ආපදාවෙන් පසු රාජ්‍ය මූල්‍යනය : අමතර බිලියන සිය ගණන හොයාගන්නේ කොහොමද ?

Date:

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ව්‍යසන තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රජය වෙත විවිධ පාර්ශ්ව වලින් මූල්‍යාධාර ලැබී තිබෙනවා. පහත තිබෙන්නේ මාධ්‍ය වාර්තා වලින් සොයා ගත හැකි එවැනි මූල්‍යාධාර ලැබීම් පිළිබඳ තොරතුරු කිහිපයක්.

  1. රටවල් 33ක විදේශගත ශ්‍රී ලාංකිකයින් 30,470 දෙනෙකුගෙන් මුල් දින කිහිපය තුළ “රීබිල්ඩින් ශ්‍රී ලංකා” අරමුදලට ලැබී ඇති මුදල සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම් වලට ලැබී ඇති මුදල – රුපියල් මිලියන 696ක් පමණ (ඇමරිකන් ඩොලර් මිලියන 2.2ක් පමණ)
  2. ඕස්ට්‍රේලියානු රජයෙන් ලැබී ඇති මුදල – ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 3.5 (ඇමරිකන් ඩොලර් මිලියන 2.3ක් පමණ)
  3. ඇමරිකන් රජයෙන් – ඇමරිකන් ඩොලර් මිලියන 2.0ක්
  4. එක්සත් රාජධානියේ රජයෙන් – පවුම් මිලියනයක් (ඇමරිකන් ඩොලර් මිලියන 1.3ක් පමණ)
  5. චීන රජයෙන් සහ ජනතාවගෙන් – ඇමරිකන් ඩොලර් මිලියන 1.1ක් පමණ
  6. මාල දිවයින් රජයෙන් සහ ජනතාවගෙන් – ඇමරිකන් ඩොලර් මිලියන 2.4ක් පමණ
  7. නේපාල රජයෙන් – ඇමරිකන් ඩොලර් මිලියන 0.2ක්.

ශ්‍රී ලංකාව වැනි දුර්වල ආර්ථිකයක් මෙවැනි ආපදාවකට මුහුණ දීමෙන් පසුව රටට හා රජයට ලැබෙන හැම ඩොලරයකටම වටිනාකමක් තිබෙනවා. ළූණු බිකත් බඩට කියා කියනවනේ. නමුත් ඉහත අයිතමයින් කිසිවක් රුපියල් බිලියනය ඉක්මවන ලැබීම් නෙමෙයි. ඉහත ලැබීම් සියල්ලේ එකතුව ඩොලර් මිලියන 11.5ක් පමණයි. ධනවත් රටවලින් මෙවැනි අවස්ථා වලදී විශාල ලෙස ආධාර කරනු ලැබූ යුගය දැන් අවසන්. අද තිබෙන්නේ 1957දී පැවති ලෝකය නෙමෙයි.

ඉහත ලැයිස්තුව රජයට ලැබී ඇති අරමුදල් පිළිබඳ සවිස්තර හෝ නිල වාර්තාවක් නෙමෙයි. ඒ වගේම, තවත් යම් කාලයක් යන තුරු රජයට මෙවැනි මූල්‍යමය ආධාර ලැබෙයි. නමුත් ඉහත ලැයිස්තුව ඇසුරෙන් දැනට ලැබී ඇති හා ඉදිරි කාලයේදී ලැබෙන්නට ඉඩ තිබෙන මූල්‍යමය ආධාර වල පරිමාණය ගැන පහසුවෙන්ම අදහසක් ගන්න පුළුවන්. ද්‍රව්‍යමය ආධාර ලැබීම් සහ වෙනත් පාර්ශ්ව හරහා ලැබෙන මූල්‍යමය ආධාර ප්‍රස්තුත කරුණට අදාළ නැහැ. මෙහි අවධානය යොමු කෙරෙන රාජ්‍ය මූල්‍යනය හා අදාළව වැදගත් වන්නේ රජයට අභිමත පරිදි වැය කළ හැකි මූල්‍යමය ආධාර පමණයි.

රාජ්‍ය මූල්‍යනය හා අදාළව වැදගත් වන අපේක්ෂිත මුළු ලැබීම් ප්‍රමාණය ඉහත එකතුව මෙන් තෙගුණයක් පමණ සේ සැලකුවත් එය ඩොලර් මිලියන 34ක පමණ මුදලක් පමණයි. ඒ කියන්නේ රුපියල් බිලියන 10ක පමණ මුදලක්. එම මුදල සහ ආපදාව වෙනුවෙන් රජය විසින් වැය කරන්නට සැලසුම් කර තිබෙන රුපියල් බිලියන 572ක මුදල සසඳද්දී මතක් කර ගත හැක්කේ කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් යාමේ කතාවයි. ඒ අනුව, රජයේ ආපදා වියදම් වලින් ඉතා සුළු ප්‍රතිශතයක් හැර අනෙක් සියලුම වියදම් වල බර පැටවෙන්නේ රටේ බදු ගෙවන ජනතාව මත බව පැහැදිලියි.

ජනාධිපති දිසානායකගේ කතාව අනුව, මෙම වසරේ අවසන් දින 25 තුළ රජය විසින් ආපදා වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 72.2ක මුදලක් වෙන් කර තිබෙනවා. එම මුදලෙන් රුපියල් බිලියන 22.2ක් අයවැයෙන් කලින්ම වෙන් කර තිබෙන මුදල් වන අතර ඉතිරි රුපියල් බිලියන 50 අලුතෙන් වැය කෙරෙන මුදලක්. ඒ අනුව, මෙම වසරේ රාජ්‍ය වියදම් කලින් ඇස්තමේන්තු කලාට වඩා රුපියල් බිලියන 50කින් ඉහළ යනවා. එයින් අදහස් වන්නේ මෙම වසරේ ප්‍රාථමික අතිරික්තය කලින් ඇස්තමේන්තු කළාට වඩා එපමණකින් අඩු වන බවයි.

පසුගිය අයවැය ඇස්තමේන්තු සකස් කරද්දී රුපියල් බිලියන 1,202ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇස්තමේන්තු කර තිබුණා. එම මුදල දදේනියෙන් 3.8%ක්. මෙම අතිරික්තය රුපියල් බිලියන 50කින් අඩු වුවද අවම වශයෙන් දදේනියෙන් 3.6%ක ප්‍රාථමික අතිරික්තයක් ඉතිරි වෙනවා. මූල්‍ය අරමුදල සමඟ ඇති එකඟතා අනුව අවශ්‍ය වන්නේ දදේනියෙන් 2.3%කට නොඅඩු ප්‍රාථමික අතිරික්තයක් බැවින් මෙය ස්ථායීකරණ වැඩ පිළිවෙළ හා අදාළව කිසිදු ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. පරිපූරක ඇස්තමේන්තුවෙන් පසුවද තව දුරටත් දදේනියෙන් 1.3%ක පමණ වාසියක් ඉතිරි වෙනවා. එහි වටිනාකම තේරෙන්නේ ඉදිරි (2026) වසරේ රාජ්‍ය මූල්‍යනයේදීයි.

මෙම වසරේ තත්ත්වයට සාපේක්ෂව බලද්දී ඉදිරි වසර හා අදාළව දැකිය හැක්කේ වෙනස් තත්ත්වයක්. අයවැයෙන් සැලසුම් කර තිබුණේ දදේනියෙන් 2.5%ක ප්‍රාථමික අතිරික්තයක් පමණක් බැවින් දැනට සැලසුම් කර ඇති රුපියල් බිලියන 500ක වියදම අමතර වියදමක් ලෙස එකතු වුවහොත්, ප්‍රාථමික අතිරික්තය 2.3% මට්ටමෙන් පහතට වැටෙනවා. මෙම අමතර වියදම දදේනියෙන් 1.5%කට ආසන්න වියදමක්. ඒ අනුව, ඉදිරි වසරේ ප්‍රාථමික අතිරික්තය දදේනියෙන් 1.0%කට නොඅඩු මට්ටමක් දක්වා පහත වැටීමේ විභවයක් තිබෙනවා. ඒ කියන්නේ අවශ්‍ය මට්ටමට වඩා 1.3%කින් අඩු මට්ටමක්. කෙසේ වුවද, එවැනි තත්ත්වයක් යටතේ වුවත්, මේ වසරේ 1.3%ක අමතර ඉතිරිය නිසා, දිගුකාලීනව රටේ ණය තිරසාරත්ව ඉලක්කය පවත්වා ගැනීමට නොහැකි වන්නේ නැහැ. එකම ප්‍රශ්නය යම් හෙයකින් නැවතත් මෙවැනි කම්පනයක් ඇති වුවහොත් එයට ඔරොත්තු දීම අසීරු වීම පමණයි.

රුපියල් බිලියන 500ක අමතර මුදල සොයා ගන්නා ආකාරය හරියටම දැනගන්නට ලැබෙන්නේ රජය විසින් අදාළ පරිපූරක ඇස්තමේන්තුව පිළියෙළ කර ඉදිරිපත් කිරීමෙන් පසුවයි. දැනටම අයවැයෙන් වෙන් කර තිබෙන වියදම් නවත්වා එම අරමුදල් මේ වෙනුවෙන් යෙදවීම මගින් අවශ්‍ය වන රුපියල් බිලියන 500ක මුදලින් යම් ප්‍රමාණයක් ආවරණය කර ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස අලුත් මාර්ග හෝ ගොඩනැගිලි වෙනුවෙන් වෙන් කර ඇති මුදල් කැඩී ගිය මාර්ග හා ගොඩනැගිලි වෙනුවෙන් යොදවන්න පුළුවන්. ඒ නිසා, ඉදිරි වසරේ ප්‍රාථමික අයවැය හිඟය දදේනියෙන් 1.0% මට්ටම දක්වාම පහත වැටෙන එකක් නැහැ. එහෙත් මේ ක්‍රමයට රුපියල් බිලියන 500ක් වැනි විශාල මුදලක් සොයා ගන්න බැහැ. රාජ්‍ය සේවක වැටුප් වැනි බොහෝ වියදම් වෙනස් කළ නොහැකි වියදම්.

මෙවැනි ආපදාවකින් පසුව රාජ්‍ය ආදායම් යම් තරමකින් හෝ අඩු වනු මිස වැඩි වන්නේ නැහැ. ඒ නිසා, ඒ පැත්තෙන් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නෙත් නැහැ. මේ අනුව, ප්‍රායෝගිකව බොහෝ විට ඉදිරි වර්ෂයේ ප්‍රාථමික අයවැය හිඟය 2.3% මට්ටමට වඩා අඩු, දදේනියෙන් 1.5%-1.8% ආසන්න මට්ටමක් වෙන්න පුළුවන්. රජය විසින් පරිපූරක අයවැය සකස් කිරීමෙන් පසුව මේ ගැන හරියටම දැනගන්න පුළුවන්.

රජයේ ප්‍රාථමික වියදම් හා අදාළව ව්‍යවස්ථාපිත සීමාවක් තිබෙනවා. එම වියදම් දදේනියෙන් 13.0% ඉක්මවා යා නොහැකියි. එහෙත් මෙවැනි විශේෂ තත්ත්වයන් යටතේ සීමාව ඉක්මවා වියදම් කිරීම සඳහා ප්‍රතිපාදන තිබෙන නිසා එම නීතිය මේ අවස්ථාවේදී සීමාකාරී සාධකයක් වෙන්නේ නැහැ. මූල්‍ය අරමුදලේ 2.3% ඉලක්කය හා අදාළව කියන්නට තියෙන්නේත් මේ කතාවමයි. මගේ තක්සේරුව අනුව පවතින තත්ත්වය සුවිශේෂී තත්ත්වයක් බව මූල්‍ය අරමුදල විසින් හඳුනා ගන්නා බවට සැකයක් නැහැ.

ආපදා තත්ත්වයක් යටතේ කෙටිකාලීනව රාජ්‍ය වියදම් වැඩි කිරීම සහ ආකෘතිමය වෙනස්කම් හරහා දිගුකාලීනව රාජ්‍ය වියදම් වැඩි කිරීම කරුණු දෙකක්. පළමුවැන්නෙහි තිබෙන්නේ තාවකාලික බලපෑමක් පමණයි. ඒ බව මූල්‍ය අරමුදලේ නිලධාරීන්ට අමුතුවෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. එහෙත්, එක් වසරක වියදම් වුවද සැලකිය යුතු ලෙස වැඩි වුවහොත් එයින් ණය තිරසාරත්වය විශ්ලේෂණයට බලපෑමක් සිදු වෙනවා. ඒ නිසා, ස්ථායීකරණ වැඩපිළිවෙළේ පරාමිතීන්ද වෙනස් කරන්නට සිදු වෙනවා.

දැනට රජයේ ප්‍රවේශය බව පෙනෙන්නේ ආපදා තත්ත්වය හමුවේ ස්ථායීකරණ වැඩ සටහනෙහි පරාමිතීන් සීරුමාරු කරගැනීම සඳහා මූල්‍ය අරමුදලේ උදවු ලබා ගැනීමයි. ඒ සඳහා මාස කිහිපයක් ගත විය හැකි නමුත් එම සඳහා මූල්‍ය අරමුදලේ උදවු ලැබීම පිළිබඳව සැකයක් නැහැ. කෙසේ වුවද, මෙම ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය වනුයේ රටේ ආර්ථිකය ස්ථාවර වීම සඳහා ගත වන කාලය ආපදාවට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව ප්‍රමාද වීමයි.

මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය විසින් දෙසැම්බර් 15 දින රැස් වී ශ්‍රී ලංකාවේ මීළඟ ණය වාරිකය ලබා දීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබුණත්, මේ වන විට එම රැස්වීම අවලංගු කර තිබෙනවා. ඒ අතර ශ්‍රී ලංකා රජය විසින් කලින් අනුමත කරනු ලැබ වාරික වශයෙන් ලැබෙමින් තිබුණු ණය මුදලට අමතරව, ඩොලර් මිලියන 200ක හදිසි අවශ්‍යතා ණයක් සඳහා ඉල්ලුම් කර තිබෙනවා.

මෙම ඩොලර් මිලියන 200ක ණය මුදල අනුමත වුවහොත් එම මුදල සහ දෙසැම්බර් 15 දින ලැබෙන්නට නියමිතව තිබුණු ඩොලර් මිලියන 350ක මුදල පෙබරවාරි මාසයේදී පමණ එකවර ලැබෙන්නට ඉඩ තිබෙනවා. ඊට පෙර ජනවාරි මාසය තුළ ශ්‍රී ලංකා රජය විසින් ඉදිරි වසර තුළ රුපියල් බිලියන 500ක අමතර මුදලක් වියදම් කිරීම සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම අතුරු අයවැය වුවද සකස් කෙරෙනු ඇත්තේ මූල්‍ය අරමුදලේ එකඟතාවයන්ට යටත්වයි. වෙනත් විදිහකින් කිවුවොත්, ආපදාවෙන් පසුවද රජය විසින් කරමින් සිටින්නේ මූල්‍ය අරමුදලේ රාමුව තුළම සිටිමින් විසඳුම් සෙවීමයි.

මෙම ආපදා තත්ත්වය හමුවේ පසුගිය වසර කිහිපය තුළ යහපත් රාජ්‍යමූල්‍ය කළමනාකරණයක් පවත්වා ගැනීමේ වාසිය පැහැදිලිව පෙනෙනවා. ඒ නිසා, පවතින ආතති තත්ත්වය හමුවේ වුවද රජයට රුපියල් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වී නැහැ. එහෙත්, රුපියල් හා අදාළව තිබෙන එම වාසිදායක තත්ත්වය ඩොලර් හා අදාළව නැහැ. ඊට හේතුව තවමත් ප්‍රමාණවත් විදේශ සංචිත ගොඩ නැගී නොතිබීමයි. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා රජයට මූල්‍ය අරමුදලෙන් ලැබිය හැකි සුළු හෝ අමතර මුදලක් පිළිබඳව බලාපොරොත්තු දල්වාගෙන සිටීමට සිදු වී තිබෙනවා.

~ ඉකොනොමැට්ටා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට සහනයක් වූ මියන්මාරය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : සුළිකුණාටු තත්ත්වය හේතුවෙන්...

වසරේ හොඳම ඡායාරූපය Vegard Grott ගේ ‘Shadows’

නිශ්මං රණසිංහ දෙසැම්බර් 07, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සංගමය...

චමරිලා ලෝක සූරියන් මුණ ගැසී රටට සතුට රැඟෙන එන්න සූදානමින්….

නිශ්මං රණසිංහ දෙසැම්බර් 07, කොළඹ LNW: කාන්තා එක්දින ලෝක සූරියන්...