රනිල්ට ආජුතපර ලියාදී හරීන්ට සබඳ අපි කඳු නොවෙමු ලියාදීම …

Date:

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඊයේ (06) ඓතිහාසික නාගැනීමක් නාගත්තේය. ඒ, එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සර උත්සවයේදී “සබඳ අපි කඳු නොවෙමු” ගීතයේ පද වරදවා කියවීමෙනි. එයත් එක් වරක් නොව තුන්වරක්ම වරදවා කීමෙනි. ඒ මහතා කීවේ “සබඳ අපි කුදු නොවෙමු – උනත් පරයා නැගෙන” කියාය.

හරීන්ටත් දැන් හතළිස් ඇඳිරිය පැමිණෙන කාලය නිසා කඳු කුදු වී පෙනුණාදැයි දන්නේත් නැත. කොහොමත් රටම කුදු ගැහී තිබෙන මොහොතක හරීන්ගේ කතාවේ වචනත් කුදු වීම එතරම් ලොකු ප්‍රශ්නයකුත් නොවේ. ප්‍රශ්නය ඇත්තේ හරීන්ට මේ කතාව ලියාදුන් කෙනාගේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සිදුකළ අයවැය කතාවේදී ඒ මහතාට ඒ කතාව ලියූ පුද්ගලයා ලියාදී තිබුණේ “ආජුතපර ලාහිලා” ගීතයයි. කතාවට අනුව සිංදුව ගැලපුණු අතර එහි කිසිදු ප්‍රශ්නයක් මතුවුණේ නැත. හරීන්ට කතා ලියා දුන් කෙනාත් හරීන්ට හරියන සිංදුවක් ලියා දුන්නා නම් හරියටම හරියන්නට තිබිණි.

මේ සිංදු කතාව මැද්දේ හිටපු ප්‍රබල දේශපාලනඥයකුගේ සිද්ධියක් ද මතකයට නැඟුණි. ඒ මහතාට වරක් ලියාදී තිබුණු කතාවක “බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී” ගීතයේ කොටසක් අඩංගු කර තිබිණි. කෙසේවෙතත් ඒ මහතා කතාව කරගෙන යද්දී සිංදු කෑල්ලත් එහි තේරුම සහ එය කතාවට ගළපන කොටස කියා තිබුණේ නැත. කතාවෙන් පසුව කතා ලියූ පුද්ගලයා හෙමින් සීරුවේ විමසා තිබුණේ “ඇයි සර් අර සිංදු කෑල්ලත් එක්ක කතාවෙ ටික කිව්වෙ නැත්තෙ ?” කියාය. ඒ දේශපාලනඥයා ගත් කටටම පිළිතුරු දී තිබුණේ “ඒ වචනත් එක්ක ඒක කියවන්න ගියා නම් මට නාගන්න වෙන්නෙ ඕයි, මං කතාවෙ ඒ සම්පූර්ණ කෑල්ලම අතෑරලා දාලා නිකම් හිටියා” යනුවෙනි.

සබඳ අපි කඳු නොවෙමු ගීතය නිර්මාණය වන්නේ දක්ෂ කවියෙකු මෙන්ම වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයකු වන දර්ශන මේදිස් මහතා ලියූ කවියකිනි. දිවයින පුවත්පතේ කවි පිටුවේ පළවුණු එම කවිය ලියා තිබුණේ “උතුරින් දකුණට” යන මාතෘකාව යටතේ ය. “පීඩිත ජාතියෙ පීඩිතයන් ගෙන් පීඩක ජාතියෙ පීඩිතයන් වෙත” යනුවෙන් අතිශය ප්‍රබල දේශපාලනික අර්ථයක් සහිත උප මාතෘකාවක් ද එහි විය. ඒ දෙකම නොමැතිව කවිය ගීතයකට නැඟීම තුළ ඇත්තෙන්ම සිදුවුණේ දර්ශන මේදිස් කවියා බලාපොරොත්තු වුණු දේශපාලනික අර්ථය වෙනුවට “යාළුයි අපි යාළුයි” පන්නයේ ගීතයක් බිහිවීම ය. මෙය මෙරට ගීත ක්ෂේත්‍රය තුළ කවියෙකු අතිශය බරපතළ අසාධාරණයකට ලක්වූ අවස්ථාවක් වශයෙන් සැලකිය හැකිය. ඒ, මෙම ගීතයට අදාළ ඉතිහාසයයි. හරීන් මේ කිසිදෙයක් නොදන්නා බවට කිසිදු සැකයක් අපට ඇත්තේ ද නැත.

ඒ අනුව අපට නැවතත් කියන්නට ඇත්තේ හරීන්ට කතා ලියාදෙන කෙනා කවුරුන් හෝ වේවා ඔහු මින් ඉදිරියටවත් මීට වඩා ප්‍රවේශම් වියයුතු බවය. එක්කෝ කතාවට සිංදු පූට්ටු කරන්නට නොයා සිටිය යුතු අතර නැතිනම් අඩුම ගණනේ සිංදුව දන්නවාදැයි හරීන්ගෙන් කලින් අසා දැනගත යුතුය. හරීනුත් කවුරුන් හෝ ලියාදුන් පළියට තමන් නොදන්නා දේවල් කියවන්නට නොයා සිටිනවා නම් එය ඔහුටම හොඳය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...