ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි ක්‍රමයක් වන සයිරන් නාද කිරීම වෙනුවට ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් හෝ සමාජ මාධ්‍ය යොදාගෙන සන්නිවේදනය කිරීමේ ක්‍රමයක් හෝ භාවිතා කිරීමේ හැකියාවක් පැවති අතර එසේ නොකිරීම ගැන ජනාධිපතිවරයා හෝ නිලධාරීන්ගෙන් ප්‍රශ්න නොකළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
ජලාශයට ජලය ගල එන වේගය අනුව ජලාශය පිරීමට ගතවන කාලය කලින් ගණනය කරගත හැකි බවත් ඒ අනුව වාන් දොරටු විවෘත කරන කාලය පැය කිහිපයකට කලින් නිලධාරීන්ට දැනගත හැකි බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
”සයිරන් එක නාද කිරීම ඉතා පැරණි තාක්ෂණයක්. මොකද මහා වැස්ස මැද සයිරන් එක විනාඩි 10කට කලින් ගැහුවත් හඬ ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඇහුනත් විනාඩි 10ක් ඇතුළත කරගන්න දෙයක් නැති වෙන්න පුළුවන්. ජලාශයට වතුර එන වේගය අනුව ජලාශය සම්පූර්ණයෙන් පිරෙන්න කොච්චර වෙලාවක් යයිද ඒ අනුව වාන් දොරටු අරින්නේ කොයි වේලාවේද කියන එක පැය කිහිපයකට කලින් දැන ගැනීමේ හැකියාව තිබෙනවා. කල් ඇතිව ගණනය කරගත්තේ නැත්තේ ඇයි කියල ජනාධිපතිතුමා ප්‍රශ්න කරනවා අපිවත් දැක්කේ නැහැ. දෙක ඇයි මේ සයිරන් ගහන්නේ මේක අවුරුදු 100කට වඩා පරණ තාක්ෂණයක්. අද බොහෝ දෙනෙකුට ප්‍රදේශයේ ජනතාවගෙන් 99%කටම තියෙනවා ජංගම දුරකථන.මේ ජංගම දුරකථනවලට කෙටි පණිවිඩයක්, SMS එකක් එවල මේක දැනුම් දුන්නා නම් නැත්නම් ලවුඩ්ස්ස්පිකර් බැඳලා නිවේදනය කළා නම් නැත්නම් යටවිය හැකි ප්‍රදේශ කලින් ගණනය කළ හැකියි. එතකොට ඒ ප්‍රදේශවල ඉන්න අයට වට්ස් ඇප් සමූහයන් වැනි සමාජ මාධ්‍ය භාවිතා කරලා මේ ගැන සනිවේදනය කරන්න කටයුතු කළේ නැත්තේ ඇයි?මෙන්න මේවා තමයි ජනාධිපතිතුමා විසින් ඇසිය යුතුව තිබුණු ප්‍රශ්න. අවාසනාවට එවැනි ප්‍රශ්න කිරීමක් දැක්කේ නැහැ.” යනුවෙන් ඔහු පැවසීය.
කෙසේවෙතත් පසුගියදා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ජනාධිපතිවරයා, කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.
එහිදී නිලධාරියෙක් පැවසුවේ ජලාශයට එන ජල ධාරිතාව සම්බන්ධයෙන් පැය 24ම අධීක්ෂණයෙන් පසුවන අතර විවාදයට තුඩු දී තිබෙන පසුගිය දිනවලදීත් ජලය නිදහස් කළේ පියවරෙන් පියවර බවයි.
වාන් දොරටු විවෘත කර ජලය නිදහස් කිරීම අවසන් මොහොත දක්වා නොකර සිටියේ නම් ඊට වඩා විශාල ජල ප්‍රමාණයක් පිටතට නිදහස් වන බවද එම නිලධාරියා පවසන ලදී.
පසුගිය 27 වැනිදා ඉතිහාසයේ වැඩිම ජල ප්‍රමාණයක් කොත්මලේ ජලාශයට ලැබී ඇති අතර එය වේල්ලට දරා ගැනීමට නොහැකි නිසා ජලය නිදහස් කර තිබෙන අතර නැවත 28 වැනිදා ජල මට්ටම අඩු වූ බවත් එදින හවස් කාලය වන විට නැවත පිටාර මට්ටමට පැමිණීම හේතුවෙන් යම් ප්‍රමාණයක් ජලය නිදහස් කළ බවත් එය ගංවතුරක් ඇති වීමට තරම් ප්‍රමාණයක් නොවූ බවත් අදාළ නිලධාරියා පැවසීය.
ඒ අනුව ජලය නිදහස් කිරීම එකවර නොව පියවරෙන් පියවර සිදුකළ බව ඔහු සඳහන් කළේය.
