සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පැයට කිලෝමීටර 350ක පමණ වේගයෙන් හමා යන දැඩි සුළං සමඟින් බාවි (Bavi) සුපිරි ටයිෆූන් කුණාටුව ඇමරිකානු පැසිෆික් දූපත් වෙත ළඟා වී ඇති බව එක්සත් ජනපද ජාතික කාලගුණ සේවය (NWS) නිවේදනය කර තිබේ. එමෙන්ම එක්සත් ජනපද හමුදාවට අයත් ඒකාබද්ධ ටයිෆූන් අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය (JTWC) ද බාවි සුපිරි ටයිෆූන් තත්ත්වයට පත්ව ඇති බව තහවුරු කර ඇත.
මෙම කුණාටුව හේතුවෙන් විශාල ව්යසනකාරී හානි සිදුවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇති අතර, මුහුදු රළ මීටර් 11ක් (අඩි 35ක්) දක්වා උසට නැගිය හැකි බවද සඳහන් කරයි. ඒ අනුව කුණාටුවේ දැඩිම බලපෑම ඇමරිකානු භූමියක් වන ගුවාම් දූපතට එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජනගහනය 170,000කට ආසන්න ගුවාම් දූපතේ වැසියන්ට ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසත්, අනවශ්ය ගමන් බිමන්වලින් වැළකී සිටින ලෙසත් බලධාරීන් දැනුම් දී ඇත. එමෙන්ම විදුලි සැපයුම් බිඳවැටීම්, ගංවතුර තත්ත්වයන් සහ දේපළ හානි පිළිබඳවද විශේෂ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
වාර්තා අනුව, බාවි යනු පසුගිය දශකය තුළ එක්සත් ජනපද භූමියට බලපෑ 11 වැනි සුළි කුණාටුවයි. බටහිර පැසිෆික් කලාපය නිවර්තන සුළි කුණාටු බහුලව ඇතිවන ප්රදේශයක් වුවද, මෙතරම් ප්රබල සුපිරි ටයිෆූන් ඇමරිකානු දූපත් වෙත බලපෑම් කිරීම සාපේක්ෂව දුර්ලභ සිදුවීමක් ලෙස සැලකේ.
මේ අතර, දේශගුණික විපර්යාස හේතුවෙන් අධි ප්රබල ටයිෆූන් කුණාටු වඩාත් නිතර හා තීව්රව ඇතිවීමේ ප්රවණතාවක් දක්නට ලැබෙන බව විද්යාඥයෝ පෙන්වා දෙති. එබැවින් ඉදිරි දින කිහිපය තුළ කුණාටුවේ ගමන් මාර්ගය සහ බලපෑම් පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටින ලෙස කාලගුණ බලධාරීන් ජනතාවට උපදෙස් ලබාදී ඇත.

