ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ කාරණය සම්බන්ධයෙන් නිරන්තර සංවාදයක් පැවති මෙන්ම පවතින රටකි. නීති පද්ධතිය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්බන්ධයෙන් විශාල කතිකාවක් පැවතුණි. මර්දනීය නීතියක් ලෙස දැක්වූ එය අහෝසි කිරීමේ අවශ්‍යතාව දේශපාලන කරළිය තුළ නිරන්තර සජීවී කාරණයකි. දැනට ක්‍රියාත්මක 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තාවකාලික විධිවිධාන පනතක් ලෙස සම්මත කරගත් නමුත් 1982 වසරේ දී ස්ථිර නීතියක් ලෙසින් එවක පැවති රජය විසින් සම්මත කරගන්නා ලදී. ඒ අනුව මේ දක්වා එය ක්‍රියාත්මක වෙමින් පවතියි.
2024 දී දේශපාලන අධිකාරීමය බලය වෙනස් වීමත් සමඟ මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් වූ සංවාදය යළි කරළියට පැමිණි අතර ජාතික ජන බලවේගයේ මහජන එකඟතාව මත එම පනත වෙනුවට දැන් ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කරගැනීම දක්වා (PSTA) එය වෙනසකට ලක්කර ඇති අතර එම කෙටුම්පත වෙනුවෙන් එළඹෙන පෙබරවාරි 28 දක්වා මහජන අදහස් විමසීම සිදුවෙයි.
“ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු සියලු මර්දනකාරී අණ පනත් අහෝසි කර සියලු ජනතාවගේ නිදහස සහතික කිරීම,” ලෙස ජාතික ජන බලවේගයේ පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එය එලෙස දක්වා තිබුණි. ඒ අනුව ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්නගේ ප්‍රධානත්වයෙන් යුතු විද්වතුන් 17 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් එම කෙටුම්පත සකස් කර තිබේ. මහජන අදහස් විමසීම සිදුවන්නේ එම කෙටුම්පතට අදාළවය. කෙසේවෙතත් මේ වන විට සිවිල් හා දේශපාලන අමජය වෙතින් ඊටද විරෝධයක් එල්ල වෙමින් පවතින අතර PTA මෙන්ම PSTA ද හකුළා ගන්න ලෙස බලකරමින් පවතියි.
ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කිරීමට නියමිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා වූ පනත පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අභිබවා ගිය මර්දනීය නීතියක් ලෙසයි ඊට එරෙහිවන්නන් පෙන්වා දෙන්නේ.
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත හරහා දැනට අසම්පූර්ණව හෝ ආරක්ෂා වී පවතින ප්‍රජාතන්ත්‍රවාදය හා මූලික මිනිස් අයිතිවාසිකම්වලට බරපතල තර්ජනයක් එල්ල කරමින් ඉතිහාසයේ පැවති අඳුරු යුගයන් වෙත රට යළිත් රැගෙන යාමට වර්තමාන රජය වෑයම් කරන බවට ඔවුහු හුවා දක්වති. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති සම්බන්ධයෙන් දැඩි ව්‍යාකූල බවක් සමාජය තුළ නිර්මාණය වෙමි තිබේ.
ඕනෑම ස්වෛරී රාජ්‍යයක ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ පුරවැසියන්ගේ මූලික නිදහස සුරක්ෂිත කිරීම අතිශය සංකීර්ණ කාර්යයකි. ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධී නීති පද්ධතිය, හුදෙක් අපරාධ මර්දන යාන්ත්‍රණයක් පමණක් නොව, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සහ ජාත්‍යන්තර සබඳතා තීරණය කරන උපායමාර්ගික සාධකයක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම, යුරෝපා සංගමයේ GSP+ බදු සහනය පවත්වා ගැනීම සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) වැනි ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල වීම සඳහා මෙම නීති ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යවශ්‍ය කාරණයකි.
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතියේ ඓතිහාසික විකාශනය
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) බිහි වූයේ 1970 දශකයේ අගභාගයේ මතු වූ දේශපාලන අස්ථාවරත්වය පාලනය කිරීමේ අරමුණෙනි. මෙම නීතියේ පදනම සකස් කිරීමේදී එකල එක්සත් රාජධානිය විසින් උතුරු අයර්ලන්තය සඳහා හඳුන්වා දුන් හදිසි නීති සහ දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී පාලන සමයේ පැවති දැඩි මර්දනකාරී නීතිවල ආභාසය ලබා ඇති බව පෙනේ.
1979 දී මුලින් මාස හයක කාලසීමාවක් සඳහා පමණක් වලංගු වන පරිදි හඳුන්වා දුන් මෙම පනත, හදිසි අවස්ථාවන් පාලනය කිරීමේ “තාවකාලික” පියවරක් ලෙස හඳුන්වනු ලැබීය. එහෙත් 1982 අංක 10 දරන සංශෝධනය මගින් පනතේ තිබූ “තාවකාලික” ස්වභාවය ඉවත් කර එය රටේ සාමාන්‍ය නීතියේ ස්ථිර කොටසක් බවට පත් කරන ලදී. දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ මෙම නීතිය තුළින් විධායකයට සහ ආරක්ෂක අංශවලට අසීමිත බලතල හිමි වූ අතර, එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සීමා කිරීමට අවස්ථාව සැලසුණි. මෙම පනතට සිවිල් සමාජයේ විරෝධය උත්සන්න වන්නේ මෙකී පදනම මතය.
විශ්ලේෂණාත්මකව බලන කල දශක හතරක් පුරා “තාවකාලික” ලේබලය යටතේ ස්ථිර නීතියක් ලෙස මෙය පවත්වාගෙන යාම තුළින් පෙන්නුම් කරන්නේ, සාමාන්‍ය යුක්ති විනිශ්චය ක්‍රියාවලිය මග හැර විශේෂිත විධායක බලතල භාවිත කිරීමට පාලකයින් තුළ පැවති අභිප්‍රායයි. කෙසේවෙතත් මෙම පනත ක්‍රියාත්මක කිරීමේදී බරපතල ප්‍රායෝගික ගැටළු රාශියක් මතු විය.
පනත ක්‍රියාත්මක වීමේදී මතු වූ ගැටළු
පවත්නා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය ආරක්ෂාව සහ සිවිල් නිදහස අතර පවතින පරස්පර විරෝධී තත්ත්වය උග්‍ර වූ ආකාරය පෙනෙන්ට තිබුණි. විශේෂයෙන්ම අධිකරණ පද්ධතියේ පූර්ණ විමර්ශනයට යටත් නොවන විධායක බලතල භාවිත කිරීම හේතුවෙන් නීතියේ ආධිපත්‍යය බරපතල ලෙස අභියෝගයට ලක්වූ බවට විවේචන එල්ල විය.
විධායක රැඳවුම් නියෝග
ආරක්ෂක අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කරන රැඳවුම් නියෝග මත සැකකරුවන් දීර්ඝ කාලයක් අධිකරණයට ඉදිරිපත් නොකර රඳවා තබා ගත හැකි අතර මෙය පුද්ගල නිදහස පිළිබඳ ව්‍යවස්ථාපිත අයිතිය උල්ලංඝනය කිරීමක් ලෙස දැක්විය හැකියි.
පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීම
සාමාන්‍ය සාක්ෂි ආඥාපනතට පටහැනිව, පොලිස් නිලධාරියෙකු ඉදිරියේ කරනු ලබන පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමට ඉඩ සලසා දීමට ප්‍රතිපාදන සලසා තිබේ. මෙහි ඇති බරපතලම අවදානම වන්නේ අදාළ පාපොච්චාරණ ලබා ගැනීම සඳහා වධහිංසා පැමිණවීමට ඇති ඉඩකඩයි.
අධිකරණ විමර්ශනය සීමා කිරීමේ විධායක බලතල
අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් සම්බන්ධයෙන් මැදිහත් වීමට අධිකරණයට ඇති බලය සීමා කිරීම තුළින් ස්වාධීන අධිකරණ පරීක්ෂාවකට ඇති ඉඩකඩ ඇහිරී තිබේ.
ඇප ලබාදීමේ දැඩි සීමා
සාමාන්‍ය අපරාධ නීතිය යටතේ ඇප ලබාදීම රීතියක් වන නමුත්, මෙම පනත යටතේ එය සුවිශේෂී ව්‍යතිරේකයක් බවට පත් කර ඇත.
මෙම තත්ත්වය ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් සහ ICCPR සම්මුතිය සමඟ සෘජුව ගැටෙන අතර, එමගින් ජාත්‍යන්තර දේශපාලන සහ ආර්ථික වේදිකාවල ශ්‍රී ලංකාවේ විශ්වසනීයත්වය පළුදු වීම මෙහි ඇති අභියෝගාත්මක තත්ත්වයකි. මෙම අර්බුදකාරී තත්ත්වයට පිළියමක් ලෙස විවිධ දේශපාලන කණ්ඩායම් නව ප්‍රතිසංස්කරණ යෝජනා කර ඇත.
ජාතික ජන බලවේගයේ උත්සාහය
ජාතික ජන බලවේගය (NPP) විසින් ඉදිරිපත් කරන නව ප්‍රතිපත්තිමය රාමුව, පවතින මර්දනකාරී නීති වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී වගවීම සහිත ආරක්ෂක යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව විෂය භාර අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසා තිබුණි.
ඒ අනුව ඔවුන්ගේ දැක්ම වන්නේ ත්‍රස්තවාදය යන්න නිවැරදිව අර්ථකථනය කරමින්, එය දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට යොදා නොගන්නා බවට සහතික වීමයි.
යෝජිත ප්‍රවේශයේ ඇති සුවිශේෂී ලක්ෂණ
- නිර්වචනය පටු කිරීම: එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව ත්‍රස්තවාදය යන්න වඩාත් පැහැදිලි සහ පටු ලෙස අර්ථකථනය කිරීම.
- අධිකරණ අධීක්ෂණය ශක්තිමත් කිරීම: අත්අඩංගුවට ගත් මොහොතේ සිට සෑම රඳවා තබා ගැනීමක්ම මහේස්ත්‍රාත්වරයෙකුගේ අධීක්ෂණයට සහ පරීක්ෂාවට යටත් කිරීම.
- පාපොච්චාරණ සම්බන්ධ නීතිය වෙනස් කිරීම: පොලිසිය ඉදිරියේ ලබා දෙන පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීම නවතා දමා, සාමාන්‍ය සාක්ෂි නීතිය ක්‍රියාත්මක කිරීම.
මෙම යෝජිත පනත මගින් පුද්ගල නිදහස ආරක්ෂා කිරීමට සහ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් වැළැක්වීමට ලබා දී ඇති සහතිකයන්, වර්තමාන නීති පද්ධතියේ පවතින ව්‍යුහාත්මක දෝෂ මකා දැමීමට දරන ප්‍රගතිශීලී උත්සාහයක් ලෙස දක්වා තිබේ. ඒ අනුව මෙම යෝජිත රාමුව සහ දැනට පවතින නීතිය අතර පවතින වෙනස්කම් පැහැදිලිව හඳුනා ගත හැකිය.

සංසන්දනාත්මක විශ්ලේෂණය
ත්‍රස්තවාදය නිර්වචනය කිරීම
PTA : ඉතා පුළුල් සහ අපැහැදිලි වන අතර දේශපාලන ක්‍රියාකාරකම් පවා ඇතුළත් විය හැක
PSTA:ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කළ වඩාත් නිශ්චිත සහ පටු නිර්වචනයක්.
අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම
PTA :අමාත්‍යවරයාගේ රැඳවුම් නියෝග (DO) මත මාස ගණනාවක් රඳවා තබා ගත හැක.
PSTA:අත්තනෝමතික රැඳවුම් අවසන් කිරීම සහ රඳවා තබා ගැනීම අධිකරණ අනුමැතියට යටත් කිරීම.
අධිකරණ පරීක්ෂාව සහ ඇප ලබා දීම
PTA:අධිකරණ බලය සීමිත වන අතර ඇප ලබාදීම විධායකයේ එකඟතාව මත රඳා පවතී.
PSTA:අත්අඩංගුවට ගත් මොහොතේ සිට ශක්තිමත් අධිකරණ පරීක්ෂාවක් සහ සාධාරණ ඇප ලබාදීමේ ක්‍රියාවලියක් යෝජනා කිරීම.
මානව හිමිකම් සහ වගවීම
PTA:පාපොච්චාරණ සාක්ෂි ලෙස ගැනීම නිසා වධහිංසා පැමිණවීමේ ඉඩකඩ ඉහළය.
PSTA: වධහිංසා වැළැක්වීමේ ශක්තිමත් සහතිකයන් සහ ආරක්ෂක අංශවල වගවීම තහවුරු කිරීම.
මෙම තත්ත්වය අනුව ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය වඩාත් සවිමත් වීම සිදුවන නමුත් මේ වන විටත් PSTA වෙතද විරෝධය එල්ල වීම ප්‍රශ්න සහගත තත්ත්වයක්ව පවතියි. එහෙත් ඒ හඬටද සවන් දීම වැදගත්ය. වංගුවක් ගස හෝ මානව හිමිකම් උල්ලංඝනය වන්නේ නම් එය රටක ස්වෛරීභාවයට එල්ලවන බරපතල තර්ජනයකි. මානව නිදහසට, අයිතීන්ට එල්ල වන මාරු පහරකි.
ජාතික ආරක්ෂාව යනු හුදෙක් මිලිටරි බලය නොව එහිදී සිවිල් ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම සිදුවිය යුතුය. මෙහිදී අවි ආයුධ වලින් සිදුකරන ආරක්ෂාව හෝ ගෞතිකව ආරක්ෂක අංශ සවිමත් කිරීමෙන් තහවුරු කරන ආරක්ෂාව පමණක් නොව සංස්කෘතිය, විද්‍යාව හා තාක්ෂණය, නවෝත්පාදන, ආගමික නිදහස ඇතුළු සියලු සමාජමය කරුණු සම්බන්ධයෙන් ජනතාව තුළ සුරක්ෂිත හැඟීමක් ඇති විය යුතුය. මෙම කරුණු සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහතික කිරීම ඉතා පුළුල් පරාසයක දිවයන්නකි. එය ත්‍රස්ත විරෝධී නීතිවල අනාගත දිශානතිය තීරණය කරන්නකි.

මෛත්‍රීපාල සිරිසේන,ගෝඨාභය රාජපක්ෂගේ සහ රනිල් වික්‍රමසිංහගේ උත්සාහයන් ව්‍යර්ථ වීම
2018 වසරේදී ද යහපාලන ආණ්ඩුව විසින් ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත (CTA – Counter Terrorism Act) හඳුන්වා දීම සිදුවිය. එහෙත් එමඟින්ද ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව පවසමින් පාර්ශව ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව පනත් කෙටුම්පතේ වගන්ති හතරක් හැර ඉතිරි වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් අනුමත කිරීම ප්‍රමාණවත් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. එහෙත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වී නීතියක් බවට පත්නොවුණි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී වර්තමානයේ පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට උත්සාහ කළ අතර එයද ව්‍යර්ථ වූ අතර සිවිල් හා දේශපාලන කණ්ඩායම්හි විරෝධය හේතුවෙන් එම ප්‍රතිසංස්කරණය ඉදිරියට ගෙන යාමට නොහැකි විය.
අනතුරුව පත්වූ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්විමේ පනතට විකල්පයක් ලෙස ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත (ATA – Anti-Terrorism Act) 2023 දී ගැසට් පත්‍රය මඟින් ප්‍රසිද්ධ කරන ලදී. එහෙත් එම පනත් කෙටුම්පත හරහා ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව පවසමින් එය අභියෝගයට ලක්කර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම ඉදිරිපත් විය. පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට අනනුකූල වන බැවින් ඒවා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත විය යුතු බවටත්, එක් වගන්තියක් විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තින්දු කළේය. එමෙන්ම එම වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජිත පරිදි සංශෝධනය කරන්නේ නම් එම අනනුකූලතාවය ඉවත් වන බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දක්වා තිබුණි. කෙටුම්පතේ සඳහන් තවත් එක් වගන්තියක් හරහා ව්‍යවස්ථාව උල්ලංඝනය වන බැවින් එය තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය.
නමුත් ජාතිකව හා ජාත්‍යන්තරව එල්ල වූ විරෝධයන් හමුවේ එකී උත්සාහයන් ව්‍යර්ථ වූ අතර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ මානව හිමිකම් ප්‍රමුඛතම කාරණය ලෙස සැලකෙන හෙයින් මෙකි ත්‍රස්ත විරෝධී නීති ඉතා සංවේදී තත්ත්වයන්ය.
ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධී නීතිමය රාමුව ප්‍රතිසංස්කරණය කිරීම යනු හුදෙක් නීතිමය සංශෝධනයක් පමණක් නොව, එය ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ තබන සහතිකයකි. 1979 සිට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පවතින මර්දනකාරී සහ පෞරාණික විධිවිධාන ඉවත් කර, නවීන මානව හිමිකම් ප්‍රමිතීන්ට ගැළපෙන පරිදි එය සංශෝධනය කිරීම රජයක පරම වගකීමකි. ජාතික ජන බලවේගය වැනි දේශපාලන බලවේග ඉදිරිපත් කරන යෝජනා මගින් අවධාරණය කෙරෙන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කළ යුත්තේ පුරවැසියාගේ මූලික නිදහස බිලිදීමෙන් නොව, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමෙන් බවයි. කෙසේ හෝ ජාතික ආරක්ෂාව තහවුරු කරන අතරම සිවිල් අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන නීතිමය රාමුවක් ස්ථාපනය කිරීම ශ්‍රී ලංකාවේ අනාගත ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ පවතින සබඳතා තීරණය කරන ප්‍රධානතම සාධකය වනු ඇත.




