සටහන – රුවන් නෙළුගොල්ල
විදෙස් ණය වාරිකයක් ගෙවීමේදී මහාභාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වී ඇත්තේ එහි සිටි නිලධාරීන්ගේ වරදක් නිසා බවත් වත්මන් ආණ්ඩුවේ දේශපාලනඥයින් කිසිවෙකුත් හොරකම් කරන්නේ නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
“අලුතින්ම කෑගහන්නෙ මොකක්ද අර පිටරටකට ණයක් ගෙවන්න ගිහිල්ලා මහබැංකුවේ වංචාවක් කළා කියලා. එතන ඉන්න නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා වෙන කෙනෙකුට මුදලක් ගිහින් තියෙනවා. ආණ්ඩුව කරපු හොරකමක් නෑ එතන. එහෙම වෙනවා ආයතනවල ඕනෙ තරම්. වෙන්නෙ නැද්ද ? බැංකුවෙන් සමහරවිට සල්ලි දෙනකොට ගණන් කරන එක වැරදිලා වැඩිපුර සල්ලි දෙන අවස්ථා තියෙනවා. අපි රුපියල් 15000ක් ගන්න ගියාම අපට 25000ක් ඇවිල්ලා. ඉතින් ඒගොල්ලො ආයෙ කතා කරලා ඉල්ලාගන්නවා. සමහර වෙලාවට අපිට අඩුවෙන් දීපු අවස්ථාත් තියෙනවා. ඒ වගේ මිනිස්සුන්ට මිනිස්සුන්ගෙ අතින් වැරදි වෙන්න පුළුවන් නෙ. ඒ ගැන පරීක්ෂණ කරනවා. දැන් ඕක අල්ලන් කෑගහනවා ලොකුවට. ඕකත් තව සතියකින් ඉවර වෙනවා, මොකද පරීක්ෂණයක් යනවානෙ. අපේ ආණ්ඩුව හොරකම් කරන්නෙ නැති ආණ්ඩුවක්. අපේ ආණ්ඩුවෙ ඉන්න හැම කෙනෙක්ම තනතුරු, වරප්රසාද, ලොකු රස්සාවල් දාලා ඇවිල්ලා ස්වේච්ඡාවෙන් වැඩකරන අය. මීට පස්සෙ මේ රටේ වෙන ආණ්ඩු නෑ. දින කියන්න බැරි කාලයක් තිස්සේ මේ පාලනය පවතිනවා කියන සහතිකය අපිට තියෙනවා. මාලිමාවේ පාලනය සදාකල් පවතිනවා”
ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති ජාජබ හම්බන්තොට දිස්ත්රික් මැයි රැලිය අමතමිනි.


