විරෝධය අසුන් ගත් පෙළපාළිය: ඉන්දියාවේ ජනරජ දිනය සැමරීමට පාකිස්තානය පැමිණි කතාව

Date:

ඕවින්දි විෂ්මිකා

ජනවාරි 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සහ පාකිස්ථානය අතර දිගුකාලීනව පැවති යුධ ගැටුම්, අවිශ්වාසය සහ විසඳා නොගත් ආරවුල් වලින් හෙබි වූ නොසන්සුන් ඉතිහාසය තුළ විරෝධතාවයට වඩා රාජ්‍යතාන්ත්‍රිකත්වය ඉදිරියට පැමිණි අතිශය දුර්ලභ අවස්ථා දෙකක් තිබුණි. ඒ අවස්ථා දෙකේදීම, පාකිස්ථාන නායකයින් ඉන්දියාවේ ජනරජ දින පෙරහැරේ ප්‍රධාන අමුත්තන් ලෙස ආරාධනා ලැබීය.එය සාමාන්‍යයෙන් ඉන්දියාවට සමීප මිතුරන්ට සහ උපායමාර්ගික හවුල්කරුවන්ට පමණක් හිමි වන චාරිත්‍රානුකූල ගෞරවයකි.

1955 සහ 1965 වසරවල සිදු වූ මෙම ආරාධනා සාමාන්‍ය රාජ්‍ය සබඳතා ක්‍රියාවලියක කොටසක් නොවීය. දෙරට අතර සබඳතා දැඩි ලෙස පළුදු වී ඇති අවස්ථාවලදී සිදු වූ මෙම ආරාධනා හුදෙක් සාමය පිළිබිඹු කිරීමට සංකේතවාදය සහ උත්සව භාවිතා කළ හැකි බව විශ්වාස කළ ඉන්දියානු නායකත්වයේ සවිඥානයේ ප්‍රකාශයන් විය.

ඉන්දියාවේ ජනරජ දිනය සෑම වසරකම ජනවාරි 26 වන දින සැමරෙන්නේ 1950 දී ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වූ දිනය සිහිපත් කරමින්ය. නවදිල්ලියේ කාර්තව්‍ය මාවත (Kartavya Path) හරහා පැවැත්වෙන මහා හමුදා සන්නද්ධ සහ සංස්කෘතික පෙළපාළියක් ඇතුළත් මෙය ඉන්දියාවේ වැදගත්ම ජාතික උත්සවය වේ. මෙම උත්සවය ආරම්භ වූ දින සිටම මිත්‍රත්වය සහ රාජ්‍යතාන්ත්‍රික සුහදතාව සංකේතවත් කිරීම සඳහා විදේශීය ගෞරවනීය පුද්ගලයෙකු ප්‍රධාන අමුත්තා ලෙස ආරාධනා කිරීම ඉන්දියාවේ සම්ප්‍රදාය වී ඇත.

කෙසේ වෙතත් ඉන්දියාවේ දිගුකාලීන ප්‍රතිවාදියා වූ පාකිස්ථානයට මෙම ගෞරවය ලැබී ඇත්තේ දෙවරක් පමණි.

පළමු අවස්ථාව 1955 ජනවාරි මාසයේදී සිදුවිය. එදා පාකිස්ථානයේ එවකට ආණ්ඩුකාර ජෙනරාල්වරයා වූ සර් මලික් ගුලාම් මුහම්මද් ජනරජ දින පෙරහැරේ ප්‍රධාන අමුත්තා ලෙස ආරාධනා ලැබීය. මෙම තීරණය ධෛර්යසම්පන්න මෙන්ම විවාදාත්මක එකක් විය. 1947 දී බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාවේ සිදු කළ කම්පන සහගත බෙදීමෙන් පසු ඇති වූ විපර්යාස සහ කාශ්මීරය සම්බන්ධයෙන් වූ පළමු ඉන්දියා–පාකිස්ථාන යුද්ධයෙන් වසර දහයකටත් අඩු කාලයක් පමණක් ගතව තිබුණි. දේශසීමාවල නොසන්සුන් බව උණුසුම්ව පැවති අතර සරණාගතයන්ගේ වේදනාව තවමත් එලෙසම තිබූණි.දෙරට අතර අවිශ්වාසය ගැඹුරු ලෙස පැවතිණි.

මෙම ආරාධනය ඉන්දියාවේ පළමු අගමැති ජවහර්ලාල් නේරුගේ චින්තනය පිළිබිඹු කළ එකක් විය.මන්ද උත්සවීය සංකේත භාවිතයෙන් හෝ වේවා වෛරය මඳක් හෝ හකුළා සංවාදයට ඉඩක් සැලසිය හැකි බව ඔහු විශ්වාස කළේය. බෙදීමට පෙර ඉන්දියානු සිවිල් සේවයේ සේවය කළ මලික් ගුලාම් මුහම්මද් පාකිස්තානයේ ආරම්භක දේශපාලන ඉතිහාසයේ බලවත් චරිතයක් විය.එහෙත් ඔහුගේ ධුර කාලය මතභේදාත්මක විය.1953 දී අගමැතිවරයා ඉවත් කිරීම සහ ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හැරීමත් හේතුවෙන් ඔහුගේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කළ එකක් බවට පසුව විවේචනයට ලක්විය. එවන් චරිතයක් නවදිල්ලියේ පිළිගැනීම සංකේතවත් සහ දේශපාලනිකව ඉතා වැදගත් එකක් විය.

දශකයකට පසු 1965 ජනවාරියේදී ඉන්දියාව නැවත වරක් එවන්ම පියවරක් ගත්තේය. එදා පාකිස්ථානයේ ආහාර හා කෘෂිකර්ම අමාත්‍යවරයා වූ රනා අබ්දුල් හමීද් ඉන්දියාවේ ජනරජ දින පෙරහැරේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය. මෙම සංචාරය සිදු වූයේ අගමැති ලාල් බහාදූර් ශාස්ත්‍රිගේ කාලයේදී වන අතර දෙරටම නිහඬව තම හමුදා හැකියාවන් පුළුල් කරමින් බාහිරව සන්සුන් බව පවත්වාගෙන යන අවස්ථාවකදී මෙම ආරාධය සිදු විය.

රනා අබ්දුල් හමීඩ් යනු සින්ධ් සහ රාජස්ථාන් ප්‍රදේශවල මුල් බැසගත් ප්‍රසිද්ධ පන්ජාබ් ඉඩම් හිමි පවුලකින් පැවත එන්නෙකි. පෙළපාළියේ ඔහුගේ පැමිණීම නැවත වරක් මහජන මට්ටමේ සාමය සහ විශ්වාසය ගොඩනගා ගැනීමට කළ උත්සාහයක් ලෙස දැකිය හැකි විය.

එහෙත් එම බලාපොරොත්තුව කෙටි කාලයකින්ම බිඳ වැටුණි. 1965 අප්‍රේල් මාසයේදී පාකිස්ථානය Rann of Kutch ප්‍රදේශයේදී “ඔපරේෂන් ඩෙසර්ට් හෝක්” දියත් කරමින් ඉන්දියානු හමුදාව සමඟ ගැටුම් ආරම්භ කළේය. ජුනි මාසයේදී සටන් විරාමයකට එළඹුණද අගෝස්තු මාසයේදී “Gibraltar” මෙහෙයුම දියත් කරමින් ජම්මු සහ කාශ්මීරයට ඇතුළු වී කැරැල්ලක් ඇති කිරීමට උත්සාහ කළේය.අවසානයේ 1965 වසරේ පූර්ණ ඉන්දියා–පාකිස්ථාන යුද්ධයකට මඟ හෙළී පෙහෙළි විය.

එවකට ද ඉන්දියාව තුළ මෙම ආරාධනා පිළිබඳ අදහස් පළ විය. සමහර දේශපාලනඥයන් සහ විචාරකයන් තර්ක කළේ මේවා සංවාදයට ඉඩ සලසන “soft bridges” ලෙසයි.තවද අනෙක් අය අනතුරු ඇඟවූයේ ප්‍රායෝගික ප්‍රතිපත්තිමය පියවරක් නොමැතිව උත්සවීය උණුසුම දේශපාලනික වශයෙන් වැරදි ලෙස අර්ථ දැක්විය හැකි බවයි.

ආපසු හැරී බලන විට ඉතිහාසය පෙන්වා දෙන්නේ මෙම සංකේතමය උත්සාහයන් දෙරට අතර ගැඹුරු ගැටළු විසඳීමට ප්‍රමාණවත් නොවූ බවයි. කාශ්මීරය පිළිබඳ විවාද, නැවත නැවත ඇති වූ යුධ ගැටුම් සහ සටන් විරාම,න්‍යෂ්ටික ආයුධ වලින් සන්නද්ධ මෙම අසල්වැසි දෙරට අතර සම්බන්ධතා එලෙස නිර්වචනය කර ඇත.

අද දිනද ඉන්දියාවේ ජනරජ දින උත්සවය ලෝකයේ බොහෝ රටවල නායකයන්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ ගෝලීය සම්බන්ධතාවය ඉස්මතු කරමින් පැවැත්වෙයි. එහෙත් 1955 සහ 1965 වසරවල සිදු වූ මෙම දුර්ලභ අවස්ථා විරෝධී ඉතිහාසයක් සහ අවිශ්වාසයෙන් පිරි සම්බන්ධතාවයක් අතරතුර සාමය ගොඩනගා ගැනීම කෙතරම් දුෂ්කර සහ නාස්තිශීලී ක්‍රියාවලියක්ද යන්න සිහිපත් කරවමින් තවමත් මතකයේ රැඳී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වවුනියාව විශ්වවිද්‍යාලයේ Technology Incubation Centre විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ විද්‍යා...

මානසික පීඩාවන්ගෙන් පෙළෙන වැඩිහිටියෙකු බිහිවන්නේ ඇයි?

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වැඩිහිටි...

2025 ආසියා බර්ලින් සමුළුවේදී ශ්‍රී ලාංකික නවෝත්පාදනයන් විශ්මයට පත් කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : 2025 ආසියා බර්ලින්...