ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපතිවරයකු වූ සුරේෂ් සුබ්‍රමනියම් මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වසන් කටයුතු අද (17) පස්වරු 3.30ට බොරැල්ල පොදු සුසාන භූමියේ (නව ආදාහනාගාරය) දී සිදු කිරීමට නියමිත ය. මේ කෙටි සටහන අපගේ දිගුකාලීන මිතුරෙකු වූ ඔහු වෙනුවෙනි.
“ලංකා නිව්ස් වෙබ්” මාධ්‍ය ආයතනයට මේ ගෙවෙන්නේ 18 වැනි වසරයි. එයින් වසර 15ක්ම පමණ අපට සුරේෂ් සුබ්‍රමනියම්ගේ අනුග්‍රහය විවිධාකාරයෙන් ලැබිණි. අපි මුලින්ම ඔහුට ඒ සම්බන්ධයෙන් අපගේ ස්තූතිය නැවත වරක් පුදකරන්නෙමු. සුරේෂ් සහ අප අතර සම්බන්ධය ගොඩනැඟුවේ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
ඇත්තෙන්ම සුරේෂ් සුබ්‍රමනියම් යනු කවුරුද යන්න මෙරට බොහෝදෙනෙකු හරියාකාරව දන්නේ නැත. දැවැන්ත ව්‍යාපාරිකයකු වූ ඔහුට අයත් කිසිදු ව්‍යාපාරයක් ශ්‍රී ලංකාව තුළ නැත. නමුත් ඔහුගේ ජාත්‍යන්තර ව්‍යාපාර ජාලය අතිශයින්ම විශාලය. ඒ කොතරම්දයත් මීට වසර 25කට පෙර ඇමරිකාවට එල්ලවූ 9/11 ත්‍රස්ත ප්‍රහාරයේදී ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ද්විත්ව කුළුණු විනාශයට පත්වීමෙන් අනතුරුව නිව්යෝර්ක් නගරයේ විදුලිය බිඳවැටුණු අවස්ථාවේදී පැය 24ක් තුළ බාර්ජ් යනුවෙන් හැඳින්වෙන පාවෙන විදුලි බලාගාර යොදාගෙන එම නගරයේ විදුලි සැපයුම ප්‍රකෘතිමත් කරන ලද්දේ සුරේෂ් සුබ්‍රමනියම්ට අයත් සමාගමක් විසිනි. බලශක්ති ක්ෂේත්රයට සම්බන්ධ ඔහුගේ ව්‍යාපාර මූලිකවම අප්‍රිකානු රටවල සහ දකුණු ඇමරිකාවේ පැවතිණි. ස්වභාවික වායු (LNG) ආශ්රිත ව්‍යාපාරවල කප්පිත්තෙකු වශයෙන් ද ඔහු හැඳින්විණි. ඔහුගේ තාවකාලික වාසස්ථාන වූයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර සහ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරයි.
සුරේෂ් සුපුරුදු පරිදි සෞඛ්‍ය සම්පන්නව සිටියේ නම් මේ සතිය යනු ඔහු විම්බල්ඩන් ටෙනිස් ශූරතා තරගාවලිය නැරඹීමට ගොස් ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති සතියයි. ඔහු ජාත්‍යන්තර ටෙනිස් ක්‍රීඩාවේ ඉහළම තරගාවලිය වන විම්බල්ඩන් ටෙනිස් ශූරතාව නැරඹීමට සෑම වසරකදීම විශේෂ ආරාධිතයකු වශයෙන් සහභාගී වන්නෙකි. ඔහු සමග ඔහුගේ බිරිඳත් සෑම වසරකදීම මීට එක්වන අතර මිතුරන් කිහිපදෙනෙකුට ද ඔහු සමග එහි පිවිසීමට අවස්ථාව ලැබේ. රොජර් ෆෙඩරර්, ඇන්ඩි මරේ, නෝවැක් ජොකොවිච්, රෆායල් නඩාල් වැනි ලෝක ප්‍රකට සුපිරි ටෙනිස් තරු ඔහුගේ පුද්ගලික මිතුරන් විය. ලන්ඩන් නුවර වාසස්ථානයට මෙවන් සුපිරි ටෙනිස් ක්‍රීඩකයින් නිතරම ඔහුව හමුවීමට පැමිණෙනු දක්නට ලැබුණි. සුරෙෂ් සුබ්‍රමනියම් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති වශයෙන් පොදුවේ මෙරට ක්‍රීඩාවට කළ අතිමහත් සේවයට අමතරව ඔහු මෙරට ටෙනිස් ක්‍රීඩාවට ද අතිමහත් සේවයක් කළේය.
සුරේෂ් හොඳ ගොල්ෆ් ක්‍රීඩකයෙකි. එමෙන්ම ඔහු ලන්ඩනයට පැමිණි සෑම අවස්ථාවකදීම පාහේ අපවන් දුහුනන් සමග ද වැඩි කාලයක් ගත කළේය. ඒ, ඔහු ශ්‍රී ලංකාව කෙරෙහි දැක්වූ අපමණ ආදරය නිසා ය. ඒ මතකයන් සදා නොමියෙනු ඇත.
සුරේෂ්ට ජාතික ඔලිම්පික් කමිටුවට තරග කරන්නැයි කීවේ එවකට විපක්ෂ නායක රනිල් විසිනි. හිටපු සභාපති හේමසිරි ප්‍රනාන්දුගෙන් පසු සුරේෂ් ජාතික ඔලිම්පික් කමිටු සභාපති ධුරයට පැමිණියේය. ඒ, හේමසිරිගේ සහායත් ලබමිනි.
සුරේෂ්ට කිසිදු දේශපාලන පක්ෂයක් තිබුණේ නැත. සෑම පක්ෂයකම ඔහුට මිතුරන් සිටියේය. නමුත් මොන මිතුරුකම් තිබුණත් ඔහු කිසිවිටෙක දූෂණය ඉවසුවේ නැත. දැඩි දූෂණ විරෝධියකු වූ ඔහු තමන්ගේ හොඳම මිතුරන් පවා කිසිදු සමාවකින් තොරව තනතුරුවලින් ඉවත් කළ අවස්ථාවන් තිබිණි. ඒ, ඔහුගේ ප්‍රතිපත්තිගරුක භාවයේ තරමයි. ඔහු ඇත්තෙන්ම තනතුරුවලට ආභරණයක් වූයේය. ඔහු නිසා තනතුරු බැබළුණා මිස තනතුරු නිසා ඔහු බැබළුණා නොවේ.
එමෙන්ම උඝ්ර රනිල්වාදියකු වූ ඔහු රනිල්ට තිබුණු විශාලතම ශක්තියක් බව පැවසිය හැකිය. රනිල් ද ඔහුට ඉතාම ගරු කළ බව අපට පුද්ගලිකවම පැවසිය හැකිය. 2022 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව සුරේෂ්ට ඇමතුමක් ලබාදෙමින් විමසා තිබුණේ “මගෙන් මොකක්ද වෙන්න ඕනේ ?” යනුවෙනි. ඊට ක්ෂණිකව පිළිතුරු දෙමින් සුරෙෂ් පවසා තිබුණේ “සර් සර්ගේ වැඩේ හරියට කරන්න. සර්ට මොනවා හරි ඕනෙ වුණොත් මට කතාකරන්න. මට මොකුත් ඕනෙ නැහැ. මට ඇති තරම් දේවල් තියෙනවා. ඒ වගේම මට ලංකාවේ මොකුත් කරන්න ඕනෙත් නැහැ” යනුවෙනි. සුරෙෂ් යනු එවැනි පුද්ගලයෙකි.
ආදි රාජකීයයෙකු වූ සුරේෂ් අපගේ ද හිටපු මාණ්ඩලික ලේඛකයකු වූ BBC සංදේශයේ හිටපු සංස්කාරක ප්‍රියත් ලියනගේගේ සහ මනෝ තිත්තවැල්ලගේ පන්ති සගයෙකි. ඔවුන් තිදෙනා අද රාත්‍රියේ යළිත් මුණගැසෙනු ඇති.
ආවොත් යා යුතුය. එය කිසිවෙකුට මගහැර යා නොහැකි නියමයයි. සුරේෂ්ගේ නික්ම යාම අපට දරාගත නොහැකි පාඩුවකි. තවත් බොහෝදෙනෙකුට ද ඒ අයුරින්ම ඔහුගේ අඩුව තදින් දැනෙනු ඇත. හොඳ මිනිසෙකු ලෙසින්, හොඳ මිතුරෙකු ලෙසින් ජීවත්වී, තම ජීවිතය තුළින් රටටත් යහපතක් සිදුකර, අවසානයේ අද නික්ම යන සුරේෂ් සුබ්‍රමනියම් සුමිතුරාට අපි සුබගමන් යැයි පතන්නෙමු.
“සුවසේ නිදන්න කුමරුවනි! දේවදූතයන් ඔබේ නින්දට සෙවන සලසත්වා!”
~ Chavith

