ඉතිහාසය පුරා වරදකරුවෙකු ලෙස හංවඩු ගසා සිටි කාශ්‍යප නිදොස් කොට නිදහස් කිරීමට ඔබට තිබෙන මානුෂීය අවශ්‍යතාවය කුමක්ද?
ඔව්! “නිල් කට්රොල්” නවකතාවට පසුබිම් වෙන්නෙ මීට අවුරුදු 1500කට පෙර තිබූ කාශ්‍යප යුගය. ඒ කාශ්‍යප නිර්මාණය කරපු සීගිරිය කියන්නෙ අපේ ඉතිහාසයේ අති සුවිශේෂ නිර්මාණයක්. මහා ගල් පර්වතයක් පසුබිම් කරගෙන රාජධානියක් ගොඩ නංවනවා කියන්නෙ වෙනස් සිතුවිල්ලක්. එතකොට එතන තියෙන ජල උද්‍යානය මිනිසා විසින් නිර්මාණය කරපු විශ්වකර්ම වැඩක්. ඊටත් වඩා එතන තියෙන සීගිරි චිත්‍ර කියන්නෙ ලොව පුරා ගවේශකයන් විශ්මයට පත්කළ සීගිරියටම අනන්‍ය චිත්‍ර සම්ප්‍රදායක්.
හිතන්න අවුරුදු 1500කට පස්සෙත් අපි මේ අසහාය නිර්මාණයෙන් කොච්චර යැපෙනවද කියලා. ලංකාවේ අංක 1 විදේශීය ආකර්ශණය තමයි සීගිරිය. සමහර සංචාරකයො ලංකාවට එන්නෙම මේ සීගිරිය බලන්න විතරයි. ඉතින් ඒ වගේ නිර්මාණයක් කරන්න මූලික වෙච්ච මනුස්සයා ඇත්තටම වෙනස් චින්තනයක් තිබ්බ මිනිහෙක් වෙන්න ඕන. සාම්ප්‍රදායික නොවන අනාගත දැක්මක් තිබ්බ මිනිහෙක් වෙන්න ඕන. නමුත් අපේ සමාජය එදා ඉදන්ම වෙනස් විදිහට හිතන මිනිස්සුන්ට බයයි. පුළුල් අනාගත දැක්මක් තියෙන මිනිස්සුන්ට බයයි. නිදහසින් පස්සෙ අවුරුදු 74ක ඉතිහාසය අරගෙන බලන්න. එකම පක්ෂ දෙකකට තමයි හැමදාම බලය හුවමාරු වෙලා තියෙන්නෙ. ඇයි ඒ ? එතනින් එහා විකල්පයක් හිතන්න අපි සමාජයක් විදිහට බයයි. සමාජයක් විදිහට අපි පුරුදුවලා තියෙන්නෙ එහෙම වෙනස් විදිහට හිතන මිනිස්සු හරි, සංවිධාන හරි විනාශ කරන්න. විනාශ කරල අපිට පුරුදු සාම්ප්‍රදායික රාමුවම හරිම හොඳයි කියල නැවත බදා ගන්න.
ඉතින් මීට අවුරුදු 1500කට කලින් සිද්ද වුනේ, එහෙම වෙනස් දැක්මක් තිබෙන කාශ්‍යපව සමාජය විසින් විනාශ කරපු එක. ඒකට මූලිකත්වය ගත්තෙ ඒ වෙලාවේ මේ රටේ හිටපු ඇතැම් හාමුදුරුවරු. මොකද ආගමට යටත් නොවුනු, ආගම ඉක්මවා ගිය දැක්මක් කාශ්‍යපට තිබුනා. ඒකට මේ සංඝ සමාජය බය වුනා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි කාශ්‍යප ආනන්තරීය පාපකර්මයක් කළ පීතෘ ඝාතකයෙක් විදිහට සංඝ සමාජය විසින් සමාජගත කරන්නෙ. ඒ සමාජගත කළ ලියවිල්ල තමයි, මහානාම හාමුදුරුවො මහා වංශයේ සටහන් කරලා තියෙන්නෙ. ඉතින් මට “නිල් කට්රොල්” තුලින් වුවමනා වුනේ, ඒ මහාවංශ ලියවිල්ල පට්ටපල් බොරුවක් බව නැවත සමාජගත කරන්න.
ගුප්ත සිත්තරෙකුගේ අත්භූත ආදර කතාවක් යැයි “නිල් කට්රොල්’ කෘතිය අරුත් ගන්වා ඇතත් එය කාල තරණය පිළිබඳ විද්‍යා ප්‍රබන්ධයක් වගේ?
විද්‍යාව කියන්නෙ මගේ ප්‍රියතම විෂයක්. මොකද අපිට, අපි තේරුම් ගන්න පුළුවන් වෙන්නෙත්, අප වටා තියෙන ලෝකය තේරුම්ගන්න පුළුවන් වෙන්නෙත් විද්‍යාවෙන් විතරයි. දැන් අපේ ශරීරය අරගෙන බලන්න. මේ ශරීරය කියන්නෙත් සම්පූර්න විද්‍යාත්මක සැකැස්මක්. අපි වෛද්‍ය විද්‍යාවෙන් කරන්නෙ ඒ විද්‍යාත්මක සැකැස්ම විශ්ලේෂණය කරන එක. එතකොට වෛද්‍ය විද්‍යාවෙන් ඖෂධ නිර්දේශ කරන්නෙ ඒ විද්‍යාත්මක සැකැස්ම තුලනය කරන්න.
ඊලගට අප වටා තියෙන පරිසරය තුල සිද්ධවෙන හැමදේමත් විද්‍යාත්මකයි. අපි ඉහල අහසට බෝලයක් විසි කරොත් ඒක ටික වෙලාවකින් බිමට වැටෙනවා. එහෙම වෙන්නෙත් ඒක බිම වැටෙන්න ඕන නිසාද? නෑ. ගුරුත්වාකර්ශණය නිසාෟ අපි පොලොවෙ පය ගහලා හිටගෙන ඉන්නෙත් මේ ගුරුත්වාකර්ශණය නිසා. අපි හඳට ගියොත් එතන ඒ ගුරුත්වයට තියෙන ආකර්ශණය මීට වෙනස්. ඒ කියන්නේ පෘතිවියේ අඩියක් උඩ පැන්නොත්, හඳේදි ඒක අඩි 6ක් බවට පත්වෙනවා.
කොහොම වුනත් ක්වන්ටම් භෞතික විද්‍යාව තුල දවසින් දවස සිද්ධවෙන විවිධ සොයාගැනීම් එක්ක තව අවුරුදු 20ක් 30ක් යන කොට ලෝකය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. තව අවුරුදු 30කින්, දැන් අපි ඇමරිකාවට ජපානයට යනවා වගේ දවස් කීපයක පැකේජ් එකක් අරගෙන අපිට හඳට යන්න පුළුවන්. නැත්නම් අගහරු වලට යන්න පුළුවන්. ඒ වගේම කාල තරණය කරල අතීතයට යන්න පුළුවන් වෙයි කියලත් මං විශ්වාස කරනවා.
මේ “කාලය” කියන්නේ මහ පුදුම සංකල්පයක්. කාලෝ රොවෙල්ලි කියන භෞතික විද්‍යාඥයා කියන්නේ “කාලය මායාවක්” කියලා. ඇත්තටම කාලය කියල දෙයක් නැහැ. තත්පර, මිනිත්තු, පැය අපි හදාගෙන තියෙන්නෙ අපි සිටින මේ මොහොත පැහැදිලි කරන්න. විද්‍යාඥයන් කියන්නෙ “මේ මොහොතේ සියල්ල සිදුවෙමින් පවතී” කියලා. (Everything is Happening Now) එහෙම ගත්තොත් අතීතය නැත්නම් ඉතිහාසය කියා දෙයක් හෝ, අනාගතය කියා දෙයක් හෝ නැහැ. නැත්නම් ඒ අතීතයේ සිදුවුනා කියන දෙයත්, අනාගතයේ සිදුවන දෙයත්, මේ දැන් මේ මොහොතේ සිදුවෙමින් පවතිනවා. නමුත් මේ කාලය කියන සංකල්පයට අපි කොච්චර අහුවෙලාද කියනවා නම්, අපිට මේක තේරුම් ගන්න අමාරුයි.
ඒත් මෙහෙම හිතන්නෟ ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් වල ඉන්න යාළුවෙක්ට මං කෝල් එකක් දෙනවා. කොළඹ සහ ලොස් ඇන්ජලීස් අතර පැය දොළහාමාරක වෙනසක් තියෙනවා. නමුත් මං ටෙලිෆෝන් එකෙන් කතා කරන දේ ඒ යාළුවට ඇහෙන්නේ පැය දොළහාමාරකට පස්සෙද? නෑෟ ඒ කතා කරන දේ ඒ මොහොතෙම එයාට ඇහෙනවා. ඒ කියන්නෙ කාලය අපි විසින් හදාගත්ත සංකල්පයක්. මේ කියන මායාමය සංකල්පය මං “නිල් කට්රොල්’ තුල කතා කරනවා.
ඉතිහාසය ප්‍රතිනිර්මාණයට ඔබ විශේෂ කැමැත්තක් දක්වන බවට ඔබේ නවකතා ගමන්මග දිගට සලකුණු තිබෙනවා. ඒ අතර එම කෘතිය, කුල පීඩනය, ස්ත්‍රීත්වය වැනි විවිධ සමාජ කතිකාවන්ද ගොඩ නගනවා?
මට හිතෙන විදිහට ඉතිහාසය කියන්නෙත් කිසිවෙකු විසින් තමන්ගේ කැමැත්ත අනුව කල නිර්මාණයක්. ඒ අනුව ඉතිහාසය කියලා අනම්‍ය, ස්ථිර දෙයක් නෑ. එය නම්‍යයි. අලුතින් සොයා ගන්නා දත්ත අනුව වෙනස්වන සුළුයි. ඩෑන් බ්‍රවුන් කියන ලේඛකයා වරෙක කියනවා, ඉතිහාස ලියන්නෙ ජයග්‍රාහකයන් විසින් කියලා. ඒ ජයග්‍රාහකයා තමුන්ට අවශ්‍ය විදිහට තමන්ගේ පරාජිතයා විනාශ කරල ඉතිහාසය නිර්මාණය කරනවා. මුගලන් විසින් කාශ්‍යප මරා දැම්මට පස්සෙ මුගලන් ප්‍රමුඛ මහා විහාරය කාශ්‍යප ඉතිහාසයෙන් අතුගා විනාශ කරනවා. ඒක කොච්චර සැලසුම් සහගතව කරනවාද කියනවානම් කාශ්‍යපගෙන් පස්සේ කිසිම රජ කෙනෙක් සීගිරිය තම රාජධානිය කරගන්නෙ නෑ. කිසිම රජෙක් සීගිරිය පැත්ත පලාතට යන්නෙත් නෑ. ඒක හුදකලා වෙනවා. එක්දහස් අටසිය අසූ ගනන් වල එච්.සී.පී.බෙල් නැවත සොයාගන්නා තෙක් එය කැලෑව තුල සැගවෙනවා.
නමුත් සීගිරියට පින් සිද්ධ වෙන්න අද අපි උපයන විදේශ විනිමය ප්‍රමාණය මිල කළ නොහැකියි. ඒ නිසා කාගේ හෝ පෞද්ගලික උවමනාවකට විනාශකල ඉතිහාසයක් නැවත ප්‍රතිනිර්මාණය කරන්න මං පෞද්ගලිකව කැමතියි. අනෙක් අතට, කුලය, වර්ණය, ජාතිය, ආගම අනුව මිනිසා බෙදා වෙන්කිරීම තනිකරම අමානුෂික දෙයක්. එහෙම බෙදා වෙන් කල තැනකින් කවදාවත් හෘදයාංගම සංවේදී මිනිහෙක් ඉපදෙන්නෙ නෑ. ඒක අදත් එහෙමයි. එදත් එහෙමයි.
අතීත “රජ” සංකල්පයේ ප්‍රතිනිර්මානයක් ලෙස ගත්විට මෙහි ඇති දේශපාලනය වර්තමාණයට බෙහෙවින් අදාළයි. අදූරදර්ශී පාලනය, නායකත්ව තරඟය, බල තන්හාව වැනි දෑ සියල්ල පදමට ගොනුකල කදිම අනාවැකියක් මෙහි ගැබ් වෙනවා?
මං කැමතියි මං අර කලින් කිව්ව “කාලය” කියන සංකල්පය නැවත මතක් කරන්න. විද්‍යාත්මක නියමය අනුව, “සියල්ල මේ මොහාතේ සිදුවෙමින් පවතී” නම්, අතීතයක් හෙවත් ඉතිහාසයක් තිබිය නොහැකියි. ඒ වගේම අනාගතයක්ද තිබිය නොහැකියි. ඒ කියන්නෙ ගෝඨාභය රාජපක්‍ෂ මේ මොහොතේ ජනාධිපති ලෙස සිටිනවා සේම, සීගිරි කාශ්‍යපත් මේ මොහොතේ රජ කෙනෙකු ලෙස සිටිනවා විය හැකියි. නමුත් ගෝඨාභයගේ මේ මොහොත පැහැදිලි කර ගැනීම සඳහා, අපි කාශ්‍යප අතීත කාලය තුල ස්ථානගත කරනවා. එහෙත් කාලය නැමැති සංකල්පය සැබවින්ම මායාවක් නම්, ඒ දෙදෙනාම මේ මොහොතේ සිටිය හැකියි. එහෙම හිතුවොත් ඔබ ඔය කියන අදූරදර්ශී පාලනය, නායකත්ව තරඟය, බල තන්හාව කියන හැමදේම අතීත වර්තමාන කාල භේදයක් නැතුව මේ ගතවන හැම මොහොතකම මේ පොලොව මත සිදුවෙමින් පවතින බව ඔබට වැටහෙනවා ඇති. එසේම ගෝඨාභයගේ හා කාශ්‍යපගේ නායකත්ව තරඟයත්, මහින්ද රාජපක්‍ෂගේ හා මුගලන්ගේ බල තන්හාවත්, වෙනසක් නැති බව ඔබට වැටහෙනවා ඇති.
ඉතිහාසය නැවත නැවත සිදුවේ, (History Repeats it self) නැමති සමාජගත ප්‍රසිද්ධ කියමනත්, මේ මොහොතේ සියල්ල සිදුවෙමින් පවතී, (Everything is Happening Now) නැමති විද්‍යාත්මක කියමනත් එකට එකතු වන්නේ මෙතනදීයි. තවත් විදිහකට කිව්වොත් මේක “නිල් කට්රොල්” නවකතාව තුළ කාල තරණය කරන සිත්තරාට එක වගේ ආදර හැගීම් හා එක වගේ බල තන්හාව සහිත මිනිසුන්, “කල්පිත අනාගතය” හා “කල්පිත අතීතය” තුළ හමුවීමට සමානයි. ඇත්තටම එය අනාවැකියක් නොවේ. සැබවින්ම හැම මොහොතකම සිදුවෙමින් පවතින දෙයයි.
නවකතාවක් ඇතුලත ලිංගිකත්වය යන සාධකයට අත්පත් කරගත හැකි ඉඩකඩ තීරනය වන්නේ කෙසේද?
ඔබ නිකමට, ජීවිතය කියන්නෙ සිත්තරෙක් සිතුවම් කරන සිතුවමක් යැයි සිතන්නෟ මේ සිත්තරාට මේ සිතුවම පණ පිහිටුවීම සඳහා විවිධ වර්ණ අවශ්‍යයි. අඩුම තරමේ සුදු කළු වර්ණ හෝ අවශ්‍යයි. ජීවිතය සිතුවමක් නම් ලිංගිකත්වය කියන්නේ ඒ සිතුවමේ අර වර්ණ සංකලනය. වර්ණ නොමැතිව සිතුවමක් නැති සේම ලිංගිකත්වය නොමැතිව ජීවිතයක් පවතින්නෙත් නෑ. මිනිස් ශිෂ්ඨාචාරය ඉදිරියට රැගෙන යන ගාමක බලවේගය එයයි.
සැබෑ නවකතාවක් නම් එය තුල ඔබේත් මගේත් සැබෑ ජීවිතය තිබිය යුතුයි. සැබෑ ජීවිතය එතන ඇත්නම් අර සිතුවමේ වර්ණ සේම එතන ලිංගිකත්වයද තිබිය යුතුයි. ඒ අනුව ලිංගිකත්වය නැති නවකතාවක් කියන්නේ මිනිස් ජීවිතය මඟ හැරුණු නවකතාවක්. ඔබට, ඔබ මග හැරුනු නවකතාවකින් සැබෑ වින්දනයක් ලබන්න පුළුවන්ද? නැත්නම් සැබෑ ජීවිතාවබෝධයක් ලබන්න පුළුවන්ද? ඒ නිසා මගෙ අනෙක් නවකතා තුල වගේම “නිල් කට්රොල්” තුලත් ලිංගිකත්වය තියෙනවා. සෙක්ස් තියෙනවා. මොකද, ඒ තුල මං සිතුවම් කරන්න උත්සාහ කරන්නෙ ඔබෙත් මගෙත් ජීවිතය නිසා.