නදීක දයා බණ්ඩාර – මහනුවර
කොළඹ LNW:පැවිදි බිමට දරුවන් එක් කර ඇති ආර්ථික දුෂ්කරතා සහිත දෙමාපියන් සඳහා ස්ථිර නිවාස ඉදිකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.
බුද්ධ ශාසනයේ අඛණ්ඩ පැවැත්ම සහ සාමනේර භික්ෂුන් වහන්සේ සිය දෙමාපියන් සම්බන්ධයෙන් පසුතැවිලිවීම වළක්වා ගැනීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා කීවේය.
සාමනේර භික්ෂූන් වහන්සේ පිරිවෙන් තුළ සහ විහාරස්ථාන තුළ ආගමික දිවිපෙවතක් ගත කරන අවස්ථාවේදී ආර්ථික අඟහිඟකම් සහිත සිය දෙමාපියන්ට ඇප උපස්ථාන කිරීමට නොහැකි බැවින් එවැනි දෙමාපියන්ගේ ආර්ථික දුෂ්කරතා වැළැක්වීමට වත්මන් රජය කටයුතු කරන බවත් ඊට සමගාමීව යතිවර මාපිය නිවහන නම් නිවාස ලබාදීමේ වැඩසටහන ආරම්භ කළ බව ඒ මහතා පැවසුවේය.
රුපියල් ලක්ෂ 15ක වියදමින් නිවසක් ඉදි කරන බවත් මෙම වර්ෂයේදී එවැනි නිවාස දහසක් ඉදි කොට සාමනේර භික්ෂුන් වහන්සේලාගේ දෙමාපියන් සඳහා ලබා දෙන බව අමාත්‍යවරයා සඳහන් කරන ලදී.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මැණික්හින්න, සද්ධර්ම පොත්ගුල් විහාරීය නව සංඝාවාස ගොඩනැගිල්ල සඳහා මුල් ගල් තැබීම සහ විහාරීය නව කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාව සඳහා එක් වෙමිනි.


