ඉකුත් සතියේ එක්සත් රාජධානියේ පැවති පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සමඟ ඉතිහාසයේ පළමු වරට ලන්ඩනයේ දේශපාලන පෙරළියක් සිදුවනවා. තරමක් ප්‍රමාද වුනත් මේ ගැන කතාකළ යුතු නිසා ලියන්න හිතුනේ.
අනාදිමත් කලක පටන් දක්ෂිණාංශික පාලනයක් තිබුණු ලන්ඩනයේ පළමු වරට බ්‍රිතාන්‍යයේ වාමාංශික මතධාරී කම්කරු පක්ෂය ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් සභාව ජයග්‍රහණය කරනු ලබනවා.
ඒ අනුව දක්ෂිණාංශික මතධාරී බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂ පාලනයේ තිබූ සභා 3 ක බලය හිමිකර ගැනීමට කම්කරු පක්ෂය සමත් වනවා.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ගේ නො. 10 ඩවුනිං වීදියේ කාර්යාලය තිබෙන්නේත් මේ වෙස්ට්මින්ස්ටර් සභාවේ ම තමයි. මේ පළාත 1964 ඉඳන් කන්සර්වේටිව් පාලනයට යටත්ව තිබුණු බවට කියවෙනවා.
මීට අමතරව බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය, දශක ගණනාවක් මුළුල්ලේ කන්සර්වේටිව් පාලනයට යටත්ව තිබූ වොන්ඩ්ස්වර්ත් සහ බාර්නට් සභා ද ජයග්‍රහණය කරනවා. කෙසේවෙතත්, හැරෝ සභාව ජයග්‍රහණය කිරීමට අසමත් වනවා.
ඒ අනුව ලන්ඩනයෙන් පිටත බලයක් හිමි නොවුනත් අධි බලැති කන්සර්වේටිව් කුළුණු බිඳ දැමීමට ශ්‍රීමත් කියර් ස්ටාමර් ප්‍රමුඛ කම්කරු පක්ෂය සමත් වනවා.
මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් තේරුම් ගත හැක්කේ කුමක්ද? වෙස්ට්මින්ස්ටර් හි මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබෙන්නේ කන්සර්වේටිව් මන්ත්‍රීවරුන් 401 දෙනෙකු පමණි. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් ආන්දෝලනාත්මක බ්‍රෙක්සිට් ගනුදෙනුවට සහාය පළකළ බෙක්ස්ලි, බ්‍රොම්ලි සහ හිලිංඩන් වල බලය රැක ගැනීමට ටෝරි මන්ත්‍රීවරුන් සමත්ව තිබෙනවා.
මෙය ලන්ඩනයේ දක්ෂිණාංශික දේශපාලනයේ බිඳවැටීමක් ද?
ලන්ඩනය යනු බ්‍රිතාන්‍යයේ වාමාංශික කම්කරු පක්ෂයේ ආකර්ෂණය දිනූ එහෙත් හැමදාම වගේ දක්ෂිණාංශික කන්සර්වේටිව් පාලනය තිබූ කලාපයක්. අර ලංකාවේ රතුපාටට කැමති වුනත් හැමදාම කතිරෙ වැටුනේ නිල්-කොළ පාට දෙකට වගේ තමයි.
නමුත් ගතවූ කාලය තුළ කන්සර්වේටිව් ආකර්ෂණය ක්‍රමක්‍රමයෙන් ලන්ඩනයේ ගිලිහෙමින් තිබෙන බව දක්නට ලැබෙනවා. කොවිඩ් උවදුර ආවත් හරි, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එළිපිට මාට්ටු වෙන ගොං වැඩක් කරනවා. කොවිඩ් උවදුර මැද සෞඛ්‍ය විධිවිධාන උල්ලංඝනය කරමින් සාද පවත්වන්න ගිහිං අතේ මාට්ටු වනවා. මේ අතර, රටේ ඉහළ යන ජීවන වියදම ගැන අතේ පත්තු වෙන බොරු ගොතමින් මාධ්‍යයට කියනවා. 2022 පළමු මාස තුන තුළ පමණක් බ්‍රිතාන්‍ය ඛනිජ තෙල් සංස්ථාව ඩොලර් බිලියන ගණනක අසාමාන්‍ය ලාභයක් ලබද්දී ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තයන්ට බදු ගැසීම බොරිස් ජොන්සන් ප්‍රතික්ෂේප කරනවා. පාර්ටිගේට් ජරමරය නිසා තමා ළඟම හිටපු බොහෝ කන්සර්වේටිව් දැවැන්තයන් බොරිස් ජොන්සන් අහිමි කරගන්නවා.
කොවිඩ් උවදුර පැවති කාලය තුළ ලෝකයේ අනෙකුත් රටවල් වගේම බ්‍රිතාන්‍යයේ පුරවැසියන් ද බරපතල අර්බුදයකට මුහුණ පෑවා. වැඩිහිටි ප්‍රජාව අතර මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගියා. කොවිඩ් වෛරසයේ විවිධ ප්‍රභේද හටගනිමින් මනුෂ්‍ය ජීවිත වලට එල්ල කළ බලපෑම එක්ක බලද්දී, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාව නොතිබෙන්නට එරට ජනතාවට මොනවා වෙන්න තිබුණා ද කියලා හිතාගන්න වත් බැහැ. හැබැයි පාලක පක්ෂ නායක අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් රට අගුලු දමා ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් නිවාස වලට කොටුවී දුක් විඳින විට කොවිඩ් විධිවිධාන අමුඅමුවේ උල්ලංඝනය කරමින් සාද පවත්වා ඉතාම නරක පූර්වාදර්ශයක් රටට සැපයූවා.
1978 පටන් දක්ෂිණාංශික නැඹුරුවක් තිබුණු වොන්ඩ්ස්වර්ත් සභාව බ්‍රිතාන්‍යයේ වැඩිම කලක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ මාග්‍රට් තැචර් ගේ ප්‍රියතම සභාව බවට කියවෙනවා. සභා බදු කප්පාදු කිරීම, සහ විවිධ සේවා පෞද්ගලීකරණය කිරීම අතින් ඉහළ ප්‍රසිද්ධියක් ලබා තිබූ සභාවක් වොන්ඩ්ස්වර්ත්. එහෙම තිබුණු වොන්ඩ්ස්වර්ත් සභාවේ පළමු වරට දක්ෂිණාංශයේ සොහොන් ළකුණු දකින්නේ 2018 දී. ඒ එම වර්ෂයේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් ටෝරි පක්ෂය ජයග්‍රහණය කරන්නේ කම්කරු පක්ෂයට සාපේක්ෂව සියයට 4.1 ක තරම් සුළු ප්‍රමාණයකින් පමණක් වීම නිසායි. 2019 පටන් ලන්ඩනයේ පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශ තුනෙහිම කම්කරු පක්ෂ නියෝජනය පැවතියා.
දැන් කම්කරු පක්ෂයම පවසන්නේ, ඔවුනට කිසිවිටක මැතිවරණ කටයුතු වලදී බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාගේ වැරදි ගැන හෝ පාර්ටිගේට් සිදුවීම ගැන කරුණු ජනතාවට සිහිපත් කිරීමට අවශ්‍ය නොවූ බවයි. ඒ අනුව, දැන් ජනතාවම බ්‍රිතාන්‍ය රජය ගැන හොඳ තක්සේරුවක් ලබා දෙමින් සිටින බවයි කම්කරු පක්ෂ සාමාජික හා වොන්ඩ්ස්වර්ත් සභාවේ නායක වීමට නියමිත සයිමන් හොග් පවසන්නේ.
මේ අතර, 1964 සිට මැතිවරණ දෙකකදී හැර අනෙකුත් සියලුම මැතිවරණ වලදී ටෝරි බලය ආරක්ෂා කරගත් බාර්නට් සභාවේ ජය හිමිවන්නේත් කම්කරු පක්ෂයට. මේ ගැන හොඳ විග්‍රහයක් බාර්නට් සභාවේ කන්සර්වේටිව් නායක ඩැනියල් තෝමස් විසින්ම ලබා දෙනවා. කම්කරු පක්ෂයට බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුවේ බහුතර බලය දිනා ගැනීමට නම්, ඔවුන් බාර්නට් හි ජය තහවුරු කර ගත යුතු බවත්, මැතිවරණ ප්‍රතිඵල අනුව කම්කරු පක්ෂය බාර්නට් සභාව ජයග්‍රහණය කර ඇති බැවින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ත් ඔවුන්ම ටෝරි බලය හිමි මැතිවරණ කොට්ඨාශ ජයග්‍රහණය කළහොත් කන්සර්වේටිව් පක්ෂයට යළි රජයක් පිහිටුවීමට නොහැකි වනු ඇති බවත් ඔහු පවසනවා.
හැබැයි මෙය බ්‍රිතාන්‍යයේ දක්ෂිණාංශික පාලනයේ මළගම යැයි කියා පොත වසා තැබීමට මම කැමති නැහැ. මන්ද, වෙස්ට්මින්ස්ටර්, වොන්ඩ්ස්වර්ත් සහ බාර්නට් සභා වල ජය තහවුරු කර ගැනීමට කම්කරු පක්ෂය සමත් වුනත්, බ්‍රිතාන්‍යයේ වාමාංශික කුළුණක් ලෙස ප්‍රසිද්ධ හැරෝ සභාවේ බලය මෙවර කම්කරු පක්ෂයට අහිමි වනවා. අවසාන වරට මැතිවරණයක එවන් සිදුවීමක් හටගෙන තිබෙන්නේ 2006 වර්ෂයේ දී!
එපමණක් නොවෙයි, 2015 වර්ෂයේ දී මැතිවරණ වංචා වලට වරදකරුවකු වී වසර පහක ධුර තහනමක් පවා ලබන ලුට්ෆර් රහ්මන් නම් ආන්දෝලනාත්මක දේශපාලඥයා මෙවර ටවර් හැම්ලට්ස් සභාව වෙනුවෙන් මැතිවරණයට තරඟ වදිනවා. කම්කරු බලය තිබුණු ටවර් හැම්ලට්ස් සභාවේ බලය මෙවර යන්නේ ඔහුගේ අතට! ඒ අනුව ටවර් හැම්ලට්ස් සභාවේ හිටපු කම්කරු පක්ෂ නගරාධිපති ජෝන් බිග්ස් ලුට්ෆර් රහ්මන් හමුවේ පරාජය වනවා.
ඒ අනුව බ්‍රිතාන්‍යයේ දක්ෂිණාංශය දෙදරා යමින් තිබෙන බවක් පෙනෙන්නට තිබෙන මුත්, මේ හටගත් දේශපාලන පෙරළිය තුළ වාමාංශික රජයක් පිහිටුවීමට කම්කරු පක්ෂයට තව බොහෝ දේශපාලන පැතිකඩයන් කෙරේ අවධානය යොමුකරන්න සිදුව තිබෙන බවයි මට නම් හිතෙන්නේ.
ප්‍රමෝද් චින්තක පීරිස්
ඡායාරූප: බීබීසී