කලාකරුවකු යනු හුදෙක් කිසියම් පවුලක පමණක් බූදලයක් නොවේ. ඔහු අයිති සමාජයටය. මක්නිසාදයත් ඔහුගේ කලා නිෂ්පාදන තමන් අවට සමාජය මූර්තිමත් කරන්නකි. නිර්මාණවේදියා යනු ඒ සමාජයෙ විවිධ චරිත, චරිත ස්වභාවයන්, සමාජ අගතීන්, සුගතීන් සියල්ල සහෘදයා අභිමුව පමුණුවා, ඒ සමාජය කියැවීමට සලස්වමින් නව දැනුමක්, දැක්මක් සහෘදයා තුළ සම්පාදනය කරන්නෙකි.
ධර්මසිරි බණ්ඩාරනායක යනු එබඳු නිර්මාණවේදියෙකි.
‘හංස විලක්’ ‘තුන්වෙනි යාමය’ ‘සුද්දීලාගේ කතාව’ ‘බව දුක’ ‘බව කර්ම’ ‘පාරාදීසයක කඳුළු’ (වාර්තා) ඔහුගේ චිත්‍රපට සමූහයත්. ‘ඒකා-ධිපති’ ‘මකරාක්ෂයා’ ‘ධවල භීෂණ’ ‘ට්‍රොජන් කාන්තාවෝ ‘ ඇතුළු නාට්‍ය සමුහයත් මගේ ඉහත ප්‍රකාශයට නිදසුන් සපයයි.
ඒ සියල්ල නිර්මාණය කරන්නට ධර්මසිරි ස්වකීය ජීවිත කාලයෙන් වැඩිම කාලයක් කැප කළේය. සිනමාව හා වේදිකා ඔහුගේ ආත්මය විය. ඒ කැප කිරීම කෙසේ නම් මිළ කරන්නද?
අද ඒ නිර්මාණවේදියා වෙහෙසට පත්ව සිටින්නේ ගතින් නොව මනසිනි. එය අති සංවේදී නිර්මාණවේදියකුට මුහුණ දෙන්නට සිදුවිය හැකි තත්ත්වයක් යයි සිතමි. . ඊට පිලියම් කළ යුත්තේ ඔහුගේ මනස සතුට කිරීමෙනි. ඔහුට ආදරය දැක්වීමෙනි. ඔහුගේ නිර්මාණ රස විඳිමින් ඒවා හැදෑරීමෙනි..ඒ හැදෑරීම්, රස විඳීම්, ඔහුට දැනවීමට සැලැස්වීමෙනි.
මේ තත්ත්වය වටහාගත් ඔහුගේ සමීපතමයකු වන රංජිත් දිසානායක (කළු රංජිත්) සමග චූලානන්ද සමරනායක සහ අනිල් ජයවීරගේ මූලිකත්වයෙන් සංවිධානය කළ ධර්මසිරි බණ්ඩාරනයක නිර්මාණ අගැයීමේ සුහද කතා බහක් ඊයේ (17) කොට්ටේ වල්පොල රාහුල මධ්‍යස්ථායේදී පැවැත්විණි.
පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ගේ ද සහභාගිත්වයෙන් පැවැති මෙම සුහද හමුවෙදී ධර්මසිරිගේ නිර්මාණ පිළිබඳ මතකයන් අවදි කරමින්, ගී ගැයීමෙන් එම අවස්ථාව අර්ථවත් කරන්නට, රසවත් කරන්නට. සාහිත්‍යවේදීන්, රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් මෙන්ම ඔහුගේ සහෘදයන් දැක්වූ දායකත්වය හමුවේ ධර්මසිරි යළි තිරිහන් වූයේය. තම සහෘදයන් තමා සමග බව පසක් කර ගත්තේය.
”මේ සත්කාරයෙන් මට ජීවත් වන්නට අලුත් ශ්‍රද්ධාවක් ලැබුණා”
හමුව අවසානයේදී ධර්මසිරි කෘතවේදීත්වය පළ කරමින් කීවේය.
~ ගුණසිරි සිල්වා
RN