ඉංජිනේරු කුමාර පුනරුදයේ අල්ලස් නඩු වැටෙන පළමු කැබිනට් ඇමති බවට පත්වෙයි

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කටයුතු කර තිබේ.

ඒ, 2015 වසරේදී ඔහු රජයට අයත් ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් සේවය කරමින් සිටියදී ඩී. එස්. කන්ස්ට්‍රක්ශන්ස් ඇන්ඩ් අර්ත් මූවර්ස් නමැති සමාගමකට නීතිවිරෝධී ලෙස ලාබයක් හා වාසියක් සිදුකිරීමෙන් අල්ලස් පනතේ 70 (ආ) වගන්තිය යටතේ දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමිනි.

හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි ලංකා පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාතුව ඉටුකළ ඉහත කී සමාගමට වාසිවන ආකාරයෙන් කටයුතු කිරීම තුළ රජයට රුපියල් 8,859,708ක පාඩුවක් සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

මෙම චෝදනාවට අදාළව 2015 වසරේදී පොහොර සංස්ථාව විසින් පැවැත්වූ විනය පරීක්ෂණයකදී ද කුමාර ජයකොඩි වැරදකරු බවට පත්ව තිබුණු අතර ඔහුව එවකට දැරූ ප්‍රසම්පාදන කළමනාකරු තනතුරින් පහත හෙළීමට ද කටයුතු කර තිබිණි.