සිම්බාබ්වේ මහ බැංකුව පොලී අනුපාතික 200% කරයි !

Date:

කාලයක් අධි උද්ධමනයෙන් බැට කෑ රටක් වන සිම්බාබ්වේහි උද්ධමනය 2022 ජූනි මාසයේදී 191.6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මැයි මාසයේදී එරට උද්ධමනය තිබුණේ 131.7% මට්ටමේ. අප්‍රේල් මාසයේදී 96.4% මට්ටමේ. මාර්තු මාසයේදී 72.7% මට්ටමේ. පෙබරවාරි මාසයේදී 66.6% මට්ටමේ. ජනවාරි මාසයේදී 60.6% මට්ටමේ. උද්ධමනය වැඩි වෙන්න ගත්තහම වැඩි වෙන්නේ ඔය විදිහටයි.

ජූනි මාසය තුළ උද්ධමන දර්ශක අගයේ වැඩි වීම 30.7%ක්. මෙම අගය 50% ඉක්මවීම අධි උද්ධමන තත්ත්වයක් සේ සැලකෙනවා. සිම්බාබ්වේ ඩොලරයක අගය මේ වන විට ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියලක අගයට සමානයි (ඇමරිකන් ඩොලරයකට සිම්බාබ්වේ ඩොලර් 352ක් පමණ).

කොහොම වුනත් නැගී ගෙන එන අධි උද්ධමන තර්ජනය හමුවේ සිම්බාබ්වේ මහ බැංකුව වන සිම්බාබ්වේ සංචිත බැංකුව තමන්ගේ ආයුධ ප්‍රයෝජනයට ගන්න පැකිලී නැහැ. උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුවක් සතුව තිබෙන ප්‍රධානම මෙවලම පොලී අනුපාතිකයි.

අද නිවේදනය කර ඇති පරිදි ජූලි 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි සිම්බාබ්වේ සංචිත බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 80% සිට 200% දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අනුව, මුදල් ඉල්ලුම පාලනය වන පරිදි පොලී අනුපාතික උද්ධමනයට වඩා ඉහළින් තැබීමට සිම්බාබ්වේ සංචිත බැංකුව කටයුතු කර තිබෙනවා.

ඒ සමඟම බැංකු විසින් ඉතිරි කිරීමේ ගිණුම් සඳහා ගෙවිය යුතු අවම පොලිය 12.5% සිට 40% දක්වාත්, අවම ස්ථිර තැන්පතු පොලී අනුපාතිකය 25% සිට 80% දක්වාත් ඉහළ දමා තිබෙනවා.

සිම්බාබ්වේ සංචිත බැංකුව විසින් ගෙන තිබෙන තවත් සුවිශේෂී ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයක් වන්නේ බැංකු හරහා වෙළඳපොලට රන් කාසි හඳුන්වා දීමයි. මේ අනුව, සිම්බාබ්වේ ඩොලරයේ අගය ගැන කණස්සල්ලක් ඇති අයට තමන්ගේ සිම්බාබ්වේ ඩොලර් ඇමරිකන් ඩොලර් වැනි වෙනත් මුදල් ඒකක වලට පරිවර්තනය නොකර රන් කාසි වල ආයෝජනය කළ හැකියි.

මෙහි වාසි ගණනාවක් තිබෙනවා. එක පැත්තකින් සිම්බාබ්වේ ඩොලර් බැංකු පද්ධතිය තුළට පැමිණීමේදී රටේ මුදල් සැපයුම පහළ යනවා. අනෙක් පැත්තෙන් විදේශ මුදල් වලට තිබෙන සමපේක්ෂණ ඉල්ලුම අඩු වන නිසා විණිමය අනුපාතය මත වන පීඩනය අඩු වෙනවා. ලංකාවට වුනත් මේ වැඩේ උත්සාහ කර බැලිය හැකියි.

~ ඉකොනොමැට්ටා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...