Sunday, August 14, 2022
spot_img
spot_img

Latest Posts

කාඹරේ අයියාට පමා වී ආ උපන්දින සුබ පැතුම : ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

ශ්‍රී ලංකේය කාව්‍ය ක්ෂේත්‍රයේ මෙන් ම ගීත ක්ෂේත්‍රය තුළ සිය නිසඟ නිර්මාණ කුසලතාවය සුභාවිත සිංහල ගී කෙත අස්වැද්දීමට නොකෙලෙස්ව කැප කළ අසහාය නිර්මාණ වේදී ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන්ගේ 69 වන ජන්ම දින සැමරුම ජුනි මස (02) වන දිනට යෙදී තිබිණ. මේ පමා වූ උපන්දින සුබ පැතුම ඒ කාමරේ අයියාටය.

කෘතහස්ත නිර්මාණවේදී රත්න ශ්‍රී විජේසිංහයන් උපත ලබන්නේ 1953 ජූනි මස දෙවැනි දින දකුණු පළාතේ නාකියාදෙණිය තෙල්ලඹුරේ ග්‍රාමයේ දීය. ඔුහු සිය ප්‍රාථමික අධ්‍යාපනය නාවල රජයේ පාසල, තෙල්ලඹුර විද්‍යාකාන්ති විදුහල හා තෙල්ලඹුර දුටුගැමුණු විදුහල යන පාසල්වලින් නිම කරන ලදි. ඉන් අනතුරුව පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත්වූ රත්න ශ්‍රී, ද්විතීයික අධ්‍යාපනය සඳහා හික්කඩුවේ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු විය. ඉනික්බිති ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයෙන් උසස් පෙළ තෙක් විද්‍යා අංශයෙන් උගත් හෙතම පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල විෂය පිළිබඳ ගෞරව උපාධිය ලබා ගත්තේ ය. කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධරයකු ද වන රත්න ශ්‍රී සිය වෘත්තීය ජීවිතය අරඹන්නේ ගුරුවරයකු වශයෙනි. පසු කලෙක දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා ඒකකය භාර ව කටයුතු කළ ඔහු අනතුරුව උණවටුන අමරසූරිය ගුරු විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කළේය. එමෙන් ම ඔහු අමාත්‍යාංශ කිහිපයක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරු දරා ඇත. එමෙන් ම පුවත්පත් කවි පිටු ගණනාවක් සංස්කරණයෙහි යෙදෙමින් ආධුනික කවීන්ට ගුරු උපදේශ හා ධෛර්යය සපයන රත්න ශ්‍රී රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් සම්පාදකයකු ලෙස ද කටයුතු කරනු ලැබීය. තීරු ලිපි රචනයෙන් සහ විශේෂාංග ලිපි සම්පාදනයෙන් රත්න ශ්‍රී පුවත්පත් කලාවට ද විශේෂ දායකත්වයක් සපයනු ලබයි.

“මගෙ තාත්තා විජේසිංහ ආරච්චිගේ වෝල්ටර් මැන්දිස් විජේසිංහ. අම්මා පොල්පාගොඩ ගමගේ මැණික් හාමිනේ. අම්මා නැති වෙලා තියෙන්නේ 1954 ජූලි 24 වැනිදා. ඒ කියන්නේ මම ඉපදිලා අවුරුද්දකුත් දවස් විසි දෙකකට පස්සේ. අම්මාගේ ඥාති (ඒ කියන්නේ මට අත්තම්මා වෙන කෙනෙක්) මට කිරිදිලා තියෙන්නේ ඔළුව රෙද්දකින් වහගෙන. ටික කලකට පස්සේ තාත්තා ලොකු අම්මා සමඟ විවාහ වෙනවා. ඒ විවාහයෙන් පස්සේ අපේ පවුලට නංගිලා දෙන්නෙක් ලැබෙනවා. අපේ තාත්තා ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි.” – රත්න ශ්‍රී විජේසිංහ

”මේ ලොව ලස්සනම අහස ඇත්තේ මගේ ගමට ඉහලිණි
අම්මා නිදන තැන ඇගේ සොහොනට උඩින් ය
ගමට යන ගුරු පාර ගුරුපැහැ ලැබුවේ වහන් නොමැතිව පයින් ඇවිද ගින නෑයන්ගේ පා වලිනි….”

අවුරුද්දකුත් දින 22 වයසැති බිළිඳෙකුව සිටියදී සිදු වන මවගේ වියෝවත් වයස අවුරුදු 07ක්ව සිටියදී සිදු වන පියාගේ වියෝවත් හේතුවෙන් ඔහු ආදරයෙන් රැක බලා ගනුනේ සිය ඥාතීන් විසිනි. ඔහුට ලැබුණු ආදරය ස්නේහය හේතුවෙන් පෙරළා ඒ ආදරය සමාජයට දිය හැකි සුන්දර නිර්මාණකරුවකු බිහි වීම සිදු වූවා යැයි පැවසීම සාධාරණ වනු ඇත. ඔහුගේ මාමා පිළිබඳ ඇති මතකය ඔහුගේම වචන වලින් මෙසේය.

”දෙගුරු එදා දෙදෙව් ලොවට කලින්ම ගිය බැවිනා
කවුරුද මට නුඹ මිස මහ හිමේ යන්නට සරණා
ණය ගෙවන්න මිල නැති දා නුඹත් යන්ට යෙදුනා
තබා සොහොන ළඟ මේ කවි සදා වඳිමි බැතිනා…

රන් ඉනිමඟ පලංචියට තියලා මාමණ්ඩි
මතු දවසක බිමට වඩම්මන්න හිටියෙ පේවී
දැන් හීනෙන් බැස ඇවිදින් පුංචි වුන්ට ළංවී
පුංචිකාලේ මට කී කව් කියන්න මාමණ්ඩි…”

1975 අවුරුද්දෙ විද්‍යා ගණිත ගුරු පත්වීමක් ලැබූ රත්න ශ්‍රී විජේසිංහයන් ගාල්ල නැවුම්ගල කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී ඔහුගේ මුල්ම සරළ ගීතය ගුවන් විදුලියේ දී ගැයුනේ විශාරද ගුණදාස කපුගේගේ හඬිනි.

”තනි වෙලා මා නන්නාඳුනන
දුරු රටක මඟතොට නොදැන
එන්න අම්මේ පාළු අහසේ
අඳුර අතරින් පායලා…”

ගුරු වෘත්තියේ යෙදෙන අතර වාරයේ ඔහු ගී පද රචකයෙක් ලෙස ද කලඑළි බසින්නේය. යෞවන සම්මාන තරග සඳහා ගීපද නිර්මාණ ඉදිරිපත් කරන ඔහු වසරක් පාසාම හොඳම ගීපද රචකයා ලෙසින් ද කවිය සඳහාද සම්මාන හිමි කරගන්නේය. මේ අතරවාරයේම ඔහු කලා විෂයෙන් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින්නට විය. ඉන් සමත් වුවත් ගුරු වෘත්තිය අතැර විශ්ව විද්‍යාලයේ යාමට තිබූ අපහසුතාවයන් හේතුවෙන් උපාධිය සඳහා බගෙන ගනු ලැබීය. ඔහුගේ අප්‍රතිහත ධෛර්යේ අවසන් ඵලය වූයේ සිංහල ගෞරව සම්මානයක් සහිත උපාධිය නිම කරනු ලැබීය. ඉන් අනතුරුව ඔහු පසු කාලීනව රුහුණු විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමිකර ගැනීමට ද සමත් විය.

”ගුරුවරයෙක් ලෙස සිටිය කාලේ මට දඬුවම් මාරුවක් ලැබෙනවා. ඒ හුළංදාව කනිෂ්ඨ විද්‍යාලයට . දැන් එම පාසල හැඳින්වෙන්නේ මොනරාගල රාජකීය විද්‍යාලය කියලා. ඒ පාසලට එන්න කලින් මාස දෙකක් පමණ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයේ උගන්වනවා. ඔන්න ඔය කාලේ තමයි ඒ අලුත් පරිසරයේ සිට උදේ ඉස්කෝලේ යද්දි ලබපු අත්දැකීමක් ඔස්සේ “සුදු නෙළුම කෝ සොරබොර වැවේ…“ යන ගීතය ලියැවෙන්නේ.” – රත්න ශ්‍රී විජේසිංහ

ඔහුගේ ගේය පද රචනාවන්ට පාදක වන අනුභූතීන් ආකස්මික හෝ අහඹුවන් නොවේ. ඒ්වා එදිනෙදා පරිසරයෙන් උකහා ගන්නා අත්දැකීම්ය. දුක වේදනාව සන්තාපය ප්‍රේමය ශුංගාරය විප්පයෝගය ආදී මානව භාවයන් මෙන්ම සමාජ අසාධාරණයන් වෙනුවෙන් ද කවිය අවියක් කරගත් අසහාය නිර්මාණවේදියෙකි. මේ හේතූන් නිසාවෙන් ම ඔහුගේ රසිකයන් ඒවා වැළඳ ගනියි.

උඩරට, පහතරට පන්ති භේදය කුලවාදය පිළිබඳ විනිවිද අතුල්පහර වූයේ දළඳා හිමිට මල් ගෙන ආ පහත රැටියකුගේ කතාවයි. කිවියා කියන්නේ මුහුදු ගිහින් ලෙළි තලා මිදෙන්න බැරි පිළි ගඳ තිබුණත් දළදා හාමුදුරුවනේ අපේ සුවඳ මල් භාර ගන්න පාත මාලයට වඩින්න කියාය. බරපතල සමාජ කරුණු මෙතරම් ම සියුම්ව ගැලපීම අතිශයින්ම පුදුම සහගතය.

80 දශකයේ පුරෝගාමී නිර්මාණවේදියකු වන රත්න ශ්‍රී එක් ෂේත්‍රයකට සීමා වූ සාහිත්‍යධරයෙකු නොවීය. ඔහුට ඇත්තේ බහුවිධ කියවීමකි. හැදෑරීමකි එමෙන් ම පරිශීලනයකි.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදී ශිෂයෙකුව සිටිය දී කියවීමට ඇබ්බැහිවන රත්න ශ්‍රී විජේසිංහයන් පොත මඟුල් ලකුණ, ගණදෙවි හැල්ල, බුද්ධගජ්ජය, සකස්කඩය, ශතක පොත් ආදි සියල්ල කියවීමට මෙන්ම කටපාඩමෙන් කියවීමටද ඔහු සමත් බව කියැවේ. ඊට අමතරව සංස්කෘත සාහිත්‍ය පිළිබඳවද ඔහුට ඇත්තේ අපූරු ඇල්මකි. මෙයින් ලද ආභාෂය මෙයින් ලද පරිකල්පනය ඔහුටම අනන්‍ය භාෂා භාවිතයක් වෙනුවෙන් අවැසි පදනම සැකසී යැයි සිතිය හැකිය. ඒ අනුව ඔහුගේ ගී පද රචනාවන් තුළ සම්භාව්‍ය සාහිත්‍යයෙන් ලත් ශික්ෂණයත් ගැමි සාහිත්‍යයේ හෘදයාංගම බවත් දක්නට ලැබේ.

පොදු සමාජ සාධක ග්‍රහණය කර ගැනීමේ අපූරු ප්‍රාගුණ්‍යක් රත්න ශ්‍රී සතු වේ. සමාජයේ අසාධාරණයට ලක් වන විවිධ සමාජ කොටස් වලට රත්න ශ්‍රී අමතන්නේ හෘදයාංගම වූ ළතෙත් බස් වහරකිණි. ඔහු ලෙංචිනාට අමතන්නේ නංගියේ කියාය. ඈ හට කුලවන්තයන්ගේ පිළි කුණු ඉවත් කිරීමට නොහැකි මුත් ඒ මඟින් ඇගේ දෑත් සුපිරිසිදු වන බව කියවේ. එමෙන් ම ඔහුගේ කවි වල එක කරණවෑමියන් හට ඔහු අමතන්නේ හිස කෙස් කපනවාට වඩා කරදර තැවුල් බරින් සිය හිස මුදවන ලෙසයි. සාහිත්‍යයට පැහැදිළිවම සමාජ වෙනසක් කළ හැකිය. එකී පවිත්‍රකාරක ගුණය රත්න ශ්‍රී ගේ ගී පදවල වේ. ඔහු සිය නිර්මාණ හරහා ඔහු අත්විඳි කම්පනයන් සමාජයට දෙනු ලබයි. එමඟින් කම්පනය වන සමාජය සිතීම හා වෙනස් වීම අරඹයි. කවියකුගේ සමාජ වගකීම රත්න ශ්‍රී තරම් වටහාගත් නිර්මාණකරුවන් තවත් සිටීද යන්න පවා ගැටලුකාරීය.

රත්න ශ්‍රී හා විශාරද ගුණදාස කපුගේ අතර මිත්‍රත්වය ගීත සාහිත්‍ය තුළ වෙනම පර්ච්ජේදයකි.

වෙල්ලස්ස ආක්‍රමණය වෙනුවෙන් එන බිම්බරක් සෙනඟ එළවීම වෙනුවෙන් කපුගේ සිය තනුව යොදන්නට භාවිතා කරන්නේ යාතුකර්ම තොවිල්වල යකුන් එළවීමට යොදා ගන්නා පහතරට යක් බෙරය හා වස් දඬුවයි. එමෙන්ම හටන් කවි වල නාද මාලාව සලකා එය ඉන්මවා යන නාද මාලාවක් හදයි. එකී ප්‍රාගුණ්‍ය ඔහු සතුයි. එමෙන් ම රත්න ශ්‍රී ගී පද රචකයෙකු වශයෙන් ඔහු දරණ සමාජ වගකීම වෙනුවෙන් සාධාරණයක් කළ හැකි නාදමාලාවක් එක් කිරීමේ ලා කපුගේ දක්වන සාමර්ථය නන්දනීයය.

1975 වසරේ පළ කළ බිය නොවන් අයියණ්ඩි ඔහුගේ මුලම ගේය පද නිර්මාණය වේ. ඉන් අනතුරුව පාඨක විචාරක් අවධානය නොමදව දිනූ වස්සානේ බිහි විය. සල් ගහ යට, තරු ලකුණ, මධ්‍යම යාමය, සන්ධ්‍යා තීර්ථය, සඳගිරිපාමුල, ගෙත්තම්පාන, නිකිණි වැස්ස, සුවඳ මුවරද, ගංගා ගීතය, ඉරබටු තරුව ,ඔහුගේ අනෙකුත් කාව්‍ය කෘති අතර වේ. එමෙන් ම සුබ උදෑසන (රාජ්‍ය සම්මාන) වංකගිරි අරණේ (රාජ්‍ය සම්මාන) සුදු නෙ`ඵම (රාජ්‍ය සම්මාන) ,නෙත නිලුපුල් (රාජ්‍ය සම්මාන), ආලකමන්දා (රාජ්‍ය සම්මාන) ආදී සම්මානිත කාව්‍ය නිර්මාණ රැසක සාඩම්බර නිර්මාණකරුවා ඔහුය.

ඔහු දරුවන් වෙනුවෙන් නිර්මාණ කිහිපයක් කරනු ලැබූ නිර්මාණකරුවකි. ළමා කෘති 15ක් පමණ ඔහු විසින් ලියා ඇත. ඒ අතර සැළලිහිණියෝ, රන්කිරිකට, රතු කිකිළි, සින්දු කියන උණ පඳුර (රාජ්‍ය සම්මාන) යන කෘති ඔහුගේ ළමා කෘති අතරින් කිහිපයකි.

එමෙන් ම ලස්සනම අහස හා මතක සිතුවිලි, කටුගහයට, ලියවැල, අත් පසුර යන ලිපි සංග්‍රහයන් හා මහගම සේකර හා සමාජ යථාර්ථය(මහාචාර්ය සුචරිත ගම්ලත් සමග) විමර්ශන කෘතිය රත්න ශ්‍රීගේ ශාස්ත්‍රීය ලිපි ලේඛණ අතර වේ.

“හේමමාලි නැතිවෙනකොට එයාට වයස අවුරුදු 53. ඇගේ මරණය මගේ ජීවිතේ කඩාවැටීමක්. මට අදටත් දැනෙන්නේ එහෙමයි. ඇය බොහෝම හොඳ කෙනෙක්. ඇය අසනීප වෙලා ඒ වනවිට සමුපකාර රෝහලේ ප්‍රතිකාර ලබමින් හිටියේ. නමුත් මට එදා දේශනයකට යන්න තිබුණා. එයට සුචරිත ගම්ලත් මහත්මයත් ආවා. මම එයට ගියා. ඒ අතර තමයි ඇය නැති වුණේ. ඒ 2012 වසරේ අගොස්තු 26 වැනිදා දා. මගේ ජීවිතය නැවතුණා වගෙයි මට දැනුණේ. මම තවමත් කලකිරෙන දෙයක් තමයි මම එක්තරා අමාත්‍යාංශයක සේවය කරන්නට යැම. ඒ කලකිරිමත් සමඟ මම රාජ්‍ය සේවයෙන් ඉවත් වුණා. හේමමාලිගේ අභාවය අදටත් මට දුකක්…..” – රත්න ශ්‍රී විජේසිංහ

”කිරි ශිරා සියයක් ඉල්පී

කෘෂ ළැමට ඇදී එත්මැයි

පියයුරෝ දෙදෙන හොරැහින්

බිම බලාගෙන හඬත්මැයි

නුඹ වින්ද දුකෙන් උපනෙම්

මේ කවි මගේ ද නොදනිම්
ලොව තනන දෑත් නොතකා
මේ කවි කාට පුදදෙම්” – වස්සානේ කාව්‍ය සංග්‍රහයේ පිදුම

ඔහු අවසානයේ මගෙ බිසවුනේ අසාපන් ලියමින් සිය ආදරණීය බිරිඳට කියනුයේ
නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්‍
සිත සඳුන් තවරපන්නේ………. කියාය. සැබැවින්ම ඔහුගේ ප්‍රේමනීය භාවිතාව කෙතරම් නම් සුන්දරද? ආදරණීයද ?

”ගේය කවි රචනාවෙහි මිණි කිරුළ පලන් සරච්චන්ද්‍ර මානවසිංහ සේකර වන් මහා සාහිත්‍යවේදීන් අතරට නිසඟවම එක්වන අපේ කාලයේ අසම සම නිර්මානවේදියා ඔහුය.” උල්පත පාමුල කෘතිය – පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව

මව් නැති දෙදෙන

”දිව ඇද ඇද පෙනේ කරන-ගිණි දැල්වල සර්ප විෂට
හිනැහුණ රත් දෙළුම් තොලට- ලේ කොයින් ද
මන්නාරම් කච්චේරිය වැලි මිදුලේ
සුදට සුදේ සිනා සලන
ඔයා කොහෙද

පිච්ච වැලක් කරට අතක් දමා ගත්ත
කනේරු මල් ගහමුල හිඳ
තක්පෙති සිඹ සීත සුළඟ යන්නෑ
ඔයා හිටිය කාඹරේට

මන්නාරම් කචිචේරිය වැලි මිදුලේ
වැටී නිදන දියවී යන සෙල්ලිපියක අකුරු අතර
ප්‍රේමය ගැන මුකුත් නැද්ද
වල්ලිපුරම් රන් තහඩුවෙ එක
ආදර බසක් නැද්ද
අනේ සරත් මට කියන්න

හබල පෙතියි කිතුල් පැණියි
පොදි බැඳගෙන
අම්මත් ඉස්සර කරගෙන
සරත් ඔයා එන්න හිටියෙ අපි බලන්න
උදා නොවන ඒ දවසට ඉරක් වෙන්න
මගේ සරත් තරහ නෑයි මට කියන්න
එක ලියුමක් වත් එවන්න

නිත්‍යකලා නුඹේ ලියුම
කඳුළූ වැලක් වාගේ මට‍
ඒ මගේම කඳුළු නොවෙද‍
ඒ ලුණු රස

මහ කරුණා සෙවනැල්ලේ
සිරි මහ බෝ වැලි මළුවේ
මරුවැල පෑගී වැටුණා මගෙ අම්මා
නෙළුම් මල් අතින් අරගෙන
නළල් තල ඇඟිලි බැඳගෙන
පිච්ච මල් සුවඳ වියැකෙන තල් ගස් යට
ඇය නිදිකරවා තබන්න
නිත්‍යකලා එන්නද මම
මව් නැති අපි දෙදෙන දෙතැන
කඳුළින් කඳුළැලි සෝදන
නිත්‍යකලා මම සහ නුඹ……”

(1984 අග දිවයින පුවත්පතේ පළ වූවකි.)

රත්න ශ්‍රීගේ කවි වල පවතින සුගායනීය හේතුවෙන් ඔහුගේ කව් ගීතයටද නැගුණු අවස්ථා වේ.

”පේසාලේයි හංදිය ලග
කනේරු මල් ගහ පාමුල
ඔබ පරවි වැටිලා
පපුවෙත් ලේ ගැලුවා..
ගිනි ගන්න රටක් නෑ
රට ගිනිගෙන ඉවරයි…
මේ සොහොන් බිමේ දිනෙන් දිනම
පස් කදු වැඩි වෙයි….
නැගිටින්න එපා
නැගිට කොහේ යන්නද අප…….”

මෙවැනි කම්පනීය මතක ගීත සමුච්චයක් රත්න ශ්‍රී සතුය. ඒවාගේ හෘදයග්‍රාහී බවත් සංයමශීලී බවත් අප සිත් පාරවන්නට රිදවන්නට දයාර්ද්‍රයෙන් පුරවන්නට සමත්ය.

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගීතාවලිය පිළිබඳ සාහිත්‍ය නිර්මාණ පිළිබඳව මෙතෙකැයි කියා නිම කිරීමට අප අපොහොසත්ය. සැබැවින් ම ඒ පිළිබඳ කරුණු ගොනු කිරීම අඳුරේ අතපත ගෑමකි. කවියක ගීතයක පවතින පටු සීමාව තුළ අනන්ත වූ අර්ථයක් ලබා දෙන්නට ඔහු අදටද නිබඳව ම දායක වෙමින් සිටියි. තව තවත් සාහිත්‍ය කෙත පෝෂණය කිරීමට ඔහුට චිර ජීවනය පතමු !

ආයු රක්ඛන්තු ආවඩා !

  • සශිකලා මධුෂාණී

(කාමරේ අයියා පිළිබඳ කතාව අප වෙත කියනු ලැබුවේ ක්‍රිකට් ක්‍රීඩක චම්පික රාමනායක මහතාය. එමෙන්ම මෙහි එන බොහෝ කවි රත්න ශ්‍රී විජේසිංහයන්ගේ රසිකයකුගේ අඳුරු මතකයක් කියවීමකි. ලියුම්කරුවකුටත් වඩා පැරණි වසර 38ක මතකයක් කියවීමකි.)

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.