කමේනි අනුස්මරණය: ඉරානයේ අඛණ්ඩතාව සහ පළිගැනීමේ පණිවිඩය

රෂිකා හෙන්නායක ජූලි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

වසර 37කට ආසන්න කාලයක් ඉරානය පුරා සිය අසීමිත බලය පතුරුවා සිටි උත්තරීතර නායක අල්ලාමා අලි කමේනිගේ අභාවයත් සමඟ මැදපෙරදිග දේශපාලන ගමන දැවැන්ත වෙනසකට ලක්ව තිබේ. 86 වැනි වියේ පසු වූ ඔහු, ඇමරිකාව සහ ඉස්රායලය සමඟ ඇති වූ යුද්ධයක මුල් අදියරේදී එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් මියයාම ලෝකයම කම්පනයට පත් කළ සිදුවීමක් විය. තෙහෙරාන් අගනුවර පැවැත්වෙන මෙම දැවැන්ත අවමංගල්‍ය උත්සවය වැලපීමක් පමණක් නොවන අතර, එය ඉරාන ඉස්ලාමීය සමූහාණ්ඩුව විසින් ලෝකය වෙත මුදාහරින ප්‍රබල දේශපාලන පණිවිඩයක් බවට පත්ව තිබේ.

අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන ‘මොසල්ලා’ (Grand Mosalla) භූමිය පුරා රතු පැහැති කොඩි ලෙලදෙනු දක්නට ලැබුණි. ෂියා ඉස්ලාම් දහමට අනුව රතු කොඩියක් යනු ප්‍රාණපරිත්‍යාගය පමණක් නොව, එයින් ‘ලේ පලිගැනීම’ (Vengeance) සංකේතවත් කෙරේ. උත්සවයේ නිල සටන් පාඨය ලෙස “අපි නැගී සිටිය යුතුයි” (We must rise) යන්න භාවිතා කර ඇති අතර, එය රතු සහ කළු පසුබිමක මිට මෙලවූ අතක රූපයක් සමඟ ප්‍රදර්ශනය කර ඇත. මෙයින් පැහැදිලි වන්නේ තම නායකයාගේ ඝාතනයට ප්‍රතිප්‍රහාර දීමට ඉරාන පාලන තන්ත්‍රය සූදානම් බවයි.

“අපි සියල්ලන්ම මෙහි සිටින්නේ අපේ නායකයා වෙනුවෙන් ලේ පලිගැනීමටයි.” — ෆාතිමා (අවමංගල්‍යයට සහභාගී වූ 55 හැවිරිදි කාන්තාවක්)

අලි කාමේනිගේ අභාවයෙන් පසු නව උත්තරීතර නායකයා ලෙස ඔහුගේ පුත් මොජ්ටාබා කාමේනි පත් කර ඇත. කෙසේ වෙතත්, අතිශය අසාමාන්‍ය කරුණක් වන්නේ නව නායකයා සිය පියාගේ අවමංගල්‍ය උත්සවයට පවා සහභාගී නොවීමයි. ආරක්ෂක හේතූන් මත ඔහු ප්‍රසිද්ධියේ පෙනී නොසිටින අතර, ඊශ්‍රායලය විසින් ඔහුවද “ඝාතනය කළ යුතු ඉලක්කයක්” ලෙස නම් කර තිබීම මෙම රහස්‍යභාවයට ප්‍රධාන හේතුව වී තිබේ. ඔහු බලයට පත්වූ දා සිට මේ දක්වා ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම, ඉරානයේ අනාගත දේශපාලන ස්ථාවරත්වය පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කරන්නකි.

මෙම අවමංගල්‍යය සඳහා ඉරානය පුරා දස ලක්ෂ 10ක පමණ ජනතාවක් සහභාගී වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරන අතර, ඒ වෙනුවෙන් ඉරිදා සහ සඳුදා යන දෙදිනම රජයේ නිවාඩු ප්‍රකාශ කරමින් රටම අකර්මන්‍ය කර තිබේ. 1989 දී රුහොල්ලා කුමේනිගේ අවමංගල්‍යයේදී ඇති වූ දැඩි තදබදය නිසා අට දෙනෙකු මියගිය අමිහිරි අත්දැකීම් සිහිපත් කරමින්, මෙවර ආරක්ෂාව උපරිම කර ඇත. කාමේනිගේ දේහය රැගත් පෙට්ටිය වීදුරු ආවරණයකින් වටකර ලොරි රථයක් මත තබා උස් වේදිකාවක ප්‍රදර්ශනය කෙරුණේ ජනතාව දේහය වෙත ළඟාවීම පාලනය කිරීම සඳහාය.

මීට අමතරව, ‘මොසල්ලා’ භූමියට ඇතුළු වන සෑම පුද්ගලයෙකුම දැඩි ශරීර පරීක්ෂාවකට ලක් කෙරුණු අතර පවර් බෑන්ක් (Power banks), ඉයර්ෆෝන් සහ ගිනිපෙට්ටි වැනි විද්‍යුත් හා අනතුරුදායක උපකරණ සියල්ල ආරක්ෂක අංශ භාරයට ගැනුණි. අවට ගොඩනැගිලි මත ස්නයිපර්වරුන් සහ වීදි පුරා සන්නද්ධ රථ යොදවා තිබුණි. සෙල්සියස් අංශක 36ක දැඩි උණුසුම මධ්‍යයේ වුවද, දහස් ගණනක් වූ ‘මොකෙබ්’ (Mokebs) හෙවත් තාවකාලික ආගමික සේවා මධ්‍යස්ථාන හරහා ජනතාවට පානීය ජලය සහ සිසිලන පහසුකම් සපයමින් මෙම දැවැන්ත ජනගංගාව කළමනාකරණය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

මෙම අවමංගල්‍ය උත්සවය ඉරානයේ කලාපීය බලය පෙන්වන කැඩපතක් බවට පත්ව ඇත. පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ඇතුළු රටවල් 60ක නියෝජිතයන් මෙයට සහභාගී වූ නමුත්, යුරෝපීය රටවලට මේ සඳහා ආරාධනා නොකිරීම කැපී පෙනෙන භූ-දේශපාලනික පණිවිඩයක් විය. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) සහාය ලබන හමාස්, හූති සහ හිස්බුල්ලා වැනි සංවිධානවල නියෝජිතයන් මෙයට එක්ව සිටියහ. විශේෂයෙන්ම 2024 දී ඝාතනය වූ හසන් නස්රල්ලාගේ සහ ඉමාඩ් මුග්නියේගේ පවුලේ සාමාජිකයන්ගේ පැමිණීම හරහා “ප්‍රතිරෝධයේ අක්ෂය” (Axis of Resistance) තවදුරටත් ශක්තිමත් බව පෙන්වීමට ඉරානය උත්සාහ කළේය.

අගනුවර දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ශෝක වෙද්දී, තවත් පිරිසක් මෙම දීර්ඝ නිවාඩුව ප්‍රයෝජනයට ගනිමින් කැස්පියන් මුහුද ආශ්‍රිත සිසිල් ප්‍රදේශවල සංචාරය කිරීමට පෙළඹී තිබේ. තෙහෙරාන්-ෂොමාල් අධිවේගී මාර්ගයේ පැය ගණනාවක් පවතින දැඩි රථවාහන තදබදය මෙයට සාක්ෂි දරයි. මෙය ඉරාන සමාජය තුළ පවතින මතවාදී බෙදීම සහ රජයේ නිල ශෝක වීමේ වැඩපිළිවෙළට පරිබාහිරව සිටින පිරිසක් ද සිටින බව මනාව පිළිබිඹු වෙයි.

අල්ලාමා අලි කමේනිගේ මරණය මැදපෙරදිග යුද්ධයේ නව හැරවුම් ලක්ෂයක් වනු ඇති බව නිසැකය. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ප්‍රධානී අහමඩ් වාහිඩි පවසන පරිදි, සතුරන් වඩාත් අවධානයෙන් සිටිය යුතුය. ඔහු අවධාරණය කළේ, “සතුරන් අපේ යටත් වීම පිළිබඳ ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් සොහොනටම රැගෙන යනු ඇති” බවයි. ඉරාන බලධාරීන් පවසන පරිදි මෙම පූජනීය රුධිරය ඉස්ලාමීය ලෝකයේ ජයග්‍රහණයේ තීරණාත්මක මොහොතක් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය පොලීසියේ ක්‍රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:බ්‍රිතාන්‍යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...