මෙවර පළාත් පාලන මැතිවරණ වේදිකාවේත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධානතම තුරුම්පුව වී ඇත්තේ විපක්ෂයට පතුරු හැළෙන්නට පහර දීම බව පෙනේ. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්ව ජාතික ජන බලවේගයේ පාලනයක් පිහිටුවා මාස හතක් ගතවී ඇතත් මැතිවරණ වේදිකාවකදී තමන් කළ වැඩක් රටට කියා ඡන්දය ඉල්ලනට නොහැකි වීම ආණ්ඩුව පත්ව ඇති දුෂ්කරතාවේ මට්ටමයි. එහෙත් ආණ්ඩුවේ පහළ මට්ටමේ ප්‍රචාරකයින් දැක් කියමින් යන්නේ “හරිහමන් විපක්ෂයක් තිබ්බා නම් මෙහෙම වෙන්නෑ” පන්නයේ කතාවකි. එනම් ආණ්ඩුවේ බැරි බැරියා රෝගයට පවා වගකිව යුත්තේ විපක්ෂය බවට මතයක් නිර්මාණය කිරීමට ඔවුහු උත්සාග ගනිමින් සිටිති.
විපක්ෂයේම සිටින ඇතැම් කුඩා පක්ෂ ද සෘජුවම හෝ වක්‍රව ආණ්ඩුවේ ඉහත කී උපක්‍රමයට දායක වෙමින් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට විටින් විට පහර ගසන ආකාරයත් දැකගත හැකිය. රටටම කැම්පේන් කර යාන්තම් එක ආසනයක් දිනාගත් ඇතැම් පක්ෂ පවා පෙන්වන්නට හදන්නේ තමන්ට ප්‍රධාන විපක්ෂය වෙන්නට ලැබුණා නම් තුනෙන් දෙකේ ආණ්ඩුව “මෙහෙම මෙහෙම” මෙල්ල කරගන්නට තිබුණා යනුවෙනි. සමගි ජන බලවේගය ඔය කියන තරම් දුර්වලද, සජිත්ගෙන් මේ ආණ්ඩුවට අභියෝගයක් ඇත්තේම නැද්ද යන කරුණු පිළිබඳව අපි කෙටියෙන් විමසා බලමු.
සජබ මැතිවරණ පරාජයන්
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය අලුත් දේශපාලන පක්ෂයකි. එම පක්ෂයේ වයස තවමත් අවුරුදු පහකි. සජබ බිහිවීමට පෙර සජිත් ප්‍රේමදාස මහතා මුහුණ දුන් 2019 ජනාධිපතිවරණයත් සමග බැලූවිට සජබ මේ වෙද්දී ජනාධිපතිවරණ දෙකක් සහ මහමැතිවරණ දෙකක් පරාජයට පත්ව තිබේ. එහෙත් ඒ පරාජයන්වලට බලපෑ ප්‍රබල හේතූන් ද ඒ ඒ මොහොතට අදාළව තිබුණු බව අමතක නොකළ යුතුය.
2019 ජනාධිපතිවරණය පැමිණියේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසුව ජාතික ආරක්ෂාව පිළිබඳ මාතෘකාව රටේ ප්‍රධානතම ධාවක බලවේගය බවට පත්ව තිබුණු අවස්ථාවක ය. එහිදී හිටපු මිලිටරි ප්‍රධානියෙකු වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීම නොවැළැක්විය හැකි තත්වයක් උද්ගතව තිබිණි. ජාත්‍යන්තර සාධක පවා ඒ මොහොතේ පැවතියේ ගෝඨාභයගේ වාසියට ය. ඔහුට 69 ලක්ෂයක ජනවරමක් ලැබුණේ ඒ ආකාරයෙනි. ඒ 69 ලක්ෂයක ජනාධිපතිවරණ ජයග්‍රහණය පසුපසින් මහමැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ද නිරායාසයෙන් ලබාගැනීමට පොහොට්ටුව සමත් වූ අතර විපක්ෂයට එහිදී කළ හැකි දෙයක් තිබුණේ නැත.
2024 ජනාධිපතිවරණය මීට වඩා මඳක් වෙනස් තත්වයකි. එය මෙරට ජනාධිපතිවරණයකදී තුන්කොන් සටනක් නිර්මාණය වූ පළමු අවස්ථාවයි. එහිදී ප්‍රධාන විපක්ෂය වූ සජබ නියෝජනය කළ සජිත් පරදා ජයගැනීමට විපක්ෂයෙන්ම ඉදිරිපත් වූ ජවිපෙ ප්‍රමුඛ අනුර කුමාර දිසානායක මහතා සටන් කළ අතර ආණ්ඩුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ වුවමනාව වී තිබුණේ ද සජිත්ව පරාජයට පත්කිරීම මය. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේම තමන්ට ජයග්‍රහණය අසලකටවත් ඒමට නොහැකි බව හොඳටම දැන දැන ය. අනුරගේ ජයග්‍රහණය තහවුරු කිරීම ඔහුගේ ද එකම වුවමනාව වී තිබිණි. ඡන්ද ලක්ෂ 20ක් රනිල්ගේ පුද්ගලික පළිගැනීම වෙනුවෙන් කඩා දමද්දී අනුරට පහසු ජයක් වාර්තා කිරීමේ අවස්ථාව ලැබිණි. එදා ගෝඨාභයට ඡන්දය දුන් 69 ලක්ෂයෙන් සාතිශය බහුතරයක් මෙදා අනුරට ඡන්දය ලබාදුන් අතර 2024 මහමැතිවරණයේදී ලක්ෂ 68.5ක් ඡන්ද ලබමින් තුනෙන් දෙකකටත් එහා යන බලයක් ලබාගැනීමට අනුරගේ නායකත්වයෙන් යුත් ජාජබට හැකිවුණි.
සජිත්ගේ ඡන්ද පදනම
ඔය ආකාරයෙන් මැතිවරණ 4ක් පරාජයට පත්වූ නමුත් සජිත් ප්‍රේමදාස යනු එක්සත් ජාතික පක්ෂයෙන් එළියට බසිද්දී තමන් සමග ආ ඡන්දදායකයින් ප්‍රමාණය මේ දක්වාම විශාල වෙනසකින් තොරව රැකගෙන සිටින නායකයෙකි. 2019 සහ 2024 යන මැතිවරණ දෙකේදීම ඔහුට එරෙහිව ක්‍රියාත්මක වූයේ පොහොට්ටුවේ 69 ලක්ෂයක ජන බලවේගය වන අතර ඔවුන් පළමුව ගෝඨාභයවත් දෙවැනි වර අනුරවත් පෙරටු කරගෙන ජයග්‍රහණය කිරීමට සමත් වූහ. එකී 69 ලක්ෂයේ අභිලාෂයන්ට විරුද්ධ බලවේගය තවමත් තමන් වෙත රඳවා ගැනීමට සජිත් පැහැදිලිවම සමත්ව සිටී.
ප්‍රශ්නය ඇත්තේ ජාතිවාදී, යුධවාදී, දූපත්වාදී, කොමියුනිස්ට්වාදී කවලම් අච්චාරුවක් වන 69 ලක්ෂයට එරෙහිව සජිත් සමග සිටින බලවේගය මැතිවරණ ජයග්‍රහණයක් සඳහා ප්‍රමාණවත් නොවීමයි. එය හුදෙක් සජිත්ගේම ප්‍රශ්නයක් නොව බංකොලොත්භාවය දක්වාම දිවුණු රටක ජනතාව පිළිබඳ ප්‍රශ්නයකි.
සජිත් ඔය කියනා ආකාරයේ දුර්වල නායකයෙක්ද ?
සජිත් දුර්වල නායකයෙකු බව ඔහුගේ විරුද්ධවාදීන් පුන පුනා කියන කතාවකි. සජිත් යනු පරිපූර්ණ මිනිසෙකු හෝ ඇතැම් දේශපාලන නායකයින් මවාගෙන සිටින ආකාරයේ සුවිශේෂී මිනිසෙකු හෝ නොවේ. ඔහුත් අඩුවැඩි වශයෙන් දුර්වලතා සහිත සාමාන්‍ය මිනිසෙකි. නමුත් අතිශයින් අවාසිසහගත තත්වයන් තුළදී පවා තම කඳවුරට නායකත්වය දෙමින් එය රැකගැනීමට සජිත් පෙන්වා ඇති හැකියාව නොසලකා හැරිය හැකි දෙයක් නොවේ.
2020 මහමැතිවරණයේදී පොහොට්ටුව ආසන 145ක් තනිවම ලබමින් දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළ අතර තුනෙන් දෙකක බලය ලබාගැනීම සඳහා සජබෙන් ඔවුන්ට ගලවාගත හැකිවූයේ ඩයනා ගමගේ මන්ත්‍රීවරියත් මුස්ලිම් පක්ෂ නියෝජනය කළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුත් පමණි. ඇමතිකම්, වරදාන, වරප්‍රසාද කොතෙක් ඔට්ටුවට තැබුව ද සජබෙන් විශාල පළුවක් ගැලවී රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් කිරීමට ගියේ නැත.
2022 වනවිට රටේ නිර්මාණය වූ මහජන අරගලය ද සජබ සහයෝගයෙන් තොරව ඉබේම හෝ අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් හෝ මතු වූවක් නොවේ. ගෝල්ෆේස් අරගලය නිර්මාණය වීමට පෙර සජබයත් වීදි සටන් ගනනාවක නිරත විය. සජිත් ප්‍රේමදාස පුද්ගලිකවම සහභාගී වෙමින් මහනුවර සිට කොළඹට දීර්ඝ පාගමනක් ද පැමිණියේය. රාජපක්ෂ විරෝධය ආණ්ඩු පෙරළියක් දක්වා වර්ධනය වූයේ ඒ දායකත්වයන් ද සමගිනි. එහි අවසන් ඵලය නෙළාගැනීමට අනුර සමත් වුණේ රනිල්ගේ ද මැදිහත් වීමක් සහිතවය යන්න ඉතිහාසයට දැනටත් එක්ව ඇති කරුණකි.
2022 අරගලයෙන් ගෝඨාභය රාජපක්ෂව පන්නා දැමූ පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වූ අතර රනිල්ට එරෙහිව වීදි බැසීමට ජවිපෙට වුවමනාවක් තිබුණේ නැත. ගෝඨාභය පැනගිය මොහොත වනවිටත් කැඳවා තිබුණු සමස්ත මහා වැඩවර්ජනයෙන් තමන් ඉවත් වන බව ජවිපෙ වසන්ත සමරසිංහ ඒකපාර්ශ්විකවම නිවේදනය කළ බව අද බොහෝ අයට අමතක ගාණ ය.
එමෙන්ම පොහොට්ටුවේ රාජපක්ෂලාගේ සහායෙන් අගමැති ධුරයටත් පසුව ජනාධිපති ධුරයටත් පත්වූ නමුත් රනිල්ට තමන්ගේම කියා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සිටියේ නැත. ඔහු සමගි ජන බලවේගය බිඳ දමා එයින් ලොකු කොටසක් යළිත් එක්සත් ජාතික පක්ෂයට බඳවා ගැනීමට කැබිනට් ඇමතිකම්වල සිට බාර් ලයිසන් දක්වා විවිධාකාර දොළ පිදේනි දෙන්නට සූදානමින් සිටි නමුත් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර දෙදෙනා හැර වෙනත් ප්‍රධාන පෙළේ කිසිදු මන්ත්‍රීවරයකු සජබ කඩාගෙන ආණ්ඩුවට නොයන තැනට වගබලා ගනිමින් පක්ෂය රැක ගැනීමට සජිත් ඒ මොහොතේ සමත් විය.
විශේෂයෙන්ම සජිත්ව තම ප්‍රධානතම දේශපාලන සතුරා වශයෙන් සලකන රනිල් ජනාධිපති ධුරයටත් පැමිණ සිටියදී, ඔහුගේ කුප්‍රකට දේශපාලන භාවිතාව අනුව රනිල් ඔහුට හැකි සෑම කුමන්ත්‍රණයක්ම කරමින් සිටියදීත් පක්ෂය රැකගැනීමට සජිත්ට හැකිවීම යනු සරල දෙයක් නොවේ. එය සජිත්ගේ නායකත්ව ලක්ෂණ මනාව පෙන්නුම් කෙරුණු අවස්ථාවකි. සජබ තුළම සිටි සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, චම්පික රණවක වැනි නායකයින්ව මෙහෙයවමින් සජබ තුළ කැරැල්ලක් නිර්මාණය කරවීමට ද රනිල් දැඩි උත්සායක නිරත වූ බව රහසක් නොවේ. එහෙත් ලංකාවේ දේශපාලනයේ කපටි නරියා වශයෙන් හැඳින්වෙන රනිල්ගේ ඒ කුමන්ත්‍රණයත් පරාජය කිරීමට සජිත් සමත් වූයේය.
නායකයකු සතු සුවිශේෂී ලක්ෂණයක් වන්නේ බාහිර සහ අභ්‍යන්තර වශයෙන් එල්ල වෙන ඕනෑම පීඩනයක් දරාගෙන ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට ඇති හැකියාවයි. සජිත් ඒ හැකියාව ඉහත කී අවස්ථා දෙකේදීම මොනවට ඔප්පු කර තිබේ.
සජිත්ගේ වැඩකිරීමේ කලාව සහ හැකියාව
සජිත් ප්‍රේමදාස යනු “වැඩ කිරීම” සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුළන නායකයෙකි. දේශපාලන විරුද්ධවාදීන්ට පවා ඒ ගැන කියන්නට දෙයක් නැත. වත්මන් ආණ්ඩුව නියෝජනය කරන අය පවා පසුගිය සමයේදී “සජිත්ට මෙච්චර වැඩ කරන්නට සල්ලි කොහෙන්ද ?” ඇසුවාක් මිස වෙනත් කියන්නට දෙයක් ඔවුන්ට තිබුණේම නැත.
ආණ්ඩු බලයක් නොමැතිව, මහා භාණ්ඩාගාරයේ ඇති බිලියන ගණනක බදු මුදල් නොමැතිව විපක්ෂ නායකවරයා වශයෙන් තනිවම පසුගිය වසර කිහිපය තුළ සජිත් රෝහල්වලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදෙමින්, ග්‍රාමීය ජනතාවට පානීය ජලය ලබාදෙමින්, පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර ලබාදෙමින්, පාසල්වලට බස් රථ ලබාදෙමින් කළ වැඩ කොටස හා සැසඳීමේදී වත්මන් ආණ්ඩුවට විධායක ජනාධිපති ධුරයත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අධික බලයකුත් අතිවිශාල මහජන බදු මුදල් කන්දරාවකුත් තබාගෙන මාස හතක් තිස්සේ කළ දෙයක් පෙන්වන්නට නොමැති වීම රටක් වශයෙන් අප මුහුණ දෙන ඛේදවාචකයකි.
දැනටත් මැතිවරණ වේදිකාවේ සජිත්ට බැන වදිමින් සිටිනවා මිස වෙනත් දෙයක් කියන්නට ඔවුන්ට හැකියාවක් නැත්තේ වැඩ කිරීමේ කලාව නොදන්නාකමත් වැඩ කිරීමේ හැකියාවක් ඔවුන්ට පිහිටා නොතිබීමත් නිසාවෙනි.
සජිත් හමුවේ ඇති අභියෝග
සෑම දේශපාලන පක්ෂයක්ම පිහිටුවන්නේ බලය ලබාගැනීමේ අපේක්ෂාවෙනි. දේශපාලන පක්ෂ පවත්වාගෙන යාමට නම් ජයග්‍රහණ අත්‍යාවශ්‍ය වේ. මැතිවරණ පරාජයන් යනු ඉතා අමිහිරි අත්දැකීම් ය. එවන් අමිහිරි වටපිටාවක් තුළ දීර්ඝ කාලයක් ගත කරන්නට සිදුවීම පහසු කාර්යයක් නොවේ. මන්දයත් පාක්ෂිකයින් කළකිරීමට පත්වන බැවිනි. මෙකී අමිහිරි වාතාවරණයට මුහුණ දෙමින් පාක්ෂිකයින්ගේ චිත්ත ධෛර්යය ශක්තිමත් කිරීම සජිත් හමුවේ ඇති පළමු අභියෝගයයි.
එසේම අප මුලින් ද සඳහන් කළ ආකාරයට සජිත් සතුව දැනට ඇති ඡන්ද පදනම මැතිවරණ ජයග්‍රහණයක් සඳහා ප්‍රමාණවත් නොවේ. එහෙයින් අලුත් ඡන්ද වැඩි වැඩියෙන් තම පක්ෂයට ආකර්ශනය කරගැනීම ඔහු හමුවේ ඇති දෙවැනි අභියෝගයයි. තරුණ කොටස් ආකර්ෂණය කරගත හැකි වැඩපිළිවෙලක් ඔවුන් හමුවට ගෙනයාම මෙන්ම වත්මන් ආණ්ඩුවේ 69 ලක්ෂය තුළ සිටින ජාතිවාදී, යුධවාදී, දූපත්වාදී, කොමියුනිස්ට්වාදී නොවන සාමාන්‍ය මින්සුන් පිරිසෙන් යම් කොටසක් තම පක්ෂය වෙත හරවා ගැනීමට ද සජිත් විසින් ක්‍රමයක් සොයාගත යුතුව ඇත.
මේ ආණ්ඩුවේ ගාමක බලවේගය වන්නේ වෛරයයි. කිසිදු වැඩක් නොකර පවා ආණ්ඩුව ඉහළ ඡන්ද ප්‍රතිඵල ලබන්නේ සතිපතා තම ඡන්ද දායකයින් ඉල්ලා සිටින වෛරයේ මාත්‍රාව කුමන ආකාරයෙන් හෝ ඔවුන්ට ලබාදීමට ජාජබ නායකයින්ට ඇති විශේෂ හැකියාව හේතුවෙනි. මේ වෛරයේ දේශපාලනයට එරෙහිව සාර්ථක ලෙස භාවිතා කළ හැකි දේශපාලන දැක්මක් සජිත් විසින් ජනතාවට ඉදිරිපත් කළ යුතුව ඇත. එසේ ඉදිරිපත් කළ හැකි ශක්තිමත් අලුත් මතවාදයක් නිර්මාණය කරගැනීමටත් මෙකී වෛරී දේශපාලනය පැය 24 පුරා පතුරුවන ආණ්ඩුවේ රාජ්‍ය මාධ්‍ය, ආණ්ඩුවට හිතවත් පෞද්ගලික මාධ්‍ය සහ රාජ්‍ය බලය සහිතව ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් සහ දේශපාලන ක්‍රියාකාරිකයින් හමුවේ ඊට එරෙහි මතවාදය ජනතාව අතරට ගෙන යමින් ජනතාව දිනාගැනීමටත් ක්‍රමයක් සජිත් සොයාගත යුතුව තිබේ. එය ඔහු හමුවේ ඇති තෙවැනි අභියෝගයයි.
තවමත් කෙළවරක් නොමැති 69 ලක්ෂයේ ශාපයෙන් රට බේරෙනු ඇතිද, නැතිද යන්න තීරණය වන්නේ සජිත් මේ අභියෝග තුනට විසඳුම් සොයාගන්නා ආකාරය අනුව ය. ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් එතරම් හැඟීමක් දැනීමක් නොමැති පිරිසක් අතේ දීර්ඝ කාලයක් බලය රැඳී තිබීම යනු ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට වුවත් ඔරොත්තු දිය නොහැකි මට්ටමේ දෙයක් ය යන අනතුර බොහෝ දෙනෙකුට තවම තේරෙන්නේ නැත.
~ රජිත විරාජ්
