රෂිකා හෙන්නායක අගෝස්තු 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉන්දියාවේ මිලියන දෙකකට අධික සිසුන් පිරිසකගේ අනාගතය තීරණය කරන NEET විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම, එරට මෑත කාලීන ඉතිහාසයේ දැවැන්තම සමාජ කැළඹීමකට මග පාදා තිබේ. නමුත් මේ විරෝධතාවල ඇත්තේ වෙනත් කිසිදු අරගලයක නොදුටු අමුතුම ස්වරූපයකි. තමන්වම “කැරපොත්තන්” ලෙස හඳුන්වා ගන්නා තරුණ පරපුරක්, මෝදි පාලනයේ පදනම සොලවා ඇත්තේ කෙසේද?
‘කැරපොත්තන්’ යන නාමයේ උපත
මෙම විරෝධතාවයේ වඩාත්ම ආකර්ශනීය මෙන්ම තියුණු දේශපාලන ප්‍රකාශය සැඟව ඇත්තේ “Cockroach Janta Party” (CJP) යන නාමය තුළයි. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරුවරයා විසින් රැකියා විරහිත තරුණයන් සහ ක්‍රියාකාරීන්ව “කැරපොත්තන්” ලෙස හඳුන්වමින් කළ අපහාසාත්මක ප්‍රකාශයක් සිසුන් සිය අවියක් කර ගත්හ. ඔවුන් තමන්වම “කැරපොත්තන්” ලෙස හඳුන්වා ගනිමින් පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) නාමය උපහාසයට ලක් කරමින් “CJP” ලෙස තමන්ව හඳුන්වා දීම ආරම්භ කළහ. මෙය ‘මීම්’ (Memes) ව්‍යාපාරයකින් ඔබ්බට ගොස්, බලයට අභියෝග කරන සංවිධානාත්මක දේශපාලන හාස්‍යයක් බවට පත් විය.
ශිෂ්‍ය බලය හමුවේ දණ ගැසූ රජය
මෝදි රජයේ තෙවන ධුර කාලය ආරම්භයේදීම මතු වූ මෙම අර්බුදය, රජය දැඩි පසුබෑමකට ලක් කිරීමට සමත් විය. විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් හට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ අතර, මෙය සිසුන් ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස සැලකේ. එමෙන්ම, දිල්ලි නුවර නීතිය හා සාමය පාලනය කරන, අගමැතිවරයාගේ සමීපතම හිතවතෙකු වන ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා (Amit Shah) ද සිය ධුරයෙන් ඉවත් කළ යුතු බවට විපක්ෂය දැඩි පීඩනයක් එල්ල කළේය. මෙය රජයට එල්ල වූ බරපතල දේශපාලන අභියෝගයකි.
විරෝධතා උච්චතම අවස්ථාවට පැමිණි විට, අගමැති නරේන්ද්‍ර මෝදි වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් තමන්ට සහ සිය මියගිය මවට (Late mother) අපහාස කළ සිසුන්ට තමා “සමාව දෙන බව” ප්‍රකාශ කළේය. ඔහු සිසුන්ව හැඳින්වූයේ “නොමඟ ගිය දරුවන්” ලෙසයි.
ඔහුගේ ප්‍රකාශය මූලාශ්‍රයට අනුව මෙසේය…
“මොවුන් නොමඟ ගිය දරුවන් ය. ඔවුන්ට නිවැරදි මාවත පෙන්වීම අපගේ යුතුකමයි. ඔවුන්ට දඬුවම් කිරීම, උසාවි ගානේ රස්තියාදු කිරීම හෝ සමාජය තුළ ඔවුන්ව පීඩාවට පත් කිරීමෙන් තත්ත්වය වෙනස් නොවේ. …මම ඔවුන්ට සමාව දීමට කැමතියි.”
කෙසේ වෙතත්, අගමැතිවරයා මෙසේ පවසද්දී භූමියේ යථාර්ථය බෙහෙවින් වෙනස් විය. විරෝධතාකරුවන්ට එරෙහිව කඳුළු ගෑස්, පෙලට් තුවක්කු (Pellet shotguns) සහ බැටන් ප්‍රහාර එල්ල කරමින් රජය දැඩි මර්දනයක් දියත් කළේය. දිල්ලි විශ්වවිද්‍යාලයේ 21 හැවිරිදි ශිෂ්‍යාවක වන රාධිකා කුමාර් පවසන්නේ, අගමැතිවරයා ඉන්ස්ටග්‍රෑම් හරහා තමා “වින්දිතයෙකු” ලෙස පෙන්වීමට උත්සාහ කරමින් සදාචාරාත්මක පොලිස්කාරයෙකුගේ භූමිකාව රඟපාන බවයි. රජය ලබා දුන් පොරොන්දු කඩ කරමින් සිය ගණනක් සිසුන් අත්අඩංගුවට ගෙන ඇති බවට ද චෝදනා එල්ල වේ.
මෙම අරගලය ඩිජිටල් අවකාශයේ ඉතා දරුණු ස්වරූපයක් ගත්තේය. රජයට පක්ෂපාතී අන්ත දක්ෂිණාංශික හින්දු ජාතිකවාදීන් විසින් විරෝධතාවලට සම්බන්ධ වූ නව යොවුන් දැරියන්ගේ සහ තරුණියන්ගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදාහරිමින් (Doxing), ඔවුන්ට ලිංගික හිංසන සහ මරණ තර්ජන එල්ල කළහ. මීට අමතරව, අගමැතිවරයාට අපහාස වන අයුරින් පළ වූ වීඩියෝ සම්බන්ධයෙන් හයිද්‍රාබාද් (Hyderabad) පොලිසිය විසින් 'මෙටා' (Meta) සමාගමේ ඉන්දීය ප්‍රධානී අරුන් ශ්‍රීනිවාස්ට එරෙහිව ද නඩුවක් ගොනු කර ඇත. රජය විසින් පනවා ඇති නව නීතිවලට අනුව, වාරණය කළ යුතු අන්තර්ගතයන් ඉවත් කිරීමට සමාජ මාධ්‍ය ආයතනවලට තිබූ පැය 36ක කාලය පැය 3 දක්වා අඩු කර තිබීම ද විශේෂත්වයකි.
විභාග පද්ධතියේ විශ්වසනීයත්වය යළි තහවුරු කිරීමේ අරමුණින්, රජය විසින් පොදු විභාගවලට අදාළ නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. මෙමගින් විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමට සහ වංචාවලට සම්බන්ධ වන පුද්ගලයන්ට දිගුකාලීන සිරදඬුවම් සහ අධික දඩ මුදල් පැනවීමට යෝජනා කර තිබේ. මෙය මර්දනයට එහා ගිය ව්‍යුහාත්මක විසඳුමක් ලෙස රජය පෙන්වා දීමට උත්සාහ කරයි.


