සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය නැවතත් ජාත්‍යන්තර අවදානයට ලක් කරමින් රුසියාව විසින් යුක්රේනයේ නගර ගණනාවක් ඉලක්ක කරමින් ඩ්‍රෝන සහ මිසයිල 700කට අධික ප්‍රමාණයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
දකුණු වරාය නගරයක් වන ඔඩේසා හි පුද්ගලයින් නව දෙනෙකු, මධ්‍යම නගරයක් වන ඩිනිප්‍රෝ හි පස් දෙනෙකු සහ අගනුවර වන කියෙව් හි දරුවෙකු ඇතුළුව පුද්ගලයන් 18 දෙනෙකු ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙය පසුගිය මාස කිහිපය තුළ ඇතිවූ දරුණුම ප්‍රහාරය ලෙස දේශීය බලධාරීන් සඳහන් කර ඇත.
යුක්රේනයේ යුද්ධය මේවන විට පස්වන වසරට පැමිණ ඇති අතර එක්සත් ජනපදය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරමින් සාම සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ, ඔහු සඳහන් කළේ යුද්ධය අවසන් කිරීමට තවමත් ගිවිසුමකට පැමිණිය හැකි බව තමා විශ්වාස කරන බවයි.



