කොළඹ LNW:වරායේ ක්ෂේත්‍රයේ සංවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුව අඛණ්ඩව සහය දෙන බවට යළි සහතික වී තිබේ.
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා සමඟ ආසියානු සංවර්ධන බැංකුවේ (ABD) ප්‍රවාහන අංශයේ නියෝජිතයින් කණ්ඩායමක් සමඟ පැවති විශේෂ හමුවේදී මේ බව තහවුරු කර ඇත.
මෙම හමුවට එක් වූ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ දේශීය අධ්‍යක්‍ෂ තකෆුමි කඩෝනෝ (Mr.Takafumi Kadono ) ශ්‍රී ලංකා වරාය ක්ෂේත්‍රයට පසුගිය වසර ගණනාවක ලබා දුන් සහයෝගීතාවන් සිහිපත් කර ඇති අතර එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ දිගුකාලීන හවුල්කාරීත්ව නැවත තහවුරු කිරීමද සිදුකර ඇත.
එහිදී අනුර කරුණාතිලක අමාත්‍යවරයාගේ නව තනතුරේ රාජකාරී භාර ගැනීම පිළිබඳව සුභ පැතුම් එක් කල කඩෝනෝ මහතා, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය හා ප්‍රවාහන සංවර්ධන කාර්යයට සහය දැක්වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ කැපවීමද නැවත අවධාරණය කළේය.
1970 වසර කාලයේ සිට ප්‍රවාහන ව්‍යාපෘතිවල සිට බටහිර බහාලුම් පර්යන්තයේ දෙවන අදියර දක්වා වු ඉංජිනේරු සැලසුම් සඳහා අඛණ්ඩ මූල්‍ය ආධාර සැපයීම ගැන ද එහිදී සිහිපත් කරන ලදුව ජාතික වරාය ප්‍රධාන සැලැස්ම යාවත්කාලීන කිරීම සඳහාත්, බටහිර බහාලුම් පර්යන්තයේ දියකඩනය ඉදිකිරීම සඳහාත්, ආසියානු සංවර්ධන බැංකුවේ ඉදිරි සහයෝගය සඳහා වෙන් කර ඇති රාජ්‍ය මූල්‍යකරණය පිළිබඳවද අදහස් දැක්වීය.
ශ්‍රී ලංකාවේ වරාය සහ ප්‍රවාහන යටිතල පහසුකම් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ දායකත්වය වෙනුවෙන් අමාත්‍යවරයා කෘතඥතාව පළ කළ අතර රජය වෙනුවෙන් තබා ඇති විශ්වාසනීය බව අගය කර තිබේ. එමෙන්ම ඉදිරි වසර වලදී සමුද්‍රීය අංශයන් සඳහා උපරිම සහයෝගය බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කර ඇත. මැනිලා හී ආසියානු සංවර්ධන බැංකුවේ මූලස්ථාන කාර්ය මණ්ඩලයද මාර්ගගතව මෙම අවස්ථාවට එක් වු අතර අමාත්‍යාංශ නිලධාරීන් ද සහභාගි වී සිටියහ.
