අළෙවි නොවූ ආහාර අවශ්‍යතා ඇති අයට ලබා දෙන පළමු රට බවට ප්‍රංශය පත්වේ

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ප්‍රංශය ලොව පළමු වතාවට සුපිරි වෙළඳසැල්වල අලෙවි නොවී ඉතිරිවන ආහාර ඉවත දැමීම වෙනුවට ඒවා අනිවාර්යයෙන්ම පුණ්‍යායතන සහ ආහාර බැංකුවලට පරිත්‍යාග කළ යුතු බවට නීතියක් පැනවූ රට බවට පත්ව තිබේ.

2016 සිට, වර්ග මීටර් 400 ට වැඩි වපසරියකින් යුත් සෑම වෙළඳසැල් සඳහා බලපැවැත්වෙන මෙම නීතිය මගින්, නැවුම් නිෂ්පාදනවල සිට කල් ඉකුත්වීමට ආසන්න ඇසුරුම් කළ ආහාර දක්වා පරිභෝජනයට සුදුසු මට්ටමේ පවතින සියලුම දෑ කුණු ගොඩවල්වලට දැමීම වෙනුවට අවශ්‍යතා සහිත ජනතාව වෙත යොමු කිරීම සහතික කෙරේ.

සුපිරි වෙළඳසැල් මෙම නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම්, ඔවුන්ගේ කළමනාකරුවන්ට යුරෝ 3,750 දක්වා දඩ නියම කළ හැකි ලෙස ප්‍රතිපත්ති සකසා ඇති අතර, ආහාර බෙදා හැරීම විධිමත් කිරීම සඳහා අදාළ පුණ්‍යායතන සමඟ නිල ගිවිසුම් ඇති කර ගැනීම ද වෙළඳසැල් හිමියන්ට අනිවාර්ය කර ඇත.

මෙම ක්‍රමවේදය හරහා ආහාර අපතේ යාම සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර, ආර්ථික දුෂ්කරතා අත්විඳින පුද්ගලයින්ට මිලියන ගණනක් ආහාර බෙදා හැර ඇති අතර, ඒ සමඟම ගොඩකිරීම් වලට එකතු වන ආහාර අපද්‍රව්‍ය ප්‍රමාණය ද අඩු වී ඇත.