රෂිකා හෙන්නායක අගෝස්තු 06 , කොළඹ LNW :
අද අප අත්විඳින අධික රස්නය සහ අස්වාභාවික කාලගුණ වෙනස්වීම් හමුවේ දිවයිනේ වියළි කලාපයේ ජල මූලාශ්‍ර වේගයෙන් සිඳී යද්දී, ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාව පෙන්වා දෙන්නේ ‘ප්‍රබල එල් නිනෝ’ තත්ත්වයක් ගෝලීය වශයෙන් තීව්‍ර වෙමින් පවතින බවයි. 2026 වසරේ අගෝස්තු මාසයේ සිට ආරම්භ වන මෙම දේශගුණික සංසිද්ධිය අපේ සමාජ-ආර්ථික පද්ධතියට එල්ල කරන ප්‍රබල අභියෝගය තේරුම් ගැනීම දැන් අත්‍යවශ්‍ය කරුණකි.
සෙල්සියස් අංශක 2.9ක භයානක උෂ්ණත්ව වෙනස්වීමක්
WMO දත්තවලට අනුව, එළඹෙන නොවැම්බර් මාසය වන විට සාගර මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.9කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. සාමාන්‍යයෙන් එල් නිනෝ තත්ත්වයක් ප්‍රකාශ කරනු ලබන්නේ සාගර උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.5ක සීමාව ඉක්මවා ගිය විටය. නමුත් මෙවර වාර්තා වන අංශක 2.9ක අගය එම මූලික සීමාව මෙන් හය ගුණයකට ආසන්න අගයකි. මෙය පෘථිවියේ තාප පාලන පද්ධතිය බරපතල ලෙස අකර්මන්‍ය වී ඇති බවට ලැබෙන පෙර නොවූ විරූ අනතුරු ඇඟවීමකි.
මෙවර එල් නිනෝ තත්ත්වය තනිව ක්‍රියාත්මක නොවේ. ඒ හා සමගාමීව 'ධන ඉන්දියානු සාගර ඩයිපෝල' (Positive Indian Ocean Dipole) තත්ත්වයක් ද වර්ධනය වෙමින් පවතී. මීට අමතරව, නිවර්තන අත්ලාන්තික් සාගරයේ ද මතුපිට උෂ්ණත්වය සාමාන්‍යයට වඩා ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇත. මෙම සාගර ක්‍රියාකාරකම් සියල්ල එකවර සිදුවීම කාලගුණික බලපෑම් තීව්‍ර කරන සාධකයක් (Force Multiplier) ලෙස ක්‍රියා කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු සාගර කලාපයට අයත් රටවලට නියඟය, ගංවතුර සහ මාරන්තික ලැව්ගිනි ඇතිවීමේ අවදානම බෙහෙවින් වැඩි විය හැකි බව පෙනී යයි.
එක හා සමාන 'එල් නිනෝ' දෙකක් නොමැති වීම

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අවධාරණය කරන්නේ සෑම එල් නිනෝ තත්ත්වයක්ම අනන්‍ය බවයි. වර්තමානයේ පෘථිවිය පවතින්නේ ඉතිහාසයේ ඉහළම සාගර උෂ්ණත්වය වාර්තා වන වටපිටාවක බැවින්, අප දැන් සිටින්නේ කිසිවෙකුටත් නිවැරදිව පුරෝකථනය කළ නොහැකි අවිනිශ්චිත තත්ත්වයකයි (Uncharted Waters). පැරණි කාලගුණ ආකෘති මත පමණක් පදනම් වී මෙවර එල් නිනෝවේ ස්වභාවය තීරණය කළ නොහැකි වන්නේ, පෘථිවිය මීට පෙර පැවති තත්ත්වයට වඩා බෙහෙවින් රත් වී ඇති බැවින් කාලගුණ රටා අනපේක්ෂිත ලෙස වෙනස් විය හැකි බැවිනි.
: ශ්‍රී ලංකාවට එල්ල වන සෘජු බලපෑම
ලෝක කාලගුණ වාර්තාවලට අනුව ඉදිරි කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ කාලගුණ රටාව පහත පරිදි වෙනස් වනු ඇතැයි පුරෝකථනය කර ඇත..
- ජූලි – අගෝස්තු: වර්ෂාපතනය සාමාන්‍ය ප්‍රමාණයට වඩා සැලකිය යුතු ලෙස අඩුවීම.
- සැප්තැම්බර්: පවතින තත්ත්වය අතිශය අවිනිශ්චිතය (මෙය වඩාත් අවධානයෙන් සිටිය යුතු සංක්‍රාන්ති කාලයකි).
- ඔක්තෝබර් – දෙසැම්බර්: සාමාන්‍ය තත්ත්වය ඉක්මවූ තද වැසි සහ ගංවතුර අවදානම.
- 2027 ජනවාරි – අප්‍රේල්: දැඩි වියළි කාලගුණයක් හෝ නියඟයක් ඇතිවීමේ වැඩි සම්භාවිතාව.
මෙම කාලසටහනට අනුව කෘෂිකර්මාන්තය, බලශක්ති උත්පාදනය සහ ජල කළමනාකරණය පිළිබඳ දැඩි සැලසුම් සකස් කිරීම රජයේ මෙන්ම ජනතාවගේ ද වගකීමකි.

“සූදානම් වීමේ කාලය දැන් අවසන්”
එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මෙම දේශගුණික අර්බුදය පිළිබඳව කළ දැඩි අනතුරු ඇඟවීම අප වහාම අවධානයට ගත යුතුය.
"එල් නිනෝ තත්ත්වය දැන් අපේ දොරකඩට විතරක් නෙමෙයි, ගේ ඇතුළට ම ඇවිත් රස්නය තවත් වැඩි කරමින් තියෙනවා. මේක ආරම්භයක් විතරයි. ශක්තිමත් වන එල් නිනෝ තත්ත්වය හරියට ගින්නට පිදුරු දමනවා වගෙයි. සූදානම් වීමේ කාලය දැන් අවසන්. මෙහි නරක ම ප්‍රතිඵල ලැබෙන තුරු බලා සිටීමට අපට කිසිසේත් ම කාලයක් නැහැ."
මහලේකම්වරයා පෙන්වා දෙන්නේ ඉහත සඳහන් කළ සෙල්සියස් අංශක 2.9ක උෂ්ණත්ව පිම්මට මූලික හේතුව මිනිසා විසින් සිදුකරන ෆොසිල ඉන්ධන භාවිතය බවයි. දත්ත මගින් අනතුර පෙන්වා දුන්නද, එය පාලනය කරගැනීමේ වගකීම ඇත්තේ මිනිසා සතුව බව ඔහු සිහිපත් කරයි.
කාලගුණ විද්‍යා දත්ත මගින් ඉදිරිපත් කරන මෙම පුරෝකථනයන් අපට පෙන්වා දෙන්නේ ඉදිරියේදී එල්ල විය හැකි දරුණු දේශගුණික බලපෑමයි. විද්‍යාත්මක ආකෘති මගින් අනතුරු ඇඟවීම් සිදු කළද, අවසාන ප්‍රතිඵලය තීරණය වන්නේ අප ගන්නා ක්‍රියාමාර්ග මතය.


