මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

Date:

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව, Hayleys Fentons Limited විසින් මන්නාරම ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ සිදු කෙරිණි.

මන්නාරම ස්වභාවික සුළං බලය උපයෝගී කරගත් අති නවීන තාක්ෂණයෙන් යුතු මෙම සුළං බලාගාරය සුළං ටර්බයින 10කින් සමන්විත වන අතර වාර්ෂිකව බලශක්ති නිෂ්පාදනය විදුලි ඒකක කිලෝවොට් පැය 207,000,000කි.

මෙහි විදුලි ඒකකයක් ඇමරිකානු ඩොලර් ශත 0.0465කට, එනම් ශ්‍රී ලංකා රුපියල් 14.37කට ලබා දීම විශේෂත්වයක් වන අතර ව්‍යාපෘතිය 2027 මාර්තු මාසයේදී අවසන් කිරීමට නියමිතය.

මෙහිදී අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ අද ඉදිකිරීම් ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය රට පුනර්ජනනීය බලශක්තියෙන් බල ගැන්වෙන ව්‍යාපෘතියක් මෙන්ම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිලාභ සැලසෙන ව්‍යාපෘතියක් බවයි.

ජනතාව විසින් පත් කළ රජයක් ලෙස ජනතා අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමුඛතාව ලබාදී ඇති බවත්, මෙම ව්‍යාපෘතිය සැබෑ ලෙසම රටේ සංවර්ධනයට සහ ජනතාවට අවශ්‍ය සේවාව ලබා දෙනු ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා මන්නාරම දියුණු කිරීමට අවශ්‍ය සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමේදී ප්‍රදේශයේ ආගමික නායකයන්, දේශපාලන නියෝජිතයන් ඇතුළු සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා,

“මන්නාරම ප්‍රදේශය රටේ සුළං විදුලි විභවතාව ඉහළින්ම තිබෙන ප්‍රදේශයක්. එම ඉහළ විභවතාව රටේ සංවර්ධනය වෙනුවෙන් ප්‍රයෝජනයට ගැනීමට රජයට තිබෙන තදබල අවශ්‍යතාව ප්‍රකාශයට පත් වන දිනයක් ලෙස අද දිනය හඳුන්වා දිය හැකියි. ඒ වගේම ශ්‍රී ලංකාවේ සුළං විදුලි බල ජනන ඉතිහාසය තුළ අවම මිලකට විදුලි ඒකකයක් මිලදී ගැනීමට අවස්ථාව ලැබුණු පළමු ව්‍යාපෘතිය මෙයයි. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් ශත 0.0465ක් වැනි මිලකට මෙම මිලදී ගැනීම සිදු වෙනවා. මෙම මන්නාරම ප්‍රදේශය ආශ්‍රිතව තවත් ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

පසුගිය 2025 වසරේදී අපේ පුනර්ජනනීය බලශක්ති දායකත්වය මෙගාවොට් 1848ක් ලෙස ඉලක්ක කර තිබුණා. නමුත් එම ඉලක්කය අභිබවා ගොස් මෙගාවොට් 2,695ක ධාරිතාවක් එක් කිරීමට අපිට හැකි වී තිබෙනවා. ඒ වගේම 2026 වසරේ ඉලක්කය මෙගා වොට් 2078ක්. දැනට එය 3,089.5 ක ප්‍රමාණයකට ගිවිසුම් අත්සන් කර අවසන්. ඒ වගේම 2027,2028 සහ 2029 වසරවලට පිළිවෙළින් මෙගාවොට් 2563, 3253ක් සහ 3943ක් ඉලක්ක කර තිබියෙදී එම ඉලක්ක පසු කරමින් දැනටමත් පිළිවෙළින් මෙගවොට් 3,822.5ක්, 4332.5ක් සහ මෙගාවොට් 4,634.5ක් ගිවිසුම් අත්සන් තබා ඇති බව සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. ඒ අනුව 2025 – 2029 සැලසුම් කළ සම්පුර්ණ ධාරිතාව මේ වන විට මෙගාවොට් 9,759ක් වෙනුවට මෙගාවොට් 12,789.5ක් ගිවිසුම් ගතවීමට අපිට හැකි වී තිබෙනවා. අපි පුනර්ජනනීය බලශක්ති අරමුණු ජය ගැනීම සඳහා ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව මෙයින් පෙනී යනවා.

මේ ප්‍රදේශයේ සුළං විදුලි විභවතාව වගේම ජනතාව අතර තිබෙන ගැටලු සහ ප්‍රදේශයට ආවේණික වු භූගෝලීය සාධක පිළිබඳව අපි නිර්ක්ෂණය කළා. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ජනතාවගේ වැඩි ඉල්ලීමක් වුණේ මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතුවලට රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුයි කියලයි. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම මන්නාරම් ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අපි විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කර තිබෙනවා. එමගින් මේ ප්‍රදේශයට අදාළ ඉදිරි සංවර්ධන කටයුතුවලට අවශ්‍ය මැදිහත්වීම ලබා දෙනවා, විශේෂයෙන් මෙහි භූගෝලීය පිහිටීම නිසා වතුර බැස නොයාමේ ගැටලුවක් තිබෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය ස්ථිරසාර විසඳුමක් ලබා දීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. දැන් එහි මිණුම් කටයුතු සිදුවන අතර නිරන්තරයෙන් එහි ප්‍රගතිය විමසා බැලීම සිදු කෙරෙනවා. එම සැලසුම් සකස් කර ජනතාවට අවශ්‍ය පහසුකම් කඩිනමින් සැලසීම පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් විශේෂයෙන් දේශපාලන නායකයන්, පූජ්‍ය පක්ෂය මේ සියලු දෙනාගෙන් සහාය ඇතිව අවශ්‍ය වැඩසටහන් ඉදිරියට කරගෙන යනවා.

අපි මේ කටයුතු විදුලි බල ජනනයට සීමාකර නැහැ. ජනතාව විසින් පත් කළ රජයක් ලෙස ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සහ සහන සලසා දෙමින් සහ ප්‍රතිලාභ ලබා දෙමින් එම කටයුතු සිදු කරගෙන යනවා. අපි ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට රජයක් ලෙස බැඳී සිටිනවා. අපේ විපක්ෂ මන්ත්‍රීවරුත් බේදයක් නැතිව එයට සහයෝගය ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ කිසිවක් අපේ දේශපාලන අරමුණු වෙනුවෙන් සිදු කරන දේවල් නොවෙයි. ඒ නිසා අපි සියලුදෙනා එක් වී ජනතාවට අවශ්‍ය සේවාව ලබා දෙමින් මේ ප්‍රදේශය දියුණු කරමු කියන ඉල්ලීම මම කරනවා.”

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.එස්.අයි. කුමාර, Hayleys PLC සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ සහ Hayleys Fentons Limited හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන් යන මහත්වරු සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහුද, ලංකා විදුලි බල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහුද, Hayleys PLC විධායක අධ්‍යක්ෂ සරත් ගනේගොඩ, Hayleys Advantis Ltd සාමාන්‍යාධිකාරී රුවන් විද්‍යාරත්න යන මහත්වරු ඇතුළු එහි නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...