උපාලි කොළඹගේ
කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි තන්ත්රය හැකි අයුරින් දැනට කරගෙන යනු ලබයි. එහි අඩුපාඩුකම් බොහෝ තිබිය හැක. එහෙත් ඒවා අවම කරගෙන සහන කටයුුතු ඉදිරියට කරගෙන යනවා හැර වෙනත් විකල්පයක් නැත.
දිය බොර වී ඇති නිසා මාළු බාන්නෝ එමටය. විපක්ෂයේ බොහෝ දෙනකුට ඕනෑ මොන ජංජාලයක් කර හෝ බලය ඩැහැ ගැනීමටය. නැත්නම් ඊට පාර කපා ගැනීමය. කෙසේ වුවත් ඊට දායක නොවන මහත්මා දේශපාලනය කරන පිරිසක්ද විපක්ෂයේ සිටිති.
අද මේ ලියන මොහොතේ බොහෝ දෙනකුගේ මාතෘකාව වී ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ ජාතිය අමතා කළ කතාවය. චක්‍රලේඛයට චක්‍රලේඛනය කීම වැනි සුළු පට ලැවිලි තිබුණද සමස්තයක් වශයෙන් අනුරගේ කතාව මෙම අසීරු අවස්ථාවට ප්රමාණවත්ය. මේ ලියන මාද එම කතාව ඇසීමට වාඩි වූයේ හිතේ චකිතයෙනි. එනම් වෙනදා මෙන් දිගු වේලාවක් ගනිමින් පට්ටන්දරය දිග හැරීවි යැයි යන සැකයෙනි. නමුත් එය එසේ සිදු වූයේ නැත. මුහුණු පොතේ මාධ්‍ය ඔස්තාර්ලාට නම් තව කියන්න ඕනෑ තරම් දේ ඇත. ප්‍රමාණවත් තරම් දත්ත නොමැති බව කීම දෙසද ඇතැම් අය බලන්නේ වපර ඇසිනි. මම නම් එය තේරුම් ගත්තේ මේ මොහොතේ පවත්නා ප්‍රායෝගික ගැටලුවක් කියාපෑමක් ලෙසය. ඇත්ත වශයෙන්ම මේ මොහොත වනවිටත් ආපදාවට පත්වූවන් සිටින ඇතැම් ස්ථානවලට කිසිවකුට ළඟා වීමට නොහැකි තත්ත්වයක් පවතී. ඒ නිසාවෙන් මේ මොහොතේ දත්ත රැස්කර ගැනීමට නොහැකි වීම එතරම් ගණන් ගතයුතු නැත.
කෙසේ වුවත් මේ මොහොතේ කළ යුතු අත්‍යවශ්‍යම කාර්ය නම් හදිසි නීති බලතල උපයෝගී කරගෙන හෝ ඇතැම් වෙළෙදුන් කරගෙන යන පාරිභෝගිකයන් හූරා කන තිරස්චීන පිළිවෙත මර්දනය කිරීමය. යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නට දැයි මෙන් හදිසි නීති බලතලවලින් මෙවැන්නක් කළ නොහැකි නම් පලක් නැත.
මෙම අසීරු අවස්ථාවේ සමාජයේ සුමට බව පළුදු කරන අනෙක් මාර්ග බාධකය නම් ඇතැම් සමාජ මාධ්‍යකරුවන්ගේ නොසංඩාල හැසිරීමය. පට්ටපල් බොරු හා අතිශයෝක්තීන් කිසිම හිරිකිතයකින් තොරව සමාජ ගත කිරීමද මේ දිනවල බහුලව සිදු කෙරේ. මෙම පුද්ගලික අපහාස හා බේගල් සමාජ ගත කිරීම මේ දිනවල පමණක් නොව මෑතදී සමාජයට පිවිසි පිළිල ලෙසය හැඳින්විය හැක්කේ. නමුත් මෙම තත්ත්වය කෙසේ හෝ වෙනස් කළ යුතුය.
නමුත් ඇතැම් රූපවාහිනි නාලිකා හිට ගෙන කරන දේ මාධ්‍ය ගැන හරි අවබෝධයක් නැති සුළු දිය කොල්ලන් දුව දුව කිරීම පිළිබඳව පුදුම විය යුතුද නැත.
කාලගුණ බලධාරීන් හා විශේෂයෙන්ම බීබීසී හා සීඑන්එන් වැනි ජාත්‍යන්තර මාධ්‍ය ලංකාවේ කාලගුණය පිළිබඳව අවවාදාත්මක හා අවදානම් අනාවැකි පළකරද්දී ආණ්ඩුව ඊට ප්‍රමාණවත් තරම් සංවේදී නොවීම පිළිබඳවද බරපතළ චෝදනාවක් එල්ලවේ. එහි යම්තාක් දුරට සත්‍යතාවක් ඇතැයි මටද සිතේ. නමුත් එම තත්ත්වය දැනගෙන හිටියද එය වැළක්වීමේ හැකියාවක් නැත. කළ යුතු වන්නේ ඊට මුහුුණ දීම සඳහා ප්‍රමාණවත් අයුරින් සූදානම් වීමය. අප වැනි දුප්පත් රටකද ඊටද සීමාසහිතකම් පවතී .
මෙයට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිසි පියවර ගත්තේ ද යන්න ගැටලුවකි. ආපදා කළමනාකරණයට වෙනම පරිපාලන ව්‍යුහයක් සකසා ඇත්තේ මෙවැනි ආපදාවක් වෙන්න පෙර සිටම යුහුයුහුව ක්‍රියාත්මක වීමටය.
සමහර විවේචකයන්ට ජනාධිපතිතුමා හිට ගෙන හිටියත් වැරදිය. මෑතදී එතුමා සූම් තාක්ෂණය මගින් ජලයට යටවුණු බසයේ සිටි අය බේරා ගැනීමේ අවස්ථාව නැරඹූ ආකාරයත් පසු දින ඇතමකුගේ උසුළු විසුළුවට ලක්විය. ඔහු වාඩි වී සිටියේ නම් සීත කාමරවල සිට උපදෙස් දෙනවා යැයි එයටද අවලාද නගනු ඇත.
කොහොම වුණත් දෙසැම්බරයේ පැවැත්වීමට සූදානම් කර තිබූ ජාතික උත්සවය නම් මේ වසරේ නොපවැත්විය යුතුය. එමෙන් මඩබල් කැබ් ව්‍යාපෘතියද තාවකාලිකව හෝ කල්දැමිය යුතුය.
