කොළඹ LNW:මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිත 2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ඒ අනුව අයවැය කතාව ජනාධිපතිවරයා විසින් අද ප.ව. 01.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ, ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැයයි.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්වෙනු ඇති.
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතයි.
2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434 ක් ලෙස දැක්වෙන අතර එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634කි.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 618ක් වෙන් කර ඇති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 596ක් වෙන්කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 554කි.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 455ක් ලෙස දැක්වෙන අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබේ.
ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය සඳහා රුපියල් බිලියන 11ක් වෙන්කර තිබේ.
එය 2025 වසරේ ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය සඳහා වෙන්කර තිබූ රුපියල් බිලියන 2.7ක මුදලට වඩා බිලියන 8ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන අතර ප්‍රධාන වශයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් බිලියන 8.29ක මුදලක් වෙන්කර තිබීම මෙලෙස වැය ශීර්ෂය ඉහළ යාමට හේතු ලෙස දැක්වෙයි.
2026 විසර්ජන පනත් කෙටුම්පතින් විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 488ක් වෙන්කර ඇත.
කෙසේ වෙතත් 2026 වර්ෂය සඳහා වියදම් පියවාගැනීමේදී දේශීය හා විදේශීය වශයෙන් ලබාගත හැකි උපරිම ණය සීමාව රුපියල් බිලියන 3,800ක් ලෙස දක්වා ඇති අතර එය නොඉක්ම විය යුතු බව ද විසර්ජන පනත් කෙටුම්පතේ දක්වා තිබේ.
ආශිකා බ්‍රාහ්මණ
