ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW :

අද (05) ජාතික පාරිසරික පනත සංශෝධනය පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී, වසර 25කට පසු ප්‍රථම වතාවට ජාතික පාරිසරික පනත සංශෝධනය කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ , මෙම සංශෝධන සඳහා පසුගිය 29 වැනිදා රැස්වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර, ඒ අනුව ගැසට් කිරීමෙන් අනතුරුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

ජාතික පාරිසරික පනත ක්‍රියාත්මක වන්නේ පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණෙන් බවත්, තාක්ෂණයේ අලුත්කම්, පරිසර දූෂණයේ පවතින තත්ත්වයන් සහ ජන ජීවිතයේ සිදුවී ඇති වෙනස්වීම් සළකා බලමින් පනතට අවශ්‍ය නව කරුණු එකතු කරමින් මෙම සංශෝධන සිදු කර ඇති බවත් ඔහු පැවසීය.

මීට පෙර පනතට ඇතුළත් නොවූ පරිසර දූෂණය පාලනය කිරීම සඳහා අනිවාර්යයෙන්ම එකතු විය යුතු ක්ෂේත්‍ර රැසක් මෙවර සංශෝධන මඟින් පනතට එක් කර ඇති බවත්, විශේෂයෙන්ම රසායනික දූෂණය පාලනය කිරීම හා උපද්‍රවකාරී අපද්‍රව්‍ය බැහැර කිරීම පාලනය කිරීම සඳහා නව ප්‍රතිපාදන හඳුන්වා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊට අමතරව භූගත ජල දූෂණය සහ ශබ්ද දූෂණය වැළැක්වීම සඳහා අවශ්‍ය නව ප්‍රතිපාදන රැසක්ද පනතට එක් කර ඇති බවත්, පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගැනීමේදී මෙතෙක් පවතින ක්‍රමවේදයන්ට අමතරව උපායමාර්ගික පාරිසරික ඇගයීම් ක්‍රමවේදය හඳුන්වාදීමට අදාළ සංශෝධනද ඇතුළත් කර ඇති බවත් පැවසීය. ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන පරිදි, පරිසර දූෂණයට හේතු වන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන නිෂ්පාදකයා ඒ සඳහා වගකිය යුතුය යන සංකල්පයද මෙම පනතට ඇතුළත් කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

තෙත්බිම් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කළමනාකරණ ප්‍රතිපාදන, පාරිසරික ආරක්ෂණ ප්‍රදේශ කළමනාකරණය පුළුල් කිරීමට අදාළ නව සංශෝධන, ජල දූෂණය වැළැක්වීම සඳහා ප්‍රතිපාදන සහ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පුළුල් බලතලද මෙම සංශෝධන මඟින් පනතට එක් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙම පනත් සංශෝධනය සඳහා විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයන් රැසක් මැදිහත් වූ බවත්, ඒ ඒ ක්ෂේත්‍රවලට මෙය බලපාන බැවින් ඔවුන් දැනුවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ද සිදු කර ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...