Home පුවත් දේශපාලන පුවත් අල්ලස් නඩුවට අදාළව බලශක්ති ඇමතිට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝගයක්

අල්ලස් නඩුවට අදාළව බලශක්ති ඇමතිට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝගයක්

සටහන – රුවන් නෙළුගොල්ල

බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩිට මාර්තු 27 වනදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් සිතාසි නිකුත් කර තිබේ.

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට අදාළව ය.

2015 වසරේදී ඔහු රජයට අයත් ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් සේවය කරමින් සිටියදී ඩී. එස්. කන්ස්ට්‍රක්ශන්ස් ඇන්ඩ් අර්ත් මූවර්ස් නමැති සමාගමකට නීතිවිරෝධී ලෙස ලාබයක් හා වාසියක් සිදුකිරීමෙන් අල්ලස් පනතේ 70 (ආ) වගන්තිය යටතේ දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමිනි.

හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි ලංකා පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාතුව ඉටුකළ ඉහත කී සමාගමට වාසිවන ආකාරයෙන් කටයුතු කිරීම තුළ රජයට රුපියල් 8,859,708ක පාඩුවක් සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව අධිචෝදනා දෙකක් යටතේ අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති මෙම නඩුව ලබන 27 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල හමුවේ කැඳවීමට නියමිත අතර මෙම නඩුව සඳහා සාක්ෂිකරුවන් 21 දෙනකු සහ නඩු භාණ්ඩ 29 කින් සමන්විත ලේඛනයක්ද ඇතුළත් කර ඇති බව සඳහන්.

මෙම චෝදනාවට අදාළව 2015 වසරේදී පොහොර සංස්ථාව විසින් පැවැත්වූ විනය පරීක්ෂණයකදී ද කුමාර ජයකොඩි වැරදකරු බවට පත්ව තිබුණු අතර ඔහුව එවකට දැරූ ප්‍රසම්පාදන කළමනාකරු තනතුරින් පහත හෙළීමට ද කටයුතු කර තිබිණි.