නවීන තාක්‍ෂණයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග අන්තර්ජාලය හරහා බරපතල අපරාධ සඳහා විශේෂයෙන් දරුවන්ට හානි කරන ක්‍රියාවන්ට නව මංපෙත් නිර්මාණය වී ඇත. මාර්ගගත වේදිකා මගින් එල්ල වන අද්විතීය අන්තරායන් හඳුනා ගනිමින් නීතිය විසින් වැරදිකරුවන්ට දඬුවම් කිරීමට, අඛණ්ඩ අපයෝජන වැළැක්වීමට සහ අන්තර්ජාල සේවා සපයන්නන්ගේ සහ අතරමැදියන්ගේ වගකීම් පැහැදිලිව නිර්වචනය කිරීමට උත්සාහ කරන පුළුල් නීතිමය රාමුවක් ස්ථාපිත කර ඇත. මෙම පද්ධතියේ මූලික අංග ලෙස 21, 24 සහ 27 වැනි වගන්ති හදුන්වා දිය හැකිය.
මාර්ගගත ළමා අපයෝජන අපරාධකරණය
21 වන වගන්තිය මෙම නීතියේ මූලික අපරාධ වගන්තිය වේ. එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ දැනටමත් හඳුනාගෙන ඇති පරිදි දරුවන්ට එරෙහිව වැරදි සිදු කිරීම,සහාය වීම හෝ පහසුකම් සැලසීම සදහා මාර්ගගත ගිණුම් හෝ ඩිජිටල් වේදිකා භාවිතා කිරීම අපරාධකරණය කරයි. එහි වැදගත්ම දෙය වන්නේ වරදකරු ශ්‍රී ලංකාව තුළ සිටීද හෝ විදේශයක සිටීද යන්න නොසලකා නීතිය අදාළ වේ. වැදගත් වන්නේ වරද සිදු කරනු ලබන මාධ්‍යය ලෙස අන්තර්ජාලය භාවිතා කිරීමයි.
මෙම විධිවිධානය යටතේ වගකීම පුළුල් ය. අපයෝජනය සෘජුවම සිදු කරන පුද්ගලයාගෙන් ඔබ්බට ගොස් මාර්ගගත ක්‍රම හරහා එවැනි හැසිරීම් වලට ආධාර කරන, දිරිමත් කරන, පහසුකම් සැලසූ හෝ සහාය දක්වන ඕනෑම කෙනෙකුට එය එකසේ බල පැවැත්වේ. මාර්ගගත අපයෝජනය බොහෝ විට හුදකලා ක්‍රියාකාරීන්ට වඩා පුද්ගල ජාල ඇතුළත් වන බවට ඇති අවබෝධය මෙයින් පිළිබිඹු වේ.
තවද මෙම වගන්තිය විශේෂයෙන් ළමයින් සම්බන්ධ අපයෝජනකාරී හෝ අසභ්‍ය ඡායාරූප, ශබ්ද හෝ දෘශ්‍ය දර්ශන ප්‍රකාශයට පත් කිරීම දැඩි ලෙස අපරාධීකරණය කරයි. එවැනි අන්තර්ගතයන් අන්තර්ජාලයට මුදා හැරීම,බෙදාහැරීම,යොමු කිරීම හෝ වෙනත් ආකාරයකින් අන්තර්ජාලය හරහා ලබා දීම බරපතල අපරාධ වරදක් ලෙස සලකනු ලැබේ.
එමෙන්ම මෙවැනි අන්තර්ගතයක් එක් වරක් බෙදාහැරීමම පවා දරුවාට නැවත නැවත හානි සිදු කරන ක්‍රියාවක් ලෙස සලකා දඬුවම් ලැබේ. අධිකරණයට සිරදඬුවම්, දඩ හෝ එම දෙවර්ගයම ඇතුළු දැඩි දඬුවම් නියම කිරීමට නියෝග කළ හැකි අතර එවැනි අපරාධ නිසා ඇති වන කල් පවතින චිත්තවේගීය හා මානසික හානිය පිළිගනිමින් බලපෑමට ලක් වූ දරුවන්ට වන්දි ගෙවීමට නියෝග කිරීමට ද බලය ඇත.
21 වන වගන්තිය තුළ අන්තර්ගතය ඉවත් කිරීම පිළිබඳ සෘජු සඳහනක් නොතිබුණද නීතියේ මූලික අදහස වන්නේ නීතිවිරෝධී අන්තර්ජාල සන්නිවේදනය සිදු වන තාක් අඛණ්ඩව හානි සිදු කරයි යන්නයි. එබැවින් අධිකරණය විසින් එවැනි අන්තර්ගතයන් ඉවත් කිරීමට හෝ එය තවදුරටත් බෙදාහැරීම නැවැත්වීමට නියෝග කළ හැකිය.
හානිකර අන්තර්ගතය නැවැත්වීම සඳහා කඩිනම් අධිකරණ මැදිහත්වීම
24 වන වගන්තිය මඟින් හානිකර අන්තර්ජාල අන්තර්ගතයන් සංසරණය වන අවස්ථාවන්හිදී ඉක්මනින් ක්‍රියා කිරීම සඳහා නිර්මාණය කර ඇති වැළැක්වීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දෙයි. එනම් තහනම් මාර්ගගත ප්‍රකාශයකින් බලපෑමට ලක් වූ ඕනෑම පුද්ගලයෙකුට දිවුරුම් ප්‍රකාශයක් සහිත පෙත්සමක් මඟින් මහේස්ත්‍රාත් අධිකරණයට අයදුම් කළ හැකිය. අපරාධ ක්‍රියාදාමයන් මෙන් නොව, මෙම ක්‍රියාවලිය වරද හෝ දඬුවම තීරණය කිරීමට වඩා හානිය වහාම නැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරයි.
අයදුම්පත සමාලෝචනය කිරීමෙන් පසුව මහේස්ත්‍රාත් විසින් එම අන්තර්ගතය ප්‍රචාරය කළ පුද්ගලයාට හෝ එයට අදාළ අන්තර්ජාල සේවා සැපයුම්කරුට හෝ අතරමැදියාට අදාළව ප්‍රචාරය නවත්වන ලෙස කොන්දේසිගත නියෝගයක් නිකුත් කළ හැකිය. මෙම නියෝගය වහාම ක්‍රියාත්මක වන අතර නියෝගය ලැබූ පුද්ගලයාට නියමිත කාලය තුළ අධිකරණයට පැමිණ එය අවසාන නියෝගයක් නොකළ යුතු බව පෙන්විය හැකිය.
ඩිජිටල් සන්නිවේදනයේ යථාර්ථයන් හඳුනා ගනිමින් මෙම නියෝග ඊ-තැපෑල, සමාජ මාධ්‍ය ගිණුම් හරහා හෝ සෘජුවම අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ට ලබාදීමට ඉඩ ලබා දෙයි. නියෝගයට අවනත නොවී අධිකරණයට නොපැමිණි විට නියෝගය ස්ථිර වන අතර එය උල්ලංඝනය කිරීම වෙනම අපරාධයක් වේ.
අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම
27 වන වගන්තිය අන්තර්ජාල සේවා සපයන්නන් සහ අතරමැදියන් සඳහා වූ වගකීම පිළිබඳ වැදගත් කරුණක් ආවරණය කරයි. වේදිකා සහ ජාල සපයන්නන් බොහෝ විට පරිශීලකයින් විසින් නිර්මාණය කරන අන්තර්ගතයන් සඳහා නිරපේක්ෂ වේදිකාවක් ලෙස ක්‍රියා කරන කරන බවත් තුන්වන පාර්ශ්වයන් විසින් පළ කරන නීතිවිරෝධී අන්තර්ගත සඳහා නිරායාසයෙන්ම වගකිව යුතු නොවන බවත් නීතිය පිළිගනියි.
ඒ අනුව අන්තර්ජාල ප්‍රවේශය, පණිවිඩ වේදිකා, විද්‍යුත් තැපෑල, විදුලි සංදේශ හෝ පරිගණක සම්පත් වැනි සේවා සපයන පුද්ගලයන් සාමාන්‍යයෙන් තෙවන පාර්ශවයන් විසින් සන්නිවේදනය කරන ලද නීතිවිරෝධී අන්තර්ගත සඳහා වගකීමෙන් නිදහස් වේ. කෙසේ වෙතත් මෙම ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ නැත.
සැපයුම්කරුවෙකු වැරදි ක්‍රියාවකට ක්‍රියාකාරීව සහභාගී වන්නේ නම් එනම් සන්නිවේදනය ආරම්භ කිරීමෙන්, අන්තර්ගතය තෝරා ගැනීමෙන්, අන්තර්ගතය වෙනස් කිරීමෙන් හෝ කොමිසම විසින් නිකුත් කරන ලද පනතට අදාළ රෙගුලාසිවලට හෝ ආචාරධර්ම සංග්‍රහයට අනුකූල වීමට අපොහොසත් වීමෙන් මෙම ආරක්ෂාව අහිමි වේ. එවැනි අවස්ථාවන්හිදී සේවා සපයන්නන් නීත්‍යානුකූලව වගකිව යුතු විය හැකිය.
තවද නීතියට අනුකූලව හැක් කිරීම,තෙවන පාර්ශවීය මැදිහත්වීම් හෝ ගිණුම් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධ තත්වයන් ද සැලකිල්ලට ගනියි. ගිණුම් හිමියාගේ හෝ සැපයුම්කරුගේ අනුදැනුමකින් හෝ මැදිහත්වීමකින් තොරව නීතිවිරෝධී අන්තර්ගතයන් උඩුගත කරන විට හෝ නීත්‍යානුකූලව නිශ්චිත කාල රාමුවක් තුළ එවැනි අන්තර්ගතයන් ඉවත් කර ඇත්නම් ගිණුම් හිමිකරු හෝ සේවා සැපයුම්කරු වගකිව යුතු නොවේ. එහෙත් ආචාරධර්ම සංග්‍රහයට අනුගත නොවීමෙන් වෙනත් පුද්ගලයෙකුට අසාධාරණ හානියක් සිදුකිරීම වන්දි හිමිකම් ඇතුළුව සිවිල් වගකීම්වලට සැපයුම්කරුවන් නිරාවරණය කළ හැකිය.
සමානුපාතික නීතිමය විසඳුමක්
21, 24 සහ 27 වැනි වගන්තීන් එකට කියවූ විට ළමයින්ට එරෙහි අන්තර්ජාල අපරාධ වලට සමානුපාතික හා ප්‍රයෝජනවත් නීතිමය විසඳුමක් නිර්මාණය වී ඇති බව පැහැදිලි වේ. අපරාධකරුවන්ට දැඩි දඬුවම් නියම කරන අතර හානිකර අන්තර්ගතය ඉක්මනින් ඉවත් කිරීමට අධිකරණයට බලය ලබා දෙයි. ඒ සමඟම වගකිවයුතු සේවා සපයන්නන් අසාධාරණ දොස් පැවරීමෙන් ආරක්ෂා කරනු ලබන අතර හානිකර හැසිරීම් වලට ක්‍රියාකාරීව දායක වන හෝ නොසලකා හරින අය වගකීමට යටත් කරයි.
සාරාංශයක් ලෙස නීතියේ අරමුණ වන්නේ වැරදිකරුවන්ට දඬුවම් ලබා දීම, වින්දිතයින් ආරක්ෂා කිරීම, හානිකර අන්තර්ගතයන් ප්‍රමාදයකින් තොරව නැවැත්වීම සහ ඩිජිටල් වේදිකා අන්තර්ජාලය හරහා ළමයින්ට අඛණ්ඩව සිදුවන අපයෝජන වැළැක්වීම සඳහා වගකීමෙන් යුතුව ක්‍රියාත්මක වීමයි.
*ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්සගේ “Legal Framework for Combating Online Child Abuse: Balancing Punishment, Prevention, and Provider Responsibility” නම් ලිපියේ සිංහල අනුවාදය.

