අප සමනල් පිහාටු වැනි ජීවිත
වන්දනාවේ යන්න ඉපදී
නමුත් ඒ දුර යන්න බැරිවී
එහෙ මෙහේ යන අතර මගදී
තටු සිඳී අළු හැලී
අතරමං උන !
අප වළාකුළු වැනි දුවන ජීවිත
කුරුළු ඇසකින් ලොව දිහා බලාගෙන
සොඳුරු නිම්න, මිටියාවත් පසුකර
වේදනා බරිත කාන්තාර දැක දැක
කඳු තුඩක වැදී
අතුරුදන් වන !
අප සන්ධ්‍යාව වගේ ජීවිත
දහවල දැවි දැවී වේලී
විඩාවක් ලද යුතුම ඇසිල්ලක
මොහොතක් වත් නවතිනු බැරිව
හාත්පස අඳුරුකරගෙන
රැයක තනි වන !
අප තරු එළි වගේ ජීවිත
ආලෝක වර්ෂ හත අටකට පෙර
දැල්වූ එළියෙන් අද දවස ගෙවාගෙන
කවියන්ට කවි දී, නිවි නිවි
ඔහේ දැල්වෙන !
අප අපවත් නොහඳුණන අඳුරක
ඇලුනු ගැලුනු ජීවිත
අපවත් නොදන්නා එළියක
සිහින දකින ජීවිත
කිසිවෙක් නොදන්නා වංකගිරියක
කිසිවක් නොදැන ඇතුළු වුනු ජීවිත !
~ MKCP ශෂීන්
