උපාලි කොළඹගේ
කොළඹ LNW:බන්ධනාගාර තුළ සිදුවන කැරලි ක්‍රමයෙන් එදිනෙදා සිදුවන සාමාන්‍ය සිදුවීම් බවට පත්වෙමින් පවතී. එහෙත් මෙය කිසිසේත්ම සාමාන්‍ය තත්ත්වයක් නම් නොවේ. මීගමුව ඛේදවාචකයෙන් ඉතා සුළු කලෙකින් මහර බන්ධනාගාරය තුළ සිදුවූ සිද්ධියේ සුලමුල තවමත් පරීක්ෂණ මට්ටමේ පවතී. මින් සිදුවූ පාඩුව රුපියල් කෝටි 15 ඉක්මවා ඇතැයි දැනට ගණන් බලා ඇති සංඛ්‍යා ලේඛන වලට අනුමාන කර තිබේ. කෙසේ වතුදු මෙවරද මිනිස් ජීවිතයක් බිලිගෙන තිබේ.
මෙය බන්ධනාගාර තුළ පවත්නා තදබදය නිසා සිදු වූවක්ය යන්න ජනප්‍රිය මතයයි. බන්ධනාගාර පද්ධතිය තුළ රැඳවියන් දසදහස් ගණනකට පුළුවන් පමණක් ඉඩ පවතින අතර දැනට ඒ තුළ රැඳවියන් හතලිස් දහස් ගණනක් සිටින බව පසුගියදා හෙළිදරව් විය. මේ අනුව නියමිත සංඛ්‍යාවට වඩා සිව් ගුණයක් ඒ තුළ රඳවා ගෙන සිටින බව අවිවාදිතය . මේ නිසා රැඳවියන් ට පමණක් නොව බන්ධනාගාර නිලධාරීන්ටද දැඩි පීඩනයක් පවතින බව අමුතුවෙන් කිව යුතු නැත.
නමුත් මා මතු කරන ප්‍රශ්නය මීට පරිබාහිරව කිසියම් සැඟවුණු හේතුවක් මේ තුළ තිබෙි ද යන්නය. එයට මේ අවස්ථාවේ ඔව් හෝ නෑ යනුවෙන් නිශ්චිත පිළිතුරක් දිය නොහැකි නමුත් එවැන්නක් සිදුවිය හැකිය යන බලවත් සැකයක් මා තුළ පවතී.
කෙසේ වුවත් මෙවැනි දරුණු ගණයේ සිදුවීමක් වන්නට කුමන පරිසරයක් යටතේ වුවත් පවත්නා ඉඩ සීමිත බවද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. මීගමුව ඛේදවාචකයෙන් පසු හැම බන්ධනාගාරයකම ආරක්ෂාව තරකළ බවද කිහිප වරකදීම ප්‍රකාශය ට පත්විය.
මෙහි හාස්‍යජනක හා උත්ප්‍රාසවත්ම කරුණ නම් ආණ්ඩුවේ හා විපක්ෂයේ මොට්ටපාලලා මේ සම්බන්ධයෙන්ද දෙපැත්ත බෙදී එකිනෙකාට ඇඟිල්ල දිගුකරන විකට රංගනයයි. ආණ්ඩුවේ ඇතැම් අය කියන්නේ පසුගිය ආණ්ඩුවල අකාර්යක්ෂමතාවය හා නොසැලකිලිමත්කම නිසා හිර ගෙවල් අපායන් බවට පත්වීමෙන් මෙම අසහනකාරී තත්ත්වය උද්ගතවූ බවයි. එම තත්ත්වය සමහන් කිරීමට කිසියම් කාලයක් අවශ්‍ය බවද ඔවුහූ කියා සිටිති.
කෙසේ වුවත් විපක්ෂය බෝලය පාස් කරනුයේ වර්තමාන ආණ්ඩුවටය. තර්කානුකූලව එසේ කිරීම නිවැරදිය. නමුත් ඊට එහා ගිය දුර්දාන්ත අතීතයක් මේ තුළ තිබෙන බව ඔවුහූ හිතාමතාම අමතක කරති. සිදුවීම් දාමයක උච්චතම අවස්ථාව මේ යැයි ඔවුහූ නොකියති.
බන්ධනාගාරය තුළ කුඩු නැත්නම් විෂ මත් ද්‍රව්‍ය හිඟවීමෙන් මෙම අසහනකාරී තත්ත්වය හටගත් බවක්ද වාර්තා වෙයි. මේ පුවත සත්‍ය නම් ඒ තුළින් ගම්‍ය වනුයේ කුමක්ද ? බන්ධනාගාර මේ තාක් කුඩු වලින් ස්වයංපෝෂිතව තුබූ බවද?,
මේ තත්ත්වය හා කුඩු අතර ඓන්ද්‍රීය සම්බන්ධයක් තිබෙන බවය අපේ අනුමානය. එය කිසිසේත් සරලව ගතයුතු තත්ත්වයක් නොවන බවද පැහැදිලිය . පිටස්තර ජාවාරම් කාරයන් පවා මෙම කැරලි යට සිටින බව සිතිය හැක.
මේවා ට සෘජු දේශපාලන සම්බන්ධයක් ඇතැයි සිතිය නොහැක. නමුත් බන්ධනාගාර තුළ සිටින හා ඇප ලබා සිටින දේශපාලන සැකකරුවන් මෙවැනි සිදුවීම්වලින් අමන්දානන්දයට පත්වන බව නම් බැහැර කළ නොහැකි කරුණකි.
විෂ මත්ද්‍රව්‍ය වෙළඳාම ජාත්‍යන්තර මට්ටමින් සිදුකෙරෙන්නකි. ඊට ශ්‍රී ලංකාව තුළ ද ඒ අයද යුව රජ මට්ටමේ පුද්ගලයන්ය. මේ ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය වැටලීම් නිසා දරුණුවට පහර වැදී ඇත්තේ මෙම අතර මැදි ව්‍යාපාරිකයන්ටය. ඔවුන්ට දැන් දේශපාලන හයියක් නැති බවද නොරහසකි .
එමනිසා පරීක්ෂණ පවත්වද්දී මෙම කරුණු ගැන දැඩි ලෙස අවධානය කළ යුතු බවද සඳහන් කරනු කැමැත්තෙමි .
මෙහි දී අවධානය යොමු කළයුතු භයානක කරුණ නම් එකවර බන්ධනාගාර සියල්ල තුළ හෝ කිහිපයක් තුළ මෙවනි කැරලිමය තත්ත්වය හටගැනුනොත් සිදුවිය හැකි අරාජික තත්ත්වයයි. එසේ සිදු නොවේවායි පතමු.
එවැනි අවස්ථාවක වුවත් වී තමන් ගේ දේශපාලන ආශාවන් මුදුන් පත් කර ගනීමට පුල පුලා සිටින අවස්ථාවාදීන් අප අතරම සිටින බව අමතක නොකළ යුතුය.


