මේක 2022 අප්රේල් මාසේ අන්තිම සතියේ සිද්ධ වුණු සිද්ධියක්.
ඒ දවස්වල විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් වුණු රනිල් වික්රමසිංහ තමන්ගෙ හිතවත්ම උපදේශකයෙක්ගේ ගෙදර ඇවිත් පොඩ්ඩක් සෙට් වුණාලු. ඒ වෙනකොට කැබිනට් ඇමතිවරයෙක් වුණු බන්දුල ගුණවර්ධන සහ තවත් කීපදෙනෙක් එතන හිටියා ලු.
කෑමබීම අස්සේ කතාබහ ඉස්සරහට යනකොට බන්දුල රනිල්ට කිව්වා ලු “සර්, මම මේ පාර අලුත් අවුරුද්දට ගෝටාභය ජනාධිපතිතුමාට සුබපතන්න කතා කරපු වෙලාවේත් සර්ව මතක් කළා. මම ජනාධිපතිතුමාට කිව්වා මේ යන විදියට ඉදිරියේදී සෑහෙන අර්බුද ඇතිවෙන්න පුළුවන්, ඒ නිසා සර්ව අගමැති තනතුරට පත්කරලා අලුත් වැඩපිළිවෙලක් එක්ක ඉස්සරහට යමු කියලා”.
ඕක අහපු ගමන් රනිල් බන්දුලට කඩා පැන්නා ලු “ඔයාට පිස්සුද බන්දුල ? මට කිසිම සම්බන්ධයක් නෑ ගෝඨාභය එක්ක. මට සම්බන්ධයක් තියෙන්නෙ මහින්ද එක්ක විතරයි. ඔහොම පිස්සු විකාර වැඩකරන්න එපා. මං ගැන කිසිම සඳහනක් කරන්න එපා ගෝඨාභය එක්ක කතා කරද්දී” කියලා.
මේ මොකක්ද එකපාරටම සිද්ධ වුණේ කියලා හිතාගන්න බැරිවුණු කට්ටිය ශේප් එකේ මාතෘකාව මාරුකරලා කනබොන වැඩේ ඉස්සරහට කරගෙන ගියා ලු.
කොහොමවුණත් ඔතනින් සති දෙකක් යන්නත් කලින් 2022 මැයි 12 වෙනිදා රනිල් ගිහින් ගෝඨාභයගේ ආණ්ඩුවේ අගමැතිකම බාරගත්තා.
අර බන්දුලට සැරවුණු සිද්ධිය වෙද්දීත් රනිල් ආණ්ඩුවට එකතුවෙන්න සේරම දේවල් කතාවෙලා ලු තිබුණේ. රනිල් කියන්නෙ ඔහොම කෙනෙක් …


