රජ සැප ගන්න හිටපු වෘත්තීය සමිති නායකයෝ අද රාජ්‍ය සේවකයා අමතක කර ආණ්ඩුව වෙනුවෙන් මරණ තර්ජනත් කරනවා – සජිත්

0
258

සටහන – රුවන් නෙළුගොල්ල

රාජ්‍ය සේවය ශක්තිමත් කරමින් රාජ්‍ය සේවකයන් ආරක්ෂා කරනවා කියු නිසා රාජ්‍ය සේවකයන් බහුතරයක් වත්මන් මාලිමා ආණ්ඩුවට ඡන්දය දුන්නත් අද වන විට විදුලි බල මණ්ඩලයේ 23000කගේ රැකියා අනාරක්ෂිත වී ඇති බවත් මොවුන්ගේ රැකියා ගැන රජය වගකීමක් නොගන්නා බවත් බලධාරීන්ට අනුව මොවුන් ස්වේච්ඡවෙන් විශ්‍රාම යා හැකි යැයි පවසන බවත් විදුලි බල මණ්ඩලය වෙනුවෙන් එදා මහපාරට බැස්ස මහපාරට බස්සපු නායකයන්ට වගකීමක් ගන්න බැරි බව පවසන බවත් ආණ්ඩුව වට්ටවන්න දෙන්න නැතැයි කියමින් ආණ්ඩුව වෙනුවෙන් මරන්නත් මැරෙන්නත් සූදානම් යැයි පවසන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බලය නැති දා මේ වෘත්තීය සමිති නායකයෝ මැරෙන්න ලෑස්තු වුණේ විදුලි බල මණ්ඩලයේ 23000කගේ රැකියා ආරක්ෂා කරන්න වුවත් අද බලය ඇති විට මැරෙන්න ලෑස්ති වෙන්නේ බොරු කියා බලයට පැමිණි රජය ආරක්ෂා කරන්න මිස විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නොවන බවත් එදා කයිවාරු ගහපු වෘත්තීය සමිති නායකයන් අද රජ පුටුවලට පැමිණි පසු මේ සියල්ල අමතක කර මරාගෙන මැරෙන සටනක් සිදු කර ආණ්ඩුව රැක ගන්න කටයුතු කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩු බිහි වන්නේත් නැති වන්නේත් මරාගෙන මැරෙන සටනකින් නොව ඡන්ද ක්‍රමය හරහා බවට මොවුන් අමතක කර ඇති බවත් මැතිවරණ ක්‍රමය තුළ භීෂණය නොමැති වුවත් ආණ්ඩුව අද බලය ගෙන පොදු ජනතාවට තර්ජනය කරමින් සිටින බවත් සඳහන් කළේය.

ජනතාව වෙනුවෙන් අපි ඉන්නවා

අද ආණ්ඩුව ගොවියා, ව්‍යවසායකයා, රාජ්‍ය සේවකයා, මධ්‍යම පන්තිය ඇතුළු සියලු දෙනා අමතක කර ආණ්ඩුව රැක ගන්න මරන්නත් මැරෙන්නත් සූදානම් යැයි කියමින් තර්ජනය කරමින් යන බවත් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මේ මරු පහරවල් ඉදිරියේ නිවටයෝ ලෙස බලන් සිටිනවාද මහපාරට බැස ගොවියා රකින්න පොදු ජනතාව රකින්න රාජ්‍ය සේවකයා රකින්න කටයුතු කරනවාද කියා ජනතාව සිතිය යුතු බවත් එවන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයකට නායකත්වය ලබා දෙන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

අද ගොවියාත් ව්‍යවසායකයාත් රාජ්‍ය සේවකයාත් ආණ්ඩුවට අමතක වෙලා

ජනතාවට ගුණාත්මක පොහොර මෙන්ම පොහොර සහනාධාරයද හරියට නොලැබෙන බවත් වල් නාශකවල පවා ගුණාත්මකභාවයක් නොමැති බවත් ඉහළ ප්‍රභේදයෙන් යුත් බීජ නොමැතිව, ගොවි උපකරණවල මිල ඉහළ ගොස් ඇති බවත් උපකරණ කුලියට ගැනීමට ද විශාල මුදලක් වැය වන මොහොතක වන අලි ඇති සතුන්ගෙන් වගා හානි පවා සිදුවන බවත් මේ වගා හානිවලට රක්ෂණ වන්දි ක්‍රමවේදයක් නොමැති බවත් ගොවිතැනේ නියැලී සිටින ජනතාව අති දුෂ්කර ජීවිතයක් ගත කරන බැවින් මේ ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම සටන සිදු කර අයිතිය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව අන්දවා අද රජයේ ලොක්කන් සුර සැප විඳිනවා

මෙවැනි ගැටලු මැද වගා කටයුතු කළත් අස්වැන්නට ස්ථාවර මිලක් නොමැති බවත් එම නිසා අස්වැන්න තුට්ටු දෙකට විකිණිමට සිදුව ඇති මොහොතක රජය නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවත් අද රජයට කට උත්තර නොමැති බවත් ජනතාවට බොරු කියා රවටා අන්දවා මංමුලා කර ජන ජීවිත නැත්තට නැති කර මේ අය රජ පුටුවල සුරසැප විඳිමින් සිටින බවත් රටේ පොදු මහත් ජනතාව පීඩාකාරී ජීවිතයක් ගත කරමින් අන්ත අසරණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ගමින් ගමට දෙරින් දොරට විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන යටතේ මිහින්තලේ ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි.