අපේ නිමලයගෙ මායියා කම්මුලට අත තියං කල්පනාව.කුසියෙං දුම් වළල්ලක් උඩට නගිනවා දැක්කෙත් නෑ.
“මොකද මලේ වෙලා තියෙන්නෙ”
“හාල් මුට්ටිය හොරු ගෙනිහිං බණ්ඩයියෙ.”
“කොහෙද බොලං තිබ්බෙ?
“කුස්සියෙ.බට පැලැල්ල අයිං කොරලා අරං ගෙහුං”
“බට පැලලි?ඕවා හයි කොරලා බේරන්ඩ බෑ කාලෙ.යකඩො අච්චර මුරකාවල් දාලා තියෙදි කටුගෙට පැනලා රාජසිංහ රජුරුවන්ගෙ කඩුවත් උසාගෙන ගියපු රටක් මේක.බට පැලැල්ලට පයිං ගහන එක මහ වැඩක් ද?
“මං මේ කල්පනා කොළේ බණ්ඩයියෙ මේ අව් අස්සෙ ග්‍රීස් යකාත් එයි ද කියලා.”
“අමුතුවෙන් එන්ඩ දෙයක් තියනවයැ.ඔය ඉන්නෙ යස අගේට”
“ඇහ්!බණ්ඩයියා දැක්ක ද?කොහෙද ඉන්නෙ.බණ්ඩයියගේ ගෙට පනින්ඩ ආව ද?
“මගේ ගෙට පනින්ඩ ආවොත් නං පොල කැත්තෙං දෙසා බාන්නෙ දෙපරැන්ද අස්සට..”
“හම්මේ ඇඟ හිරි වැටෙනව ඔහොම කියනකොට”
“ඇත්තටම ඔය ග්‍රීස් යකා කොහෙ ද ඉන්නෙ.හාල් මුට්ටිය උස්සන්ඩ ඇත්තෙ ඌමද?
“ඌ බොහොම ආරක්සිත තැනක ඉන්නෙ.එක ගෙදරක නෙමේ.මුලු රටේම හාල්මුටිටි උස්සලා තියෙන්නෙ.කුඹුරු පිටින් ගිලලා ඉන්නෙ බහිරවයා වගේ.”
“අනේ මන්දන් නෑ බණ්ඩයියා මොනවා කියනවද කියලා.මට බය මගෙ හවඩි පොටයි,මායියගෙ වළල්ලයි උදුරගන යයි ද කියලා.අනික ඔය ග්‍රීස් යකා තනියම කොහොම ද රට පුරාම ගෙවල්ඔලට පනින්නෙ.?
“ග්‍රීස් යකාට හාල්මුටිටි ඔලට වඩා වටිනා දේවල් තියනවා”
“ඒ මොනා ද?
“රත්තරං කුට්ටි,රන්කඩු,සන්නස්,ඒ.ජී ඔපිස්ඔල ඉඩං තෝම්බු,උසාවිඔල නඩු පයිල් ..තව කීයක් නං දේවල් ද?
“ග්‍රීස් යකා හැම තැන ම යනවද?
“ග්‍රීස් යකා ආරක්සිත ව ඉද්දි උගෙ අවතාර රට පුරා ඉන්නවා.”
“බණ්ඩයියා කියන දේ එහෙං මෙහෙංනං තේරෙනවා.හරියට ම තේරුං ගන්ඩ නං සැල්ටොංගෙ බාර්රෙකට ගෙහුං දෙකක් දාගන්ඩ වෙනවා.කොහෙද ඉතිං එව්වා කොරන්නෙ.අරක්කුත් ගණං ගියා නෙවැ.”
“ඇත්තම ද මලේ.අරක්කුත් ගණං ගියාද?මළ කෙළියයි.දුප්පතාගෙ අවසානෙ.”
“අවසානෙ?
“ඔව් අවසානෙ තමයි.හිතේ දුකට අඩියක් ගහලත් හමාරයි ඕං.”
“මංනං ඒකට කැමතියි බණ්ඩයියෙ.”
“ඒ මොකද බොලං මට නං දුකයි”
“අරක්කුඔලිං හිතේ දුක තුනී කොර කොරා ඉන්නැතුව හිතේ වෛරේ තියාගන්ඩ ඕනැ.මුන්ට ගහලා එලවන්ඩ.”
නිමලයා ජරාස් ගාලා තියන දත්දෙකෙං දත්මිටි කෑවා ආයිබොවන්ඩ.මං පස්සට විසි වුණා.වේල් ගාණක් බඩගින්නෙ ඉඳලා ඇස් දෙකත් යකෙක් වගේ.ඔන්න මේ වෙලාවෙ නං ග්‍රීස් යකා ආවොත් නිමලයා ජරාස් ගාලා ඌ කුඩු කරලා දානවා.ඒ තරමට කේන්ති ගිහිං ආයිබන්ඩ.කෝකටත් කියලා මාත් මාරු වුණා.
බණ්ඩාගේ වාක්කිය