ශ්‍රී ලංකාවේ නැඟී එන ආර්ථික අවස්ථා සොයා බැලීමට ජනපතිගෙන් ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම්!

0
151

කොළඹ LNW: ජපාන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සහ පෞද්ගලික අංශය ඊට දිරි ගන්වමින්, ශ්‍රී ලංකාවේ නැගී එන ආර්ථික අවස්ථා සොයා බැලීමට එක් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේ පැවති ජපන්- ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතමිනි.

විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේදී පැවති මෙම හමුවට ජපානයේ ව්‍යාපාරික ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ 200 කට ආසන්න පිරිසක් එක්ව සිටී අතර ජපාන බාහිර වෙළඳ සංවිධානය (JETRO), ආර්ථික, වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය (METI), සමඟ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජපන්-ශ්‍රී ලංකා ව්‍යාපාර සහයෝගීතා කමිටුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) එක්ව මෙය සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ජාතික ඩිජිටල්කරණය ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා රජයේ උපායමාර්ගික මුලපිරීම් පෙන්වා දුන්නේය. දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඩිජිටල් පරිවර්තනය සහ කෘතිම බුද්ධිය (AI) වැනි ක්ෂේත්‍රවල වර්ධනය සඳහා පවතින අවස්ථා පෙන්වා දුන්නේය.

මීට අමතරව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් ජපන් ආයෝජන සඳහා ප්‍රමුඛතාවය දී ඇති ප්‍රධාන අංශ වන නිෂ්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය සහ සංචාරක ව්‍යාපාරය ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ මෙහිදී පැහැදිලි කරන ලදී. එමඟින් ශක්තිමත් ප්‍රතිපත්තිමය සහාය සහ විධිමත් ක්‍රියාවලීන් හරහා ආයෝජන අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකාවේ සූදානම අවධාරණය කෙරිණ.

ශ්‍රී ලංකා ව්‍යාපාරික නියෝජිතයින් සහ ජපන් ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයන් අතර කේන්ද්‍රීය ජාලකරණ සැසියක්ද මීට සමගාමීව පැවැත්විණි .
මීට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ JETRO හි සභාපති ඉෂිගුරො නොරිහිකො (ISHIGURO Norihiko) මහතා අතර සාකච්ඡාවක් ද පැවැත්විණි.

ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ සම්බන්ධතාවය සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම සඳහා දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර පාලමක් ලෙස කටයුතු කිරීමට ඇති කැපවීම JETRO හි සභාපතිවරයා මෙහිදී නැවත තහවුරු කළේය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසූෆ්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ජපාන ආර්ථික, වෙළඳ හා කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ආචාර්ය ඔගුෂි මසාකි(Ogushi Masaki), ජපන්-ශ්‍රී ලංකා ව්‍යාපාර සහයෝගීතා කමිටුවේ සභාපති කොබයාෂි ෆුමිහිකෝ (KOBAYASHI Fumihiko) යන මහත්වරු සහ ලංකා වාණිජ මණ්ඩලයේ සහ ජපන්-ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදයේ ඉහළ පෙළේ ව්‍යාපාරික නියෝජිතයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.