමෙරිකාවේ වෙළෙඳ හිඟය) ශුන්‍යය දක්වා පහත දැමීමට ක්‍රියා කිරීම අපේක්ෂා කෙරේ. එහි ප්‍රතිඵල අනුව ඇමෙරිකානු රජය සමඟ සාකච්ඡා කොට තීරු බද්ද අඩු කර ගත හැකිය. ඒ හැර වෙනත් දේශපාලනික විසඳුමක් නොමැත. නව තීරු බද්ද නිසා රටවල් මුහුණ දෙන දුෂ්කරතාවන් කියමින් සහන ඉල්ලා පුවත්පත් දැන්වීම් ප්‍රසිද්ධ කිරීමෙන් ඵලයක් නොමැත. එබැවින්, නව තීරු බදු ප්‍රතිපත්තිය යනු ඇමෙරිකාව විසින් ඉහත දැක්වූ පරිදි අත්කර ගෙන තිබෙන ඉහළ පරිභෝජන සහ දේශීය ආයෝජන මට්ටම එක්වර කපා දැමීමේ ව්‍යායාමයකි. එහි බලපෑම සමස්ත ආර්ථිකය පුරා දැඩි අහිතකර ලෙස පැතිරෙනු ඇත. එබැවින්, බොහෝ විචාරකයන් විසින් ඇමෙරිකානු ආර්ථිකය ඉදිරියේ දී අවපාතයකට මුහුණ දෙන බවට පුරෝකථනය කෙරේ.

එහෙත්, ඇමෙරිකානු ජනාධිපති වරයා විසින් පවසන්නේ, ඇමෙරිකාව විසින් නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තිය සහ වෙනත් ගෝලීය ආධාර ව්‍යාපෘතීන් හරහා සියළු රටවලට ආධාර කළ ද, ඉන් එම රටවල් විසින් අසාධාරණ ලෙස ඇමෙරිකානු ජනතාවට පාඩු සිදු කොට, තම තමන්ට ආර්ථික වාසි ලබා ගෙන ඇති බවත්, ඉන් ඇමෙරිකානු ආර්ථිකය සහ ජීවන තත්ත්වය කඩා වැටී ඇති බවත් ය. ඔහු පවසන්නේ, ඇමෙරිකානු බදු මුදලින් වෙනත් රටවලට සහන සැපයීමේ පදනමක් නොමැති බවත්, එම බදු මුදල් ඇමෙරිකාවේ යහපත සඳහා භාවිතා කරන බවත් ය. 

එබැවින්, ඔහුගේ නව ආර්ථික ප්‍රතිපත්තියේ අරමුණ වනුයේ, විදේශීය ආර්ථිකයන්ගෙන් ආරක්ෂාකාරී වූ ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩ නැගීම යි. එම භූදේශපාලනික සංකල්පය අනුව ට්‍රම්ප්ගේ නව තීරු බදු ප්‍රතිපත්තියේ දෝෂයක් දැකිය නොහැකිය. ඇමෙරිකාව යනු ගෝලීය ඩොලර් මුදල හිමි බලවත් රටක් බැවින් එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ කෙටිකාලීන අපහසුකම් නොමැති විය හැකිය. මෙම ප්‍රතිපත්තිය එලෙසම ක්‍රියාත්මක වුවහොත් තරඟකාරී නිදහස් වෙළෙඳාම සඳහා රටවල් යොමු විය හැකිය. එය නව ගෝලීය වෙළෙඳ සමයක් වනු ඇත. එය, ඇමෙරිකානු ආර්ථිකය සමඟ ශුන්‍ය වෙළෙඳ ශේෂය කෙරෙහි යොමු වූ වෙළෙඳ ක්‍රමයක් වනු ඇත. එය, සෙසු ලෝකයට ඇමෙරිකානු ඩොලර් සැපයුම අඩාල වීමකි. එහි ගෝලීය ආර්ථික බලපෑම හුදෙක් නව වෙළෙඳපොළ හැසිරීම අනුව තීරණය වනු ඇත.

නූතන ගෝලීය සංවර්ධනයට වෙළෙඳාම සහ සහයෝගය 
දායක වූයේ කෙසේ ද?

නූතන ගෝලීය ආර්ථික සහ මානව සංවර්ධනයට වෙළෙඳාමේ දායකත්වය පිළිබඳ විවාදයක් නැත. පුරාණයේ දී භාණ්ඩ හුවමාරුවෙන් හට ගත් වෙළෙඳාම ගුණාකාර ලෙස නූතන මට්ටමට වර්ධනය වීම සඳහා සාධක රාශියක් හේතු විය. 

  • පළමුව, ආරම්භයේ දී ප්‍රාදේශීය මුදල් හරහා ව්‍යාප්ත වූ වෙළෙඳාම ජාත්‍යන්තරව පිළි ගත් මුදල් හරහා ගෝලීයකරණය විය. ඊට 1944 දී බ්‍රෙටන්වූඩ්ස් ගිවිසුම හරහා එකඟ වූ ඩොලරය මත පදනම් වූ ජාත්‍යන්තර මුදල් පද්ධතිය මහත් පිටුවහලක් විය. ඒ අනුව, ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සහ පියවුම් බහුතරය ඩොලර් මුදල මගින් සිදු කිරීමෙන් වෙළෙඳ කාර්යක්ෂමතාවය ඉහළ යන ලදි.
  • දෙවනුව, බ්‍රෙටන්වූඩ්ස් ගිවිසුම හරහා පිහිටු වන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් ගෝලීය වෙළෙඳාමට සහ ආර්ථික සංවර්ධනයට විශාල ලෙස දායක විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ජාත්‍යන්තර ගෙවුම් පද්ධතිය ආරක්ෂා කළ අතර ලෝක බැංකුව විසින් දුප්පත් රටවල පසුතල සහ මානව සංවර්ධනයට අවශ්‍ය අරමුදල් රාශිකරණය කරන ලදි. මෙම ආයතන දෙකම තරඟකාරී නිදහස් වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන කොන්දේසි සාමාජික රටවල ක්‍රියාත්මක කරන ලදි.
  • තෙවනුව, දශක ගණනාවක් පුරා රටවල් අතර පැවති තීරු බදු තරඟය අවම කොට, තීරු බදු පහළ මට්ටමකට ගෙනවිත් නිදහස් වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා රටවල සම්මුතියෙන් ගැට් සංවිධානය සහ ඊට පසුව ලෝක වෙළෙඳ සංවිධානය හරහා සිදු වූ ක්‍රියාවලිය දැක්විය හැකිය. ඒ අනුව, මේ වන විට ගෝලීය වෙළෙඳ තරඟකාරිත්ව සහ සාධාරණත්වය සඳහා ගෝලීය නීති ඇතුළත් පුළුල් වෙළෙඳ නියාමන පද්ධතියක් ලෝක වෙළෙඳ සංවිධානය විසින් ක්‍රියාත්මක කෙරේ.
  • සිවුවනුව, රටවල් අතර ද්විපාර්ශවීය සහ කණ්ඩායම් වෙළෙඳ ගිවිසුම් මගින් වෙළෙඳ යුද්ධයන් වලකා, රටවල යහපත සඳහා වූ සහයෝගී වෙළෙඳාම් සහ පියවුම් ක්‍රමවේදයන් පවත්වා ගැනීම දැක්විය හැකිය.

නූතන තීරු බදු විකාශය කුමක් ද?

නූතන තීරු බදු ක්‍රමය විකාශය මූලික වශයෙන් නිදහස් වෙළෙඳ ආර්ථික විද්‍යා සංකල්පයන් ලෝකය පුරා ප්‍රචලිත වීමේ ප්‍රතිඵලයකි. 

  • ලෝකයේ ආරම්භක වෙළෙඳ අවධියේ රටවල වරායවලට පැමිණෙන විදේශ වෙළෙඳුන්ගෙන් රජවරු විසින් බදු අය කරන ලදි. එය හුදෙක් රාජ්‍ය ආදායම සඳහා ය. පසුව, රටවල සංවර්ධනය සහ වෙළෙඳාම ඉහළ යන විට දේශීය නිෂ්පාදනය ආරක්ෂා කිරීම සඳහා අධික තීරු බදු පැනවීම ආරම්භ විය. ලෝකයේ වාණිජ වාදී ආර්ථික මතවාදය (1500-1800 කාලය) පැවති සමයේ ධනය රැස් කිරීම සඳහා ආනයන වැලැක්වීම සහ අපනයන ප්‍රවර්ධනය පිළිබඳ විශ්වාස කරන ලදි. එබැවින්, රටවල් අතර තීරු බදු සහ වෙළෙඳ බාධක හරහා වෙළෙඳ යුද්ධයන් හට ගැනිණ. බලවත් ජාතින් විසින් රටවල් අල්ලා ගැනීමේ යටත් විජිත වාදයේ අරමුණ ද තම වෙළෙඳාම සහ ධනය ප්‍රවර්ධනය කිරීම යි. 
  • පසුව, නිදහස් වෙළෙඳාමේ ගෝලීය ආර්ථික වාසි පිළිබඳ ඇඩම් ස්මිත්ගේ නිරපේක්ෂ වාසි න්‍යාය සහ ඩේවිඩ් රිකාඩෝගේ සාපේක්ෂ වාසි න්‍යාය ආශ්‍රිත ආර්ථික විද්‍යා මූලධර්මයන් ව්‍යාප්ත විය. එහි මූලික පදනම වන්නේ, රටවල් විසින් තමන්ට අවශ්‍ය සියළුම භාණ්ඩ හා සේවාවන් නිෂ්පාදනය කිරීමට උත්සාහ නොකොට, තම රටේ සම්පත් හිමිකම සහ කාර්යක්ෂමතාවය අනුව වඩාත් ලාභ දායී ව නිෂ්පාදනය කල හැකි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කොට අපනයනය කිරීමත්, අනෙක් භාණ්ඩ හා සේවාවන් එවැනි රටවලින් ආනයනය කිරීමත් තුළින් ගෝලීය නිෂ්පාදනය සහ පරිභෝජනය හෝ මානව සුබසාදනය ඉහළ ගොස් පිරිවැය පහළ යන බව යි. එම ආර්ථික විද්‍යා මූලධර්මයන්ට අනුව තීරු බදු වැනි දේශීය නිෂ්පාදන ආරක්ෂණ ප්‍රතිපත්ති හේතු කොට නිදහස් වෙළෙඳාමට බාධා වී, නිෂ්පාදනය සහ සුබසාදනය පහළ යන බව දැක්වෙයි.
  • එබැවින්, දෙවන ලෝක යුද්ධයෙන් පසු රටවල් නැවත ගොඩ නැගීමේ දී, රටවල් අතර ආර්ථික සහයෝගී ගිවිසුම් හරහා නිදහස් වෙළෙඳාම තුළින් නිෂ්පාදනය සහ සංවර්ධනය කිරීමේ ප්‍රතිපත්ති අනුගමනය කරන ලදි. ඉහත දැක්වූ බ්‍රෙටන්වූඩ්ස් ගිවිසුම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව එහි පළමු ගෝලීය ප්‍රයත්නය යි. ඒ මගින් ජාත්‍යන්තර් වෙළෙඳාමට හිතකර ගෝලීය මූල්‍ය ක්‍රමයක් ස්ථාපිත කරන ලදි.
  • පසුව, රටවල් විසින් ගිවිසුම් මගින් තීරු බදු සහ වෙළෙඳ බාධක පහළ දැමීමේ ප්‍රතිපත්ති අනුගමනය කරන ලදි. ඒ සඳහා 1944 දී ගැට් සංවිධානය හෙවත් තීරු බදු සහ වෙළෙඳාම පිළිබඳ පොදු සම්මුතිය ස්ථාපිත කරන ලදි.  ඒ මගින් වෙළෙඳ සම්මේලනයන් රාශියක් පවත්වා නිදහස් වෙළෙඳාම බොහෝ සේ ප්‍රවර්ධනය කරන ලදි. ගැට් සම්මුති රටවල් 1945 සිට 1994 දක්වා කාලය තුළ ප්‍රධාන සාකච්ඡා වටයන් 8 ක් පවත්වා, තීරු බදු නියමයන් 58,700 ක් පමණ එකඟ වූ අතර ඉන් එකඟ වූ තීරු බදු සහන සහ වෙළෙඳ නියමයන් වත්මන් ගෝලීය වෙළෙඳාමේ සහ ආර්ථික සංවර්ධනයේ පදනම ලෙස සැලකිය හැකිය. පසුව, 1995 දී ගැට් සංවිධානය වත්මන් ලෝක වෙළෙඳ සංවිධානය ලෙස ස්ථාපිත කරන ලදි. එමගින්, ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ නීති පැනවීම සහ අවේක්ෂණ ක්‍රමයක් බිහි කරන ලදි. ඒ අනුව, ජාත්‍යන්තර වෙළෙඳාම ලෝක වෙළෙඳ සංවිධානයේ පුළුල් අධික්ෂණය යටතේ ප්‍රවර්ධනය විය. එය නූතන ගෝලීය ආර්ථික සහ මානව සංවර්ධනයට විශාල දායකත්වයක් සැපයීය. මෙහි දී, ට්‍රම්ප් විසින් ඒකපාර්ශවීය ලෙස පනවා ඇති තීරු බදු ලෝක වෙළෙඳ සංවිධානයේ නීතිවලට පටහැණි බවට තොරතුරු වාර්තා වෙයි.
  • එසේම, ඇමෙරිකාව විසින් 1961 දී ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමෙරිකානු ඒජන්සිය පිහිටුවා රටවල සෞඛ්‍යය, අධ්‍යාපනය සහ සමාජ සංවර්ධනය සඳහා ඇමෙරිකානු ආධාර මත බොහෝ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන ලදි. එය ද ගෝලීය ආර්ථිකය සහ සංවර්ධනය සඳහා ඇමෙරිකාවේ සෘජු දායකත්වය සැපයූ ආයතනයකි. මෙම ආයතනය ද පසුගිය දා ට්‍රම්ප් විසින් ඔහුගේ නව දේශීය ආර්ථික සංවර්ධන ප්‍රතිපත්තිය යටතේ වසා දමන ලදි.

ඉහත දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ලෝක වෙළෙඳ සංවිධානයේ ක්‍රියාකාරිත්වයට ඇමෙරිකානු රජයේ දායකත්වය බෙහෙවින් ඉවහල් විය. එහෙත්, 1973 දී බ්‍රෙටන්වූඩ්ස් ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් වූ බැවින් එම ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය අවලංගු විය. එහෙත්, ඇමෙරිකානු ඩොලරය ගෝලීය සංචිත මුදල් බවට පත් වී, ගෝලීය ආර්ථිකය තුළ ඇමෙරිකාවට ප්‍රධාන ස්ථානය ලැබීමට මෙම බ්‍රෙටන්වූඩ්ස් ගිවිසුම හේතු විය.

එබැවින්, ට්‍රම්ප්ගේ නව තීරු බදු සහ වෙළෙඳ ප්‍රතිපත්තිය හේතු කොට ලෝක වෙළෙඳ සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව යන ලෝක වෙළෙඳාම සහ ආර්ථිකය මෙහෙය වන ප්‍රධාන ආයතන තුන ඉදිරියේ දී බිඳ වැටීමේ හෝ අක්‍රීය වීමේ අවදානම පවතී.

ට්‍රම්ප්ගේ තීරු බදුවලින් ගෝලීය ආර්ථිකයට ඇති කෙරෙන 
කම්පනයන් මොනවා ද?

නව තීරු බදු ප්‍රකාශයට පත් වීමත් සමඟ ඇමෙරිකාවේ මෙන්ම ලෝකය පුරා කොටස් වෙළෙඳපොළවල මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ යාමට පටන් ගෙන ඇත. එය කොටස් වෙළෙඳපොළවල සාමාන්‍ය හැසිරීම යි. ඊට හේතුව, කොටස් ආයෝජකයන්ගේ සමපේක්ෂණ හැසිරීම යි. එබැවින්, කොටස් වෙළෙඳපොළවල් දෙස බලා නව තීරු බදු ප්‍රතිපත්තියෙන් ඇමෙරිකානු සහ ගෝලීය ආර්ථිකයට ඇති විය හැකි යහපත් සහ අයහපත් ප්‍රතිඵල පිළිබඳ ව කිසිවක් කිව නොහැකිය.

එහෙත්, නව ගෝලීය තීරු බදු සහ වෙළෙඳ යුද්ධයක් හට ගන්නා බවට තොරතුරු දැනටමත් පවතී. චීනය සහ කැනඩාව විසින් දැනටමත් අමෙරිකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා එකට එක තීරු බදු පනවා ඇති අතර වෙළෙඳ බාධකයන් ද පනවා ඇත. එබැවින්, මෙවැනි තීරු බදු සහ වෙළෙඳ යුද්ධයන්හි අයහපත් ප්‍රතිඵලයන්  ආර්ථික විද්‍යා මූලධර්මයන් අනුව පුරෝකථනය කළ හැකිය. දැනටමත් ගෝලීය ආර්ථික පසුබැසීමක් සහ උද්ධමන පීඩනයක් පිළිබඳ ව පුරෝකථනයන් ඉදිරිපත් වී ඇත.

එසේ අයහපත් ආර්ථික ප්‍රතිඵලයන් දළ වශයෙන් පහත දැක්විය හැකිය. එහෙත්, රටවල නායකයන්, ගෝලීය වෙළෙඳපොළවල් සහ රටවල වෙළෙඳපොළවල ප්‍රතික්‍රියාවන් කුමක් ද? යන්න නොදැන කිසිවක් නිශ්චිතව කිව නොහැකිය.

  • උද්ධමනය ඉහළ යාම

ඉහළ තීරු බදු හේතු කොට ඇමෙරිකාවේ ආනයනිත භාණ්ඩ මිල ගණන් ක්ෂණිකව ඉහළ යනු ඇත. ඊට හේතුව, ආනයනවල දේශීය මිල ගණන්වලට තීරු බදු එකතු වන බැවිනි. එය අනෙක් භාණ්ඩ හා සේවාවන් මෙන්ම වැටුප් ඉහළ යාමට ද හේතු වනු ඇත. අනෙක් රටවල් ද තීරු බදු ඉහළ දැමුව හොත්, එම රටවල ද මිල ගණන් ඉහළ යනු ඇත. අන්තර් සහ අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාමෙන් උද්ධමනය කාලයක් පුරා පැතිර යනු ඇත. එබැවින්, තීරු බදු හේතු කොට එක් වරක් මිල සහ උද්ධමනය ඉහළ යාමේ මතය නිවැරදි නොවේ.

  • විදේශ සංචිතය පහළ යාම සහ විනිමය අනුපාතය ඉහළ යාම

මෙයට ශ්‍රී ලංකාව වැනි බොහෝ දියුණු වන රටවල් මුහුණ දෙනු ඇත. එය පියවර දෙකකින් යුක්ත වෙයි. පළමුව, මෙම රටවලින් විදේශ ආයෝජනය ඉවත් වීම. එය දැනටම සිදු වෙමින් පවතී. දෙවනුව, අපනයන ආදායම පහළ යාම. මෙසේ විදේශ මුදල් ලැබීම් ප්‍රවාහය පහළ යන විට විදේශ සංචිතය පහළ යාම සහ විනිමය අනුපාතය ඉහළ යාම සාමාන්‍ය සිදුවීම් ය. එමගින්, උද්ධමනය ඉහළ යාම සහ නිෂ්පාදන ක්‍රියාකාරකම් කෙරෙහි දැඩි ලෙස බලපානු ඇත.

  • ගෝලීය ඩොලර් සැපයුම පහළ යාම

ගෝලීය ඩොලර් සැපයුමේ ප්‍රධාන මූලය ඇමෙරිකාවේ වෙළෙඳ හිඟය යි. ඊට හේතුව, ඇමෙරිකාවේ වෙළෙඳ හිඟය පියවීම ඇමෙරිකානු බැංකු ණය සහ මුදල් මැවීම හරහා සිදු වන බැවිනි. බොහෝ රටවල ඩොලර් සංචිතයට අරමුදල් සැපයෙන්නේ ඇමෙරිකානු වෙළෙඳ හිඟය මගිනි. එබැවින්, ඇමෙරිකානු වෙළෙඳ හිඟය පහළ ගිය හොත් රටවල ඩොලර් සැපයුම පහළ ගොස්, විදේශ මුදල් අර්බුදයන්ට මුහුණ දීමට සිදු වනු ඇත.

  • පොලී අනුපාතයන් ඉහළ යාම

මෙය සාධක දෙකක් හේතු කොට සිදුවනු ඇත. පළමුව, උද්ධමනය ඉහළ යාම. දෙවනුව, විදේශ සංචිත පහළ යාම. සාමාන්‍යයෙන් මහ බැංකු විසින් විදේශ සංචිතය අරක්ෂා කර ගැනීම සඳහා මෙවැනි අවස්ථාවල පොලී අනුපාතය ඉහළ දමනු ඇත. එසේම, ඇමෙරිකාවේ උද්ධමන පීඩනය ඉහළ ගිය හොත්, ඇමෙරිකානු මහ බැංකුව විසින් පොලී අනුපාතය ඉහළ දැමීමේ දී එය ලෝකය පුරා පැතිරී යනු ඇත. පොලී අනුපාතයන් ඉහළ යාම ද ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇත.

  • ආර්ථික වර්ධනය පහළ යාම

තීරු බදු යුද්ධය හේතු කොට විදේශ වෙළෙඳාම පහළ යන බැවින් රටවල ආර්ථික වර්ධනය පහළ යනු ඇත. ඊට හේතුව, බොහෝ රටවල නිෂ්පාදනය හුදෙක් ආනයන සහ අපනයන මත රඳා පවතින බැවිනි. සමහර අපනයන සහ ආනයන ව්‍යාපාරයන් බංකොලොත් විය හැකිය. එවිට, සේවා වියුක්තිය ද ඉහළ යා හැකිය. ඉහත දැක්වූ පරිදි උද්ධමන පීඩනය, විදේශ සංචිතය පහළ යාම, විනිමය අනුපාතය සහ පොලී අනුපාත ඉහළ යාම හේතු කොට ද නිෂ්පාදන ක්‍රියාකාරකම් පහළ යනු ඇත.

  • ගෝලීය ආර්ථික අවේක්ෂණ ආයතන පද්ධතිය බිඳ වැටීම

ඇමෙරිකානු රජය විසින් දැනටමත් ඇමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන ආයතන වසා දමා ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ලෝක වෙළෙඳ සංවිධානය ඉදිරියේ දී අක්‍රීය වනු ඇත. ඊට හේතුව, මෙම ආයතනයන් තරඟකාරී නිදහස් වෙළෙඳාම මත ක්‍රියාත්මක වන බැවිනි. ඇමෙරිකානු රජයට එරෙහිව යාමට මෙම ආයතනයන්ට හැකියාව නොමැත. ඊට හේතුව, මෙම ආයතනයන් ඇමෙරිකානු රජයේ අනුග්‍රහය මත ක්‍රියාත්මක වන බැවිනි. එසේම, මෙම ආයතනයන්හි බලවත් සාමාජිකයන් අතර දේශීය ආර්ථික ප්‍රතිපත්ති ගැටුම් දැනට හට ගෙන ඇත. 

උදාහරණ ලෙස බලවත් සාමාජික රටවල තීරු බදු යුද්ධයෙන් අසාධාරණයට ලක් වන දියුණු වන රටවලට තම පැමිණිලි ලෝක වෙළෙඳ සංවිධානයට ඉදිරිපත් කිරීමෙන් ඵලක් නොමැත. එසේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් රටවලට ණය වැඩසටහන් අනුමත කිරීමේ දී නිදහස් වෙළෙඳාම සහ ආයෝජනය පිළිබඳ කොන්දේසි පැනවීමට හැකියාවක් නොමැත. එබැවින්, මෙම ජාත්‍යන්තර ආයතනයන් අක්‍රීය වුවහොත් රටවලට නිසි ගෝලීය අවේක්ෂණයක් නොමැති බැවින් ගෝලීය ආර්ථික අස්ථායිතාවය සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත.

සමාප්ත සටහන 

  • යුද්ධයක දී ජය ලබන්නෙකු නැත. වෙළෙඳ යුද්ධයන් ද එසේ ය. එහෙත්, යුද්ධයන් තුළින් නවීකරණය සහ සංවර්ධනය ඇති වනු ඇත.
  • ට්‍රම්ප්ගේ නව තීරු බදු ප්‍රතිපත්තිය යනු ලෝකයට නව ගෝලීය නිදහස් වෙළෙඳ ආර්ථික ක්‍රමයක් හඳුන්වා දීමකි. ලෝකය ඉදිරියට යාමට අතීතයේ දී මෙන් එවැනි නවීකරණ සිස්ටම් චේන්ජ් අවශ්‍ය ය.
  • ට්‍රම්ප්ගේ නව තීරු බදු ප්‍රතිපත්තියේ ගුණ දොස් විමසිය යුත්තේ, පැරණි මාදිලියේ භූදේශපාලනික තීරු බදු ප්‍රතිපත්තිවල අත්දකීම් පදනම් කර ගෙන ය. එහෙත්, ට්‍රම්ප්ගේ නව තීරු බදු ප්‍රතිපත්තිය රටවල් අතර වෙළෙඳ ශේෂය ශුන්‍ය කිරීමේ නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තිය මත පදනම් වෙයි. එබැවින්, එහි කාර්යක්ෂමතාවය නොදැන පැරණි මාදිලියට ගුණ දොස් විමසීම යෝග්‍ය නොවනු ඇත.
  • නූතන ආර්ථිකයන් භූදේශපාලනික ලෙස සංවිධානය වූ ගෝලීය වෙළෙඳ පද්ධතියක් හරහා ක්‍රියාත්මක වන බැවින් මෙවැනි ප්‍රතිපත්ති මගින් රටවලට සහ ගෝලීය ආර්ථිකයට ඇති කෙරෙන කම්පනයන් අධිකය. මීට හොඳම උදාහරණය වනුයේ, 2021 අවසානයේ දී බ්‍රිතාන්‍යයේ ලිස් ට්‍රස් රජය විසින් ඉදිරිපත් කළ බදු කැපීම හරහා ආර්ථික වර්ධනය නැංවීමේ අතුරු අයවැයට මූල්‍ය වෙළෙඳපොළවල් දැක්වූ කම්පනයන් හේතු කොට නව රජයට දින 49 කින් ඉල්ලා අස්වීමට සිදු වීම යි. එහෙත්, බ්‍රිතාන්‍යයේ මෙන් නොව, ඇමෙරිකානු ජනාධිපතිට හිමි අතිමහත් විධායක බලතල දෙස බලන විට ඔහුගේ රජය එසේ පන්නා දැමීම පහසු නොවේ.
  • සිස්ටම් චේන්ජ් පිළිබඳ ව සැවොම කථා කළ ද, ඒවා කරන විට සියල්ලම විරුද්ධ වෙයි. එබැවින්, සිස්ටම් චේන්ජ් පොරොන්දු දුන්න ද, කිසිවකු එසේ සිස්ටම් චේන්ජ් කිරීමට ඉදිරිපත් නොවේ.
  • එබැවින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ නව ආර්ථික ප්‍රතිපත්තිය පොරොන්දු වූ සිස්ටම් චේන්ජ් එකක උත්සාහයක් බැවින් එය අගය කළ යුතුය. එය කළමනාකරණය කර ගැනීමේ හැකියාව ඔහු සතු බව පෙනේ.
  • දැනට ට්‍රම්ප් මැදිහත් වී ඇත්තේ භාණ්ඩ වෙළෙඳාමට පමණි. සේවා සහ ආයෝජන වෙළෙඳාම පිළිබඳව කිසිවක් ප්‍රකාශ කොට නොමැත. එහෙත්, විදේශීය සමාගම් ඇමෙරිකාවේ කර්මාන්ත ශාලා පිහිටුවීමට ආයෝජනය කිරීම සහ එම නිෂ්පාදනයන්ට තීරු බදු සහන දීම පිළිබඳ ව කැමැත්ත පළ කොට ඇත. එබැවින්, ඇමෙරිකාවේ මුදල් විදේශ රටවල ආයෝජනය කිරීම පිළිබඳව සීමාවන් පැනවුව හොත් ගෝලීය මූල්‍ය වෙළෙඳපොළවල් බිඳ වැටෙනු ඇත.
  • මෙය සමස්තයක් ලෙස බැලීමේ දී ඇමෙරිකාවේ නායකත්වය හරහා දශක ගණනාවක් පුරා තමා වටා ගොඩ නගන ලද ගෝලීය වෙළෙඳ සහ මූල්‍ය ආර්ථිකය ඇමෙරිකාව විසින්ම වෙනස් කිරීමට උත්සාහ කිරීමක් ලෙස දැක්විය හැකිය. එය ඇමෙරිකාවේ වෙළෙඳ හිඟය පහළ දැමීම/ගෙවුම් ශේෂ තුලනය කෙරෙහි යොමු වූ නිදහස් ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්තියක් මත විකාශය විය හැකිය. එහි පරිවර්තීය ආර්ථික අවදානම් රැසක් පැවැතිය හැකිය.
  • ශ්‍රී ලංකාව වැනි රටවල පවතින අකාර්යක්ෂම රාජ්‍ය ප්‍රතිපත්ති පද්ධතිය සහ ව්‍යුහාත්මක ආර්ථික අවදානම් තුළ ඉදිරියේ දී ඇති විය හැකි ගෝලීය වෙළෙඳ යුද්ධය සහ වෙළෙඳපොළ කම්පනයෙන් හරහා ආර්ථිකයන්ට මුහුණ දීමට සිදුවන විදේශ සංචිතය වැටීම, විනිමය අනුපාතය සහ පොලී අනුපාතය ඉහළ යාම, ඉහළ උද්ධමනය, නිෂ්පාදනය පහළ යාම සහ විරැකියාව ඉහළ යාම (ඉහතින් කෙටියෙන් දක්වා ඇති) වැනි ආර්ථික කම්පනයන්ගෙන් බේරීම හෝ ගොඩ ඒම ගැන සිතිය නොහැකිය. ට්‍රම්ප් තීරු බදු යුද්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ගොළු වුවහොත්, ශ්‍රී ලංකාව වැනි බොහෝ රටවල නායකයන්ට යන එම මං නැතිවනු ඇත.
  • මෙහි දී, අප මතක තබා ගත යුත්තේ, ට්‍රම්ප් විසින් මෙම තීරු බදු පනවා ඇත්තේ හුදෙක් උපකල්පනයන් සහ අපේක්ෂාවන් මත ය. අවසාන ප්‍රතිඵලය කුමක් ද? යන්න කිසිවෙකුට කිව නොහැකිය. එසේම, රටවල් විසින් මෙම තීරු බදු අවුල විසඳා ගැනීමට ගන්නා පියවරයන් ද හුදෙක් උපකල්පනයන් සහ අපේක්ෂාවන් මත පදනම් වනු ඇත. සමස්ත ප්‍රතිඵලය වෙළෙඳපොළවල් මගින් තීරණය වනු ඇත.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනයට හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව, බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

(හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව) 

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, නියෝජ්‍ය අධිපති, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan