සටහන – රුවන් නෙළුගොල්ල
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා 2020 අගෝස්තු 25 වනදා සිට ක්රියාත්මක වන පරිදි නියෝජ්ය පොලිස්පති තනතුරට උසස් කිරීමට පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය නියෝග කර තිබේ.
ඒ, ශානි අබේසේකර මහතා විසින් ගොනුකරන ලද අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව ඊයේ (13) ප්රකාශයට පත්කරමිනි.
එසේම වැඩතහනමට ලක්වූ දින සිට මේ දක්වා ඔහුට අහිමිවූ සියලුම හිඟවැටුප් සහ දීමනා ගෙවීමටත් පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය ජාතික පොලිස් කොමිසමට නියම කර ඇත.
2017 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වශයෙන් පත්වූ ශානි අබේසේකර මහතා 2019 ජනාධිපතිවරණයෙන් පසු ගාල්ල නියෝජ්ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ලෙස මාරුකර යැවුණු අතර රංජන් රාමනායකගේ හඬපට සිද්ධියට අදාළව 2020 ජනවාරි මාසයේදී ඔහුගේ වැඩතහනම් කෙරිණි. 2020 අගෝස්තු මාසයේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහුව අත් අඩංගුවට ගත් අතර මාස 10ක් පමණ කාලයක් ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.
වත්මන් රජය බලයට පැමිණීමෙන් අනතුරුව ඔහුව කොන්ත්රාත් පදනම මත යළි සේවයට බඳවා ගත් අතර මේ වනවිට ඔහු යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටී.


