නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW:
ලෝකයේම අවධානයට පාත්‍ර වී සිටින විභවි සූර්යවංශී නියෝජනය කරන ඉන්දීය කණ්ඩායම අවසාන පූර්ව තරගයේදී මුණ ගැසීම සඳහා පාර කපා ගැනීමට ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමට සිඳු වුණා.සූර්යවංශි ඉක්මවා යන තරමෙ පිතිකරු ලකුණු සහිත තවත් පිතිකරුවන් රොත්තක්ම ඉන්දීය කණ්ඩායම සතුව සිටින බැවින් මේ තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට වෙනම මහන්සියක් සිය අවධානයට ගත යුතු වෙනවා.
ඉන්දීය පිතිකරුවන්ගේ පාද චලනයන් බොහෝ විට කාර්යක්ෂමව සහ නිවැරදිව සිඳු කරන තත්ත්වය තුළ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්, එවැනි පිතිකරුවන්ට කඩුල්ලේ ස්ථාවර වීමට ඉඩ ලබා නොදිය යුතු වෙනවා.ඒ නිසාම ආරම්භක පන්දු යැවීම සම්බන්ධයෙන් එක් වේග පන්දු යවන්නෙක් සහ දඟ පන්දු යවන්නෙක් යෙදවීම යම් ආකාරයකට පලදායක විය හැකි බව පෙනෙන්නට තිබෙනවා.ඔවුන් මේ වන විට කණ්ඩායම කුමක් වුව ඉණිම දෙකකදීම ලකුණු 400 ඉක්මවා ලබා තිබීම සුළුවෙන් ගත නොහැකියි.එසේම එය නොනැවතිය හැකි ප්‍රහාරයක් ලෙස විශ්වාසයට ගෙන අඩු ලකුණු ගණනකට ඉන්දිය කණ්ඩායම නැවතිය හැකි බව ද විශ්වාස කරමින් කටයුතු කළ යුතුයි.
විශේෂයෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් මේ තරගාවලියේ දී මීට වඩා කල්පනාකාරී සහ ආක්‍රමණශීලි විය යුතු බව හැඟුණේ ඔවුන් බංගලාදේශ පන්දු යවන්නන් ඉදිරියේ පසු බැ ආකාරය දුටු විටයි.යොවුන් ක්‍රිකට් ක්‍රීඩාව ගත් විට අපෙන් පාදම සකසා ගත් රටක් වුව,අද බංගලාදේශය යම් ආකාරයකට යොවුන් ක්‍රිකට් ක්‍රීඩාව ඉන්දීය යොවුන් ක්‍රිකට් ක්‍රීඩාවටද අභියෝග කරන මට්ටමකට රැඟෙන විත් තිබෙනවා.මීට පිළිතුරු සෙවීම පිටිය තුළ සිඳුවිය යුතු එකක් නිසා මෑත කාලයේ අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ බංගලාදේශ සංචාරය වැනි කරුණු හැඳින්විය හැක්කේ දූරදර්ශි ක්‍රියාවක් හැටියටය.
ශ්‍රී ලංකාව හෙට (19) අවසාන පූර්ව තරගයට පිවිසෙන්නට පෙර බංගලාදේශයට මුහුණ දුන් ආකාරය ගැන කණ්ඩායම් බලධාරින් කල්පනාවට ගත යුතුයි.පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශය ලකුණු 225 කට සීමා කිරිම අගය කළ යුතුයි.එහෙත් ඇති කර තිබුණු පිඩනය මත ඊටත් වඩා පහළින් මෙම ලකුණු ප්‍රමාණය තබා ගැනීමට හැකියාවක් තිබුණා ද යන්නත් සාකච්ඡාවට ගත යුතුයි.පන්දු යවන්නට ක්‍රීඩකයින් සිටිය පමණින් සියල්ලන්ම පන්දු යැවිය යුතුද යන්න නායකයා විසින් කල්පනා කර බැලිය යුතුව තිබුණා.
විශේෂයෙන් කවීජ ගමගේ සිය පන්දු වාර 10 ලකුණු 38 ට නිමා කරමින් කඩුලු 4 ක් දවා ගැනීම මෙන්ම විරාන් චමුදිත පන්දු ඕවර් 10 ලකුණු 19 ට සීමා කර කඩුලු 2 ක් දවා ගැනීම ගත් විට බංගලාදේශ කණ්ඩායම පන්දු ඕවර් 20 ක් තුළ ලබාගෙන ඇත්තේ කඩුලු 6 ක් ද අහිමි කරගෙන ලකුණු 57 ක් පමණයි.පන්දු ඕවර් 30 දී ඔවුන් ලකුණු 168 ක් රැස් කරගෙන තිබෙන්නේ කඩුලු 4 ක් සඳහායි.
බංගලාදේශය ආරම්භක කඩුල්ල වෙනුවෙන් තබන සබඳතාවය මෙහිදී අතිශයින් වැදගත් වෙනවා.එහිදී ලකුණු 49 ක් ලබා ගන්නා ෂවාඩ් අබ්රාර් සහ ලකුණු 36 ක් ලබා ගන්නා රිෆාට් බෙග් අතර පළමු කඩුල්ලට එකතු වන සබඳතාවය ලකුණු 84 ක්.එකම අර්ධ ශතකයක් හෝ නැති බංගලාදේශ ඉණිමේ අබ්රාර් ගේ ලකුණු 49 වැඩිම ලකුණු ගණන වන අතර ඔවුන් සතුව තිබුණේ ලකුණු 20 ඉක්මවා ගිය එවැනි ඉණිම පහක දායකත්වය පමණයි.අවසාන මොහොතේ පැමිණ පන්දු 6 දී ලකුණු 12 ක් ලබා ගන්නට හයේ පහර දෙකක් එල්ල කළ තරගයේ වීරයා වෙමින් එම දායකත්වයට අමතරව ඉක්බාල් හොසේන් ඉමෝන් ලකුණු 37 ට කඩුලු 3 ක් දවා ගැනීමත් කැපී පෙණුනා.ඉමෝන්ගේ එම ලකුණු 12 ද පැහැදිළි කළේ වැඩිවන හැම ලකුණකින්ම ප්‍රතිවාදියා කෙරෙහි ඇති කළ හැකි පීඩනයේ තරමයි.
පන්දුවට පහර දිම පහසු නැති බව බංගලාදේශ ඉණිම නිමාවේ දි සාර්ථක පන්දු යැවීමක නිරත වූ කවීජ ගමගේ මාධ්‍යයට පවසා සිටියා.ඒ නිසා ශ්‍රී ලංකාව ලකුණු 225 ක් හඹා යන්නේ පහරදීමට පහසු පිටියක නොවන බව දැනගෙන තරගය පරාජය වීමට වඩා මෙහිදී වැදගත් වන්නේ එම අපහසුවට පිළියම් කල්පනා නොකර තිබීම ගැනයි.තරගාවලිය පුරාම හොඳ පිතිකරු ලක්ෂණ පැහැදිළි කළ ආරම්භක පිතිකරු ඩිමන්ත මහවිතාන අනවශ්‍යය තරමට පරිස්සම් වන්නට ගොස් දැඩි පීඩනයකට ගොදුරුව පන්දු 49 ට මුහුණ දී ලකුණු 13 ට දැවී ගියා.
බංගලාදේශ පන්දු යවන්නන් වයිඩ් පන්දු 17 ක් සමඟ අතිරේක ලකුණු 24 ක් ලබා දුන්නේ තවත් පන්දු අමතර පන්දු ඕවර් 3 ක් පමණ ලකුණු ගණන හඹා යාම සඳහා ලබා දෙමින් වුවත්,ශ්‍රී ලංකා පිතිකරුවන් වැඩි නිලකුණු පන්දු ගණනකින් එම අවස්ථාව වසා ගනු ලැබුවා.ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයේදි මෙන්ම මෙම තරගයේදී ද චාමික හීනටිගල යම් සාධනීය උත්සාහයක් ගනිමින් ලකුණු 41 ක් රැස් කරනු ලැබුවා.විශේෂයෙන් කඩුලු රකින ක්‍රීඩක ආදම් හිල්මි තරගයේ අවසාන භාගයේ දී පන්දු 38 න් ලකුණු 39 ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරා ඇඳගෙන යන්නට උත්සාහ කළ ද,ඔහුට විශ්වසනීය සහයකයෙකු සිටියේ නැහැ.
මේ තරගය ජය ගැනීමට නිවැරදි සැළසුමක් නොතිබීම නිසා පරාජයවීමක් ලෙස හැඳින්වීම බංගලාදේශ්‍ය ලකුණු 39 න් ජය ගත්තා යැයි කීමට වඩා වැදගත් වෙනවා.විශේෂයෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සිටම මෑත කාලයේ දකින්නට ලැබෙන තත්ත්වය තමයි වේගයෙන් ලකුණු අවශ්‍යය මොහොතේ දී නිකරුණේ වැය කරන නිලකුණු පන්දු ප්‍රමාණය අධික වීම.මේ තත්ත්වය ඉන්දීය කණ්ඩායමට එරෙහි තරගයේදී වඩාත් අවධානයෙන් සිතිය යුතු වෙනවා.
තරගයේ ලකුණු සටහනට පිවිසෙන්න. https://bit.ly/48IXBn1
