නිශ්මං රණසිංහ දෙසැම්බර් 24, කොළඹ LNW:
දෙවන කාන්තා විස්සයි විස්ස තරගය ද ශ්‍රී ලංකාව කඩුලු 7 න් පරාජය වී අවසන්ය.පළමු තරගයේදී ජෙමිමාටත් වඩා රෞද්‍ර වූ ෂෆාලි ෂර්මා පන්දු 34 න් නොදැවී ලකුණු 69 ක් රැස් කරේ ශ්‍රී ලංකාව පන්දු ඕවර් 20 ම කැප කර කඩුලු 9 ට ලැබූ ලකුණු 128 පන්දු ඕවර් 11.5 දී ඉක්මවා යමින්ය.එක් හයේ පහරක් පමණක් එල්ල කළ ද පිටියේ හතර අත සිප ගත් හතරේ පහර 11 ක් ද එම ඉණිමට ඇතුළත්ව තිබිණ.
තරගයේ ආරම්භයේ දී කාසියේ වාසිය අහිමි වූ මොහොතේම චමරි අතපත්තු දැක් වූ ප්‍රතිචාරය ඇතුළෙන් කිය වුණේ තරගයේ තමන්ට වාසිදායක බලාපොරොත්තුවක් තිබී කාසියේ වාසිය අහිමි වීමෙන් එය දියව ගිය බවක් වැනි හැඟීමකි.ඒ නිසා ඒ තැවීම පළමුව පන්දුවට පහර දෙන්න වීමෙන් පසුව කණ්ඩායමේ සියල්ල තුළම තිබුණා ද යන්න දන්නේ නැත.

කෙසේ වුව ද,විශ්මි ගුණරත්න ඉක්මණින් දැවි ගිය පසු නායිකා චමරි අතපත්තු වේගවත් ලකුණු 31 ක් රැස් කරමින් ඉන්දියාව යම් පිඩනයකට ලක් කරන්නට සමත් වූවාය.චමරිගේ නික්ම යාමෙන් පසු ශ්‍රී ලංකා ඉණිමේ හොඳම සබඳතාවය දකින්නට ලැබිණ.ඒ පන්දු 32 න් ලකුණු 33 ක් ලැබූ හර්ෂිතා සමරවික්‍රම සහ ලකුණු 22 ක් ලැබූ හසිනි පෙරේරා අතර ය.එය ලකුණු 44 ක් විය.

සිව්වන කඩුල්ල ලෙස හර්ෂිතාගේ දැවි යාම පෙර තරගයේදි නිලක්ෂිගේ දැවී යාම වැනිම තෙවන විනිසුරු තීරණයක්ය.ලෝකයක් බලා සිටිය ද ඉන්දීය විනිසුරුවන්ට සිය රටේ ජයග්‍රහණය වෙනුවෙන් මැදිහත් වෙන්නට ලැබෙන ඉඩ ලැජ්ජාවකින් තොරව භාවිතයට ගැනීමට ඉදිරිපත් වන්නේය.යම් සැකයක් වේනම් එහි වාසිය පිතිකරුවාට යන න්‍යාය වෙනුවට ඔවුන් විනිසුරු වෘත්තියේදී ප්‍රගුණ කර ඇත්තේ සැම විටම සැකයේ වාසිය ඉන්දියාවට ලෙස ය.
එක තැනකින් පසුව පන්දු ඕවර් ප්‍රමාණය ලොකු ලකුණු පූවරුවකට යාම සඳහා හිඟ වන්නේය.එතැන් සිට කලබලය මතු වන්නේය.ආරම්භයේ සිටම වැඩි නිලකුණු පන්දු ප්‍රමාණයක් ඉකිරි කිරීම සහ කෙටි ලකුණු සඳහා පන්දු රකින්නන් අතර පරතරය සොයා ගැනීමේ දුර්වලතාවය මෙන්ම එල්ල කරන පහරවල්වල ජවසම්පන්නකමේ අඩුව ද නිසා අන්තිමට ඉතුරු වෙන කලබලය විසින් දුවද්දි දැවි යාම් පොකුරක් ශ්‍රී ලංකාවට ඉතුරු කරන්නේය.සමහර දුවද්දි දැවි යාම් ලකුණු ලබා ගැනීමට ගොස් නොවන කඩුලු පූජා කිරිම්ය.මේ තරගයේදී කාව්‍යා කාවින්දි දැවී ගියේ සිය සීමාවට පැමිණීමට ඇයට කිසිඳු උනන්දුවක් හෝ උවමනාවක් නොතිබුණු ආකාරයෙන්ය.

ඉන්දියාව පළමු තරගයේදී අතිශයින් දුර්වල ක්‍රීඩා රටාවක සිටි ශ්‍රී චරිනි මේ තරගය වන විට ශ්‍රී ලංකාවට එරෙහිව වන ප්‍රබලම පන්දු යැවීමේ පීඩනයක් බවට පෙරළා ගෙන සිටියේය.ශ්‍රී ලංකාවේ එවැනි දියුණුවක් හෝ වෙනසක් දකින්නට නොතිබිණ.
පන්දුවට පහර දීමේදි යම් ආකාරයකට නිලකුණු පන්දු අඩු කර පහර එල්ල කිරීමට කව්ශිනි නෘත්යංගානා මේ තරග දෙකේ දී සමත්කම් දක්වන බවක් පෙණින.ලකුණු ලැබීමේ වේගයද ඉහළය.ඒ නිසා ඇය කවීශාට පසුව පන්දුවට පහර දීමට භාවිතා කිරීම වැදගත් විය හැකිය.රශ්මිකා සෙව්වන්දි ද විශාල පහරවල් ඇති මද වේග පන්දු යවන්නියකි.ඇය ද යම් ආකාරයකට පරික්ෂා කිරීමට කල්පනා කිරීම වැදගත්ය.ශෂිනි ගිම්හානි ද වේගයෙන් පන්දුවට පහර දීමට හැකියාව තිබෙන ක්‍රීඩිකාවක්ය.අදාළ මොහොත මත සිට ඇය එල්ල කළ දිගු පහර දැවී යාමකින් කෙළවර වුව ද එම දැවී ගිය පහරේද ශෂිනි සතු වේගයෙන් පහර දීමේ හැකියාව දකින්නට තිබිණ.

ඉන්දියාව ලකුණු 128 ක් කෙසේවත් පීඩනයක් ලෙස නොගන්නේය.එය පිඩනයක් බවට පෙරළන්නට ශ්‍රී ලංකාව සතු හැකියාව සහ සැළසුම කවරේද යන්න පැහැදිළි නොවීය.ස්ම්රිතී මන්දනාට හෝ ජෙමීමාට වඩා බරපතල තදින් පහර දෙන්නියක වන ෂෙෆාලි ෂර්මා ගේ දවස වීම ශ්‍රී ලංකාවට තවත් ගැටළුවක් විය.ඇය මුල සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට පන්දු යැවීම තිත්ත කරන්නට වූවාය.
කෙසේ වුව ආසියානු කුසලාන ජයග්රහණයෙන් පසුව තරමක් පාලනයෙන් ගිලිහුණ බවක් කන්ඩායම තුළ ඇද්ද යන සැකය මතු වෙමින් ඇත.රොමේෂ් රත්නායක හුරතල් වැඩි ද මන්දා කියා සිතෙන තරමට යම් දියාරු තත්ත්වයක් පෙනේ.ඒ සදහා වන වෙනස්කමක් අපේක්ෂාවෙන් නව පුහුණුකරුවෙකු ද කැඳවා ඇති බැවින් පුද්ගලයෙකු වෙනස් කිරීම නොවන බරපතල වෙනස්කමක් අප කණ්ඩායමෙන් දකින්නේ කෙසේද යන්න ගැඹුරින් සිතා බැලිය යුතුය.
කණ්ඩායම වෙනස් විය යුතුව ඇත්තේ කෙසේද යන ගැටළුව විසඳෙන්නේ කොතැන සිට ද? නව පුහුණුකරුවෙකු පැමිණිය ද එය අලුතෙන් කල්පනා කළ යුතුව ඇත.පළමුව පන්දුවට පහර දීමේදී කඩුලු අතර දිවීමේ වේගය මෙන්ම වගකීම් සහගතභාවය ගැන ද සිතිය යුතුව ඇත.කෙටි ලකුණු නොමැතිවීමට බලපාන කාරණයේ ප්‍රධාන තැනක් ඉතා පහසු පන්දුවලට ද පන්දු රකින්නාගේ අතටම පන්දුව යොමු කිරීමේ ඇත.මේ පදනම් කාරණාවන් කාලයක් ක්‍රිකට් ක්‍රීඩා කර ඇති කණ්ඩායමක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ වන්නේනම් දින දෙකකදි තුනකදි නිමා කර ගන්නට හැකි ගැටළුය.
ශෂිනි ගිම්හානි සිටින්නේ පන්දුව පතිත කිරිම සම්බන්ධයෙන් පිතිකරුවාට පීඩනයක් ඇති කිරීමේ ගැටළුව නිරාකරනය කර ගැනීමට නොහැකිවය.ඊට විසඳුම කුමක්ද සොයා දීමට හෝ සොයා ගැනීමට දින දෙකක් මදිනම් එම තත්ත්වය ඉන්දියාවෙන් අසා දැන ගැනීම හෝ කළ යුතුය.දින දෙකක් තුළ අතිශය දුර්වල පන්දු රැකීමක නියැලි,පන්දු රැකීමේ පදනම් කාරණාවන් හෝ දකින්නට නොලද ශ්‍රී චරිනි ඉන්දියාව දෙවන තරගය වෙත ගෙනවිත් තිබූ ආකාරය මේ වෙනස්කම් කළ හැකි බවට සාක්ෂියකි.
කෙසේ වුව ද දැන් තරගාවලිය 2-0 ක් ලෙස ඉන්දියාව ඉදිරියෙන් සටින තරගාවලියකි.ඉන්දිය ක්‍රීඩිකාවන් වෘත්තිමය මට්ටමෙන් සිතන එක අවස්තාවක් හෝ ප්‍රතිවාදීන්ට නොදෙන්නට අදිටන් කර ගන්නා සංයුතියක් බව පැහැදිළිය.මීට ටික කාලයකට පෙර තමන්ගෙන් ආසියානු කුසලානය උඳුරා ගන්නට සමත් වූ ක්‍රීඩිකාවන්ට ඔවුන් මේ වන විට සමච්චලයට හිනා විය හැකි මට්ටමට වැඩී ඇත.අප සතුව ජයගත් කුසලානයේ ලෝහමය වස්තුව තිබෙන නමුත් එය අයිති කර ගැනීමට හැකියාව තිබූ දක්ෂතාවය ගිලිහි ගොස් ඇති හෝ වර්ධනය වී නැති බවක් පෙනෙන්නට ඇත.
තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකිය. https://bit.ly/4pe0z8b


