ලංකාවේ බංකොලොත්භාවයේ ආරම්භය හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත්ගේ ණය ගැනිල්ල ද? 

0
382

ඇඩොල්ෆ්

2022 දී ශ්‍රී ලංකාවේ හටගත් ආර්ථික අර්බුදය එක් රැයකින් මතුවූවක් නොවේ. රට ගෝලීය ප්‍රාග්ධන වෙළඳපොළවලට භයානක ලෙස නිරාවරණය කිරීමට හේතු වූ, අදූරදර්ශී, දේශපාලනික, සහ ආර්ථික වශයෙන් නොසැලකිලිමත් තීරණ මාලාවක් මේ පිටුපස පවතී. 

මේ අතර ප්‍රධානතම කරුණ වන්නේ 2015 – 2019 කාලය තුළ දැවැන්ත ලෙස වාණිජ ණය ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතුකර තිබීමයි. එකී කාලය තුළ මහ බැංකුවේ පැවති විවිධ පරිපාලන වෙනස්වීම් යටතේ මෙම ණය ලබා ගැනීම් සිදුවූව ද, වඩාත් කැපී පෙනෙන ණය ලබා ගැනීමක් සිදුව තිබෙන්නේ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැංකු අධිපතිධුරය දැරූ සමයේ ය.   

2015 – 2019 කාලය තුළ, ඇ.ඩො. බිලියන 10 ක පමණ මුදලකට ආසන්න ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමට ශ්‍රී ලංකාව කටයුතුකර ඇති අතර, මේවාට පැනවූ පොලී අනුපාතික සියයට 5.5 සිට සියයට 8.9 ක පරාසයක පැවතිණි. පහත දැක්වෙන්නේ මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාව විසින් ලබාගෙන තිබෙන ණය ප්‍රමාණයයි:

  • 2015 ඔක්තෝබර් 27 – ඇ.ඩො. බිලියන 1.5 (වසර 10කට) 
  • 2016 ජූලි 11 – ඇ.ඩො. මිලියන 500 (වසර 5.5කට පමණ)
  • 2016 ජූලි 18 – ඇ.ඩො. බිලියන 01 (වසර 10කට)
  • 2017 මැයි 11 – ඇ.ඩො. බිලියන 1.5 (වසර 10කට)
  • 2018 අප්‍රේල් 18 – ඇ.ඩො. බිලියන 1.25 (වසර 10කට)
  • 2019 මාර්තු 07 – ඇ.ඩො. බිලියන 2.4 (වසර 5කට + වසර 10ක වාරික)
  • 2019 ජූනි 24 – ඇ.ඩො. බිලියන 02 (වසර 5කට + වසර 10ක වාරික) 

වසර 05කට අඩු කාලයක් තුළ, ශ්‍රී ලංකාවේ බාහිර වාණිජ ණය කන්දරාව ඇ.ඩො. බිලියන 05 සිට ඇ.ඩො. බිලියන 15 ක ප්‍රමාණයක් දක්වා ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණයකළ හැකි ය. මෙම කාලසීමාව තුළ කල්පිරීමේ කාලසීමාව භයානක ලෙස කෙටිව ගොස් ඇති බව ද නිරීක්ෂණයකළ හැකි ය. කෙටියෙන් පැවසුවහොත්, දිගු කාලීන මූල්‍ය පරතරයන් සහ පුනරාවර්තන වියදම් පියවා ගැනීම සඳහා ශ්‍රී ලංකාව කෙටිකාලීන, අධික පිරිවැයක් සහිත මුදල් ණයට ගෙන තිබේ. 

මෙම ණය සාධාරණීකරණය කිරීමට මහ බැංකුව බොහෝවිට කටයුතු කළේය. ඒ, මෙම ණය ගැනීම් “වගකීම් කළමනාකරණ ක්‍රියාදාමයන්වල” කොටසක් ලෙස පවසමිනි. කල් පිරෙන ණය නැවුම්, වඩා මිල අධික ණය සමඟ පෙරළීම සඳහා සුදු හුණු ගෑමක් ලෙස මෙම අලංකාර වදන් ඔවුන් භාවිතා කරන්නට ඇත. ඔවුන් ඉන් පෙන්වා දීමට උත්සාහ කරන ලද්දේ, කල් පිරීම වඩා සුමට ලෙස සිදු කිරීම සඳහා ප්‍රතිමූල්‍යකරණය උපකාරවනු ඇති බවයි. 

නමුත් යතාර්ථය නම්, මෙමඟින් මතුව තිබූ අර්බුදයට තාවකාලික පැලැස්තරයක් එක් කිරීමක් පමණක් සිදුවිය. මෙමඟින් රටේ සංචිත ශත්තිමත් කිරීමට හෝ අපනයන ධාරිතාව පුළුල් කිරීමට සැලකියයුතු බලපෑමක් එල්ල නොකළ අතර, අනාගතයේ බලයට පත්වන රජයන් කෙරේ ණය අර්බුදයේ වගකීම කර මතට පැවරීම පමණක් සිදුවිය.

2019 වර්ෂයේ දී බැඳුම්කර ගනුදෙනුව අවසන් වන විට, ශ්‍රී ලංකාවේ බාහිර ණය සේවා බැඳීම් වසරකට ඇ.ඩො. බිලියන 04 ඉක්මවා ගිය අතර, වාර්ෂික අපනයන ආදායම ඇ.ඩො. බිලියන 11 ක් පමණ විය. මෙම නොගැළපීම තිරසාර එකක් නොවන බව පැහැදිලි ය. බිලියන ගණනින් මුදල් ණයට ගෙන තිබියදීත්, 2014 වර්ෂයේ දී ඇ.ඩො. බිලියන 8.2 ක් වූ විදේශ සංචිත 2019 අවසානය වන විට ඇ.ඩො. බිලියන 7.6 දක්වා පහත වැටුණි.

මෙහි පවතින සැබෑ ඛේදවාචකය වන්නේ, මෙම මුදල් කිසිවක් වර්ධනය වැඩිදියුණු කරන ආයෝජන සඳහා යොමුනොකර තිබීමයි. ඒ වෙනුවට, ඒවා රුපියලේ අගය පවත්වා ගැනීමට, රාජ්‍ය අංශයේ වැටුප් සඳහා අරමුදල් යෙදවීමට, සහ පැරණි ණය ගෙවීමට භාවිතා කරන ලදී. බදු පදනම පුළුල් කිරීම සහ සහනාධාර සීමා කිරීම වැනි මූල්‍ය ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීමට රජය අපොහොසත් වීම හමුවේ, රට ණය උගුලක සිරවිය. 

රටේ මූල්‍ය සුක්කානම ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වෙත ලැබෙන විට, ශ්‍රී ලංකාව නිදහසින් පසු ඉතිහාසයේ දක්නට ලැබෙන දරුණුතම අඥාණ ණය ගැනීම්වලින් එකකින් විඳවමින් සිටියේය. තම වෘත්තීයභාවය සම්බන්ධයෙන් පැසසුමට ලක්ව සිටි කුමාරස්වාමි මහතා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් දේශමාන්‍ය තනතුරින් ද පිදුම් ලැබූ නමුත්, සාර්ව මූලධර්මවලින් සාධාරණීකරණයකළ නොහැකි පසුබිමක පවා බාහිර ණය ගැනීමට භාණ්ඩාගාරය දැරි ආශාව යටපත් කිරීමට ඔහුගේ පරිපාලනය සමත් නොවීය. 

එහි ප්‍රතිඵලයක් ලෙස රටේ ණය වාණිජ ණය ගැනීම් වෙත දැඩි ලෙස නැඹුරු වූ අතර, 2019 වන විට විදේශ ණය වලින් සියයට 50 කට වඩා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල පැවතුනි. මෙය පසුකාලීනව රට මූල්‍යමය වශයෙන් අතිශයින්ම අවදානමේ හෙලන තත්ත්වයකි.

කොවිඩ් වසංගතය හමුවේ ගෝලීය වෙළඳපොලවල් දැඩිවූ විට, ප්‍රතිමූල්‍යකරණය සඳහා ශ්‍රී ලංකාවට පැවති ප්‍රවේශය එක් රැයකින් අතුරුදන් විය. ණය ගෙවීම සඳහා සංචිත නොමැති වීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලක් නොමැතිවීම හමුවේ, ණය පැහැර හැරීම නොවැළැක්විය හැකි විය. 2022 අප්‍රේල් මස පළමු වරට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ගෙවීම අතහැර දැමුවේ, නිදහසින් පසු පළමු වරට ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය පැහැර හැරීම සනිටුහන් කරමිනි. මීට සෘජුවම 2015 – 2019 කාලය තුළ ලබාගත් ණය කන්දරාව හේතුවිය. 

මේ පිළිබඳව පසුවිපරමක් කර බලන විට, ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහ ඔහුගේ අනුප්‍රාප්තිකයන් යටතේ මහ බැංකුව අනුගමනයකළ උපායමාර්ග කරුණු තුනක පවතින දෝශ හඳුනාගත හැකි ය:

  1. වාණිජ ණය මත අධික ලෙස රඳා පැවතීම: බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් ලාභදායී, දිගුකාලීන සහනදායී මූල්‍යකරණයක් ලබාගනු වෙනුවට, ශ්‍රී ලංකාව අස්ථාවර ප්‍රාග්ධන වෙළඳපොළවල් මත විශ්වාසය තැබීමට කටයුතු කළේය. 
  2. දුර්වල ණය කලමනාකරණ සම්බන්ධීකරණය: ණය ආපසු ගෙවීමේ අවදානම කලමනාකරණය කිරීම සඳහා මධ්‍ය-කාලීන මූල්‍ය උපාය මාර්ගයක් නොමැතිව මහ බැංකුව සහ භාණ්ඩාගාරය ක්‍රියාත්මක විය.
  3. වගවීම නොමැතිකම: පාර්ලිමේන්තුව දැනුවත් කිරීමකින් හෝ ණය ආපසු ගෙවීමේ ඇඟවුම් සම්බන්ධයෙන් පොදු දැනුවත් කිරීමකින් තොරව ම ණය ගැනීම් “සාමාන්‍ය” හෝ “වෙළඳපොළ හිතකාමී” ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. 

මෙහි ප්‍රතිඵලය බලාපොරොත්තු වූ පරිදි ම විය. 2020 වන විට, ශ්‍රී ලංකාවේ විදේශ ණයවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් පෞද්ගලික ණයහිමියන්ට ගෙවිය යුතු වූ අතර, එමඟින් රටට සාකච්ඡා කිරීමට හෝ ඉක්මනින් ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති ඉඩකඩ අඩු විය. රුපියලේ තියුණු අවප්‍රමාණය, ඉහළ යන උද්ධමනය සහ ආයෝජක විශ්වාසය බිඳ වැටීම යන සියල්ලම ඉහළයන ආර්ථික අර්බුදයේ රෝග ලක්ෂණ බවට පත්විය. මෙමඟින් මූල්‍ය විනයක් නොමැති රටක් බවට ශ්‍රී ලංකාව පත්විය. 

මෙම කාලසීමාව තුළ අප උගත් වේදනාකාරී පාඩම් ප්‍රතිපත්ති සම්පාදකයන්ට අමතක වීමට ඉඩ නොදිය යුතු ය. විචක්ෂණශීලී ලෙස ආර්ථිකය හසුරවනු වෙනුවට තාක්‍ෂණික පහසුව සහ දේශපාලනික උපයෝගීතාව යොදාගනිමින් 2015–2019 කාලසීමාව තුළ සිදුකළ වැරදි යළි ඇතිවීමට ඉඩ ලබා නොදිය යුතු ය. මහ බැංකුවේ ස්වාධීනත්වය වගවීම සමඟ සමපාත විය යුතු අතර, ණයට ගන්නා සෑම ඩොලරයක්ම මැනිය හැකි ආර්ථික ප්‍රතිඵල සමඟ සම්බන්ධකළ යුතුය.

බංකොලොත්භාවය හෙළිදරව් කරන එක් සත්‍යයක් පවතී. එනම්, ජාතියකට සමෘද්ධිය කරා යන ගමන පිනට ගත නොහැක. ප්‍රතිසංස්කරණ සඳහා වැඩපිළිවෙලක් නොමැති විට, ණය ගැනීමෙන් සිදුවන්නේ හටගත් වැරදි නිවැරදි කිරීම තවදුරටත් අසීරු වීම පමණි. එබැවින්, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ඇතිකරලීමේ මාවත ආරම්භ විය යුත්තේ තවත් ණය ගැනීම්වලින් නොව, ආයතනික විනය, විනිවිදභාවය සහ ඒ සඳහා පවතින කැපවීම සහතික කිරීමෙන් පමණි.