(මාලනී ෆොන්සේකා මහත්මිය ගැන විධිමත් සටහනක් යම් මතු දිනක ලියන තුරු මෙම අවිධිමත් කෙටි සටහන ඇයට ගෞරව පිණිස පළ කරමි.)

මාලනී යනු බොහෝ ලාංකික පිරිමින්ගේද ගැහණුන්ගේ ද ආශාවේ (Desire) ප්‍රතිමූර්තියයි. ඒ අන් කිසිවක් නිසා නොව ඇය ඔවුන්ට අහිමි බොහෝ දෑ සතුවු ගැහැණියක් වු නිසාය.
එහි කේන්ද්‍රය අන් කිසිවක් නොව ඇයගේ රූප ප්‍රභාවයි. සිනමා තිරයක යමක් දැකීම යනුම තවකෙකුගේ බලපෑමකින් තොරවම කිසියම් අයෙකුට එම වස්තුව සමග තනිවීමට ඇති හොදම කාල අවකාසයයි. තිරය මත ඇති වස්තුවට නරඹන්නාගේ අවධානය සපුරා උදුරා ගැනීමට ඇති බලය අසීමිතය. එම බලය විශාලවන තරමට තිරය මත ඇති වස්තුව සමග තනි විමට ඒ ඉදිරියේ අසුන් ගන්නා මනුෂ්‍යය වස්තුව අසීමිත කැමැත්තක් දක්වයි. මේ තත්වය විශේෂවන්නේ ජනප්‍රියවාදී සිනමාවේදීයි. මාලනී යනු අනෙකාගේ අවධානය නිරායාසයෙන්ම තමන් වෙත කාන්දමක් සේ උරාගැනීමට අසීමිත බලයක් සහිතවු රංගවේදිනියක්විය. මේ රටේ එවන් නොමද බලයක් සහිත එකම නිළිය ඇයයි. ඇයට පෙර ඒ ගුණය තිබුණේ රුක්මණි දේවියටයි. මාලනී ෆොන්සේකාගෙන් පසුව එම තරු ගුණ තිර බලය (Screen power) මා කිසිවෙකු තුළ දැක නැත.
ඉන්දියාව වැනි රටක නම් මෙම තරු ගුණය එක් අයෙකුගෙන් නොනැවතී පවතියි. එහෙත් අප මේ ගෙවන සෝෂල් මිඩියා යුගයේ නම් ලංකාව තුළ යළි තරු ගුණ සහිත මාලනීවන් ප්‍රභල පෞරුෂයක් බිහිවීමට ඇති අවකාශය ඉතාම අල්පය. එනිසාම මාලනී යනු ලාංකික සිනමාවේ ප්‍රථම සහ අවසාන රැජිණයි. මාලනී තුළ මෙරිල් ස්ට්‍රිප්, එලිසබෙත් ටේලර්, මෙන්ම ලිව් උල්මාන්ද ජුලියට් බිනෝස්ද රේඛාද ශ්‍රී දේවිද මුසුවුණු යමක් තිබුණි. එහෙත් අපේ සමාජය මාලනී සිය ආශාවේ නවාතැන කරගත්තේ ඔවුන් මාලනී තුළින් වහනය වුණු ශ්‍රී දේවි හා එලිසබෙත් ටේලර් වැනි අය තුළීන් දුටු රුව ප්‍රමුඛ වු ආශ්වාදය නිසාය. එහෙත් ඇය තුළ තිබුණු ලිව් උල්මාන්, මෙරිල් ස්ට්‍රිප් හෝ ඉසබෙල් හූපර් රංග පෞරුෂය අපගේ සිනමාවට රැගෙන එන්නට ඇයට අවස්ථාව ලැබුණේ ඉතා සුළු වශයෙනි.
එයට හේතුව ඇය නොවේ. කිසියම් නළුවෙකුගේ හෝ නිළියකගේ සැබෑ රංග ප්‍රතිභාව මතුවන්නේ අදාළ චරිත සිය ආඛ්‍යානයතුළ දී අත්පත් කර ගැනීමට නියමිත අරමුණ ( Narrative Goal) වෙනුවෙන් ඇය හෝ ඔහු මුහුණ දෙන දුෂ්කරතාවයන් (Obstacles ) හමුවේ ඔහු හෝ ඇය තුළ ඇති වන අභ්‍යන්තර හා බාහිර (Inner and Outer) පරිවර්තනයන් හා වෙනස්වීමේ ස්වාභාවය මතයි. අවසානාවකට මාලනීගේ රංග ඉතිහාසය තුළ ඇයට එවන් අවස්ථා ලැබී ඇත්තේ සුළු වශයෙනි. තවත් අයුරකින් කිවහොත් මුළු ආඛ්‍යාන අරමුණම ඇයගේ චරිතය මත පදනම්ව ගොඩනැගුණු අවස්ථා ලැබී ඇත්තේ සුළු වශයෙනි.
ඒ වෙනුවට බොහෝවිට සිදුව ඇත්තේ ආඛ්‍යාන අරමුණ අනෙක් නළුවා මත ඇති අවස්ථාවන්හී එ් වෙනුවෙන් මැදිහත්වන ස්ත්‍රි භූමිකාවයි. යම් හෙයකින් මේ තත්වය වෙනස්ව පැවතීයේ නම් මාලනීට නිසැකවම ජාතික ජනකාන්ත බව ඉක්මවාගොස් මෙරිල් ස්ට්‍රිප්, ඉසබෙල් හුපර්, ලිව් උල්මාන් වැනි අය සිටිනා රංග සභාවේ නිසැකවම නිරායාසයෙන්ම අසුන් ගැනීමටද වරම් තිබුණි.
මාලනී ෆොන්සේකා මහත්මිය මගේ මීළග චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට සිටියාය. ඇය සමග මා බොහෝ අවස්ථාවල ඒ ගැන සාකච්ජා කළේය. මේ සමග පළවන ජායාරූපය එම චිත්‍රපටයේ මූලික ප්‍රවර්ධන කටයුතු සදහා ලබාගත් එකකි. එහෙත් දැන් ඇය නැත. රැජිණට ආදේශ නොමැත.
සංජීව පුෂ්පකුමාර
සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක