ඉන්දීය සාගරයේ ‘මුරකරුවා’ අසරණ වූ මොහොතක්….

රෂිකා හෙන්නායක මාර්තු 06, කොළඹ LNW :

2025 වසරේ ඔක්තෝබර් මස අගභාගයේදී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, එරට නාවික හමුදාව අමතමින් අභිමානවත් ප්‍රකාශයක් කළේය. ඉන්දීය සාගරය හරහා සිදුවන දැවැන්ත වෙළඳ සහ තෙල් ප්‍රවාහන මාර්ගවල වැදගත්කම අවධාරණය කළ ඔහු, ඉන්දීය නාවික හමුදාව යනු ඉන්දීය සාගරයේ “මුරකරුවා” (Guardian) බව ලෝකයටම ප්‍රකාශ කළේය.

නමුත් එම ප්‍රකාශයෙන් මාස පහක් ගතවීමටත් පෙර, 2026 මාර්තු මස මුලදී ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී සිදුවූ එක් සිදුවීමක් එම “මුරකරුවාගේ” භූමිකාව දැඩි ලෙස ප්‍රශ්න කිරීමට ලක් කර ඇත. ඉන්දියාවේ ආරාධිතයෙකු ලෙස පැමිණි ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාව ඇමරිකානු සබ්මැරීන ප්‍රහාරයකින් ගිල්වා දැමීමත් සමඟ, තමන්ගේම “මිදුලේ” සිටි අමුත්තෙකු ආරක්ෂා කර ගැනීමට ඉන්දියාවට ඇති නොහැකියාව හෝ අකමැත්ත ලෝකය හමුවේ නිරාවරණය වී තිබේ.

ඉන්දියාවේ ආරාධිත අමුත්තාට රැකවරණයක් නොලැබීම

IRIS Dena නෞකාව ඉන්දීය සාගරයට පැමිණියේ අහඹු ලෙස නොවේ. එය ඉන්දියාව විසින් විශාඛාපට්නම්හිදී පවත්වනු ලැබූ ‘Milan’ බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා පැමිණි නිල ආරාධිතයෙකි. ඉන්දීය නාවික හමුදාවේ නැගෙනහිර විධානය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙම නෞකාවේ පැමිණීම දෙරට අතර පවතින “දිගුකාලීන සංස්කෘතික සබඳතාවල” සංකේතයක් ලෙස හඳුන්වා දුන්නේය.

ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු පවා මෙම නාවිකයන් සමඟ සමූහ ඡායාරූපවලට පෙනී සිටිමින් ඔවුන්ව ගෞරවයෙන් පිළිගත්තාය. හිටපු නාවික මාණ්ඩලික නියෝජ්‍ය ප්‍රධානී වයිස් ඇඩ්මිරාල් ශේඛර් සිංහා පවසා තිබුණේ, ඉරාන නාවිකයන්ගේ පාගමන තමන් පවා බෙහෙවින් අගය කළ බවයි. එහෙත් එම සුහදතාවය අළු වී යෑමට ගත වූයේ කෙටි කලකි. “යුද්ධයකදී හැඟීම්වලට ඉඩක් නැත; යුද්ධයේ සදාචාරයක් නැත,” යනුවෙන් සිංහා පසුව පැවසීම තුළ ඇති උත්ප්‍රාසාත්මක බව සැබවින්ම කනගාටුදායකය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) සිය දැඩි කෝපය පළ කළේය.

"ඇමරිකාව ඉරාන වෙරළට සැතපුම් 2,000ක් ඈතින් මුහුදේදී ම්ලේච්ඡ ක්‍රියාවක් සිදු කර තිබෙනවා. මා කියන දේ ලියාගන්න: ඇමරිකාව විසින් ඇති කළ මෙම පූර්වාදර්ශය පිළිබඳව ඔවුන්ට අනාගතයේදී දැඩි ලෙස පසුතැවීමට සිදුවනු ඇත."

ඉන්දියාවේ පසුපස මිදුලේ ‘නිහඬ මරණය’

2026 මාර්තු 4 වන දින අලුයම මෙම ප්‍රහාරය එල්ල වූයේ ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 44ක් (කිලෝමීටර් 81ක්) වැනි කෙටි දුරකදීය. මෙය ඉන්දියාව සිය බල ප්‍රදේශය ලෙස සලකන කලාපයකි. ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පෙන්ටගනයේ සිට මෙම ප්‍රහාරය හැඳින්වූයේ “නිහඬ මරණය” (Quiet death) ලෙසයි. ප්‍රහාරයෙන් මියගිය නාවිකයන් 80කගේ සිරුරු හමුවූ අතර, නෞකාවේ අණදෙන නිලධාරියා ඇතුළු 32ක් දිවි ගලවා ගත්හ. එහෙත් වඩාත්ම කම්පන සහගත කරුණ වන්නේ තවත් නාවිකයන් 100කට අධික පිරිසක් අතුරුදහන්ව සිටීමයි.

ඉන්දියාවේ "මුරකරුවා" නිහඬව සිටියදී, ප්‍රහාරය සිදුවූ වහාම සහන සේවා සඳහා පෙරමුණ ගත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි. ඉන්දීය නාවික හමුදාව සිය නිහඬතාවය බිඳ ප්‍රකාශයක් නිකුත් කළේ ප්‍රහාරයෙන් පැය 24ක් ගතවීමෙන් පසුව වීම විශේෂත්වයකි.

''''හිටපු නාවික හමුදාපති ඇඩ්මිරාල් අරුන් ප්‍රකාශ් සහ ප්‍රතිපත්ති විශ්ලේෂක සී. උදය භාස්කර් වැනි ප්‍රවීණයන් පෙන්වා දෙන පරිදි ඉන්දියාවේ ස්ථාවරය ප්‍රධාන කරුණු දෙකක් මත දෝලනය වේ''''

  • පාවා දීමක්ද? ඉන්දියාව මෙම ප්‍රහාරය ගැන කල්තියා දැන සිටියේ නම්, එය තමන්ගේම ආරාධිත අමුත්තෙකු වූ ඉරානය පාවා දීමක් වන අතර, ඉන්දියාව උපායමාර්ගිකව ඇමරිකාව සහ ඊශ්‍රායලය සමඟ එක්ව කටයුතු කරන බව මෙයින් තහවුරු වේ.
  • අසරණ වීමක්ද? ඉන්දියාව මෙම ප්‍රහාරය ගැන දැන නොසිටියේ නම් (Blindsided), එයින් අදහස් වන්නේ තමන්ගේම පසුපස මිදුලේ සිදුවන දේ පිළිබඳව පවා ඉන්දියාව දැනුවත් නොමැති බවයි. ඇඩ්මිරාල් අරුන් ප්‍රකාශ් පවසන පරිදි, ඉන්දියාව මෙවැනි දෙයක් ගැන දැන නොසිටියේ නම්, එය ඇමරිකා-ඉන්දීය උපායමාර්ගික හවුල්කාරිත්වයේ ඇති දුර්වලතාවය මනාව පෙන්වන සාධකයකි.

මෙම නිහඬතාවය සී. උදය භාස්කර් හඳුන්වන්නේ ඉන්දියාවට සිදු වූ “උපායමාර්ගික ලැජ්ජාවක්” (Strategic embarrassment) ලෙසයි.

ඉන්දියාව සිය පැරණි ‘නොබැඳි පිළිවෙත’ අතහැර ‘උපායමාර්ගික ස්වාධීනත්වය’ දෙසට ගමන් කරන බව පැවසුවද, ප්‍රායෝගිකව ඔවුන් ඇමරිකාව සහ ඊශ්‍රායලය දෙසට දැඩි ලෙස නැඹුරු වී ඇති බව පෙනේ. හමුදා ඉතිහාසඥ ශ්‍රීනාත් රාඝවන් පෙන්වා දෙන්නේ ප්‍රහාරයට දින කිහිපයකට පෙර අග්‍රාමාත්‍ය මෝදි ඊශ්‍රායලයට ගොස් අග්‍රාමාත්‍ය නෙතන්යාහු සමඟ සමීපව කටයුතු කිරීමත්, අනෙක් පසින් ඉරාන නායකයාගේ අභාවයේදී අවම වශයෙන් නිල ශෝකය ප්‍රකාශ කිරීමේ පණිවිඩයක්වත් නිකුත් නොකිරීමත් තුළින් මෙම ප්‍රතිපත්තිමය මාරුව පැහැදිලි වන බවයි.

සම්ප්‍රදායිකව ඉන්දීය රජයන් මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික අවස්ථාවන් සඳහා අමාත්‍යවරුන් යැවුවද, ඉරාන තානාපති කාර්යාලයට යැවූයේ නිලධාරියෙකු (Foreign Secretary) පමණක් වීම ඉරානය සමඟ ඇති සබඳතා ඉන්දියාව කොතරම් දුරට අවතක්සේරු කර ඇත්දැයි පෙන්වයි. රාඝවන් පවසන පරිදි, ඉන්දියාව දැන් “ආක්‍රමණශීලී පාර්ශ්වයන්ගේ පැත්තට” නිල වශයෙන් ගොනු වී හමාරය.

IRIS Dena නෞකාව ගිල්වා දැමීම හුදු නාවික අනතුරක් නොව, ඉන්දීය සාගරයේ ආරක්ෂක සැපයුම්කරු ලෙස පෙනී සිටින ඉන්දියාවේ සදාචාරාත්මක සහ උපායමාර්ගික ස්ථාවරයට එල්ල වූ දරුණු පහරකි. තමන්ගේම ආරාධනයෙන් පැමිණ, තමන්ගේම නාවිකයන් සමඟ සෙල්ෆි ඡායාරූප ගත් අමුත්තන් 100කට අධික පිරිසකගේ ජීවිත අහිමි වන විට ඉන්දියාව නිහඬව සිටීම එම කලාපීය විශ්වාසනීයත්වය බිඳ දමන්නක් බව විශ්ලේශකයන් පෙන්වා දෙයි.