LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

0
906

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම ශ්‍රේණිගත කිරීමේදී ගුවන් සේවා අංශයේ ප්‍රමුඛස්ථානය හිමිකර ගනිමින් “වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය (The Most Loved Brand in the Aviation Sector)” ලෙස ඇගයීමට ලක්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් වී තිබේ.

මෙම ඇගයීමත් සමග සුහදශීලී ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය, පුළුල් ගුවන් ගමන් ජාලය, සෘජු ගුවන් ගමන් සහ බාධාවකින් තොරව ගමනාන්ත සම්බන්ධ කිරීමේ හැකියාව හේතුවෙන් ශ්‍රී ලාංකික ගුවන් මඟීන්ගේ ආදරයට පාත්‍ර වූ ජාතික ගුවන් සේවය බවට තමන් සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් වී ඇත. LMD හි ජනප්‍රියම වෙළඳ නාම තෝරාගෙන ඇත්තේ වෘත්තිකයන් හා දේශීය ආයතනික ප්‍රමුඛයන්ගෙන් සමන්විත LMD හි පාඨකයන් විසින් ලබාදුන් විවෘත ප්‍රතිචාර මත පදනම්වය.

ශ්‍රීලංකන් ගුවන් යානයක ගමන් කරන ඔහුට හෝ ඇයට හිමිවන අසමසම උණුසුම් ආගන්තුක සත්කාරය, සිය රුචිකත්වයන්ට ගැලපෙන ජාත්‍යන්තර හා දේශීය ආහාර පාන මෙන්ම සෑම ගමනක්ම සුවපහසු හා අමතක නොවන අත්දැකීමක් ලබා දෙමින් ආරක්ෂිතව ගමනාන්තය දක්වා රැගෙන යෑම ගුවන් සේවයේ අරමුණයි. “ශ්‍රීලංකන් ගුවන් සේවය රටේ ජාතික ගුවන් සේවය වීම කෙරෙහි අපගේ පාඨක ප්‍රජාව ඉහළ වටිනාකමක් ලබා දෙනවා විය හැකියි ”LMD හි සභාපති හා ප්‍රධාන කර්තෘ හිරාන් හේවාවිසේන්ති මහතා පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සේවය රටවල් 59 ක සහ ගමනාන්ත 113 ක (codeshare හවුල්කරුවන් ද ඇතුළුව) මෙහෙයුම් පවත්වාගෙන යන අතර Oneworld Alliance හි සාමාජිකයෙකි. එමෙන්ම සතිපතා සෘජු ගුවන් ගමන් 300කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියානු උපමහාද්වීපය, මැද පෙරදිග, යුරෝපය, ඈත පෙරදිග, අග්නිදිග ආසියාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල් හි ප්‍රධාන නගර ආවරණය වන පරිදි කොළඹ සිට සෘජු මෙහෙයුම් සිදු කෙරේ. කොළඹින් පිටත්වන සෘජු ගුවන් ගමන් හා බාධාවකින් තොරව සිය ගමනාන්ත සම්බන්ධ කිරීම බලාපොරොත්තු වන මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවය සිය පළමු තේරීම බවට පත්ව ඇත.

මීට අමතරව ශ්‍රීලංකන් ගුවන් සේවය මහජන සම්බන්ධතා වැඩසටහන්, ආයතනික සමාජ වගකීම් (CSR) හා තිරසාරත්වය පිළිබඳ ව්‍යාපෘති ඔස්සේ ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ අඛණ්ඩව සම්බන්ධ වන අතර එමඟින්, සිය ලබැඳි පාරිභෝගිකයන්ට ත්‍යාග පිරිනැමීමත්, යහපත් සමාජයක් වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් සේවා වෙළඳ නාමය ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය ගෝලීය ප්‍රවේශයකින් යුතුව ශ්‍රී ලාංකිකත්වයෙන් පිරිපුන් බව පැහැදිලිව පෙන්වා දී ඇත.

LMD හි පාඨකයන් විසින් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ආයතනික වෙළඳ නාම දහයෙන් එකක් ලෙස ද ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරාගෙන ඇත.