සටහන – රුවන් නෙළුගොල්ල
දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අද (10) සහ හෙට (11) යන දින දෙකේදී අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නියැළීමට තීරණය කර ඇති බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි.
ඒ, ගමන් වියදම් දීමනාව සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමිනි.
ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා මේ පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේය.
“එක් රේඛීය අමාත්‍යාංශයක, එක් පනතක් යටතේ බලය හිමිවෙලා තියෙන එක් ක්ෂේත්‍ර නිලධාරියෙකුට ඉන්ධන වියදම ලෙස එහෙම නැත්නම් ගමන් වියදම ලෙස රුපියල් 7000 – 8000 ක මුදලක් ලබාදෙනවා. හැබැයි ග්‍රාම නිලධාරීවරයා කියන්නේ ක්ෂේත්‍ර නිලධාරීන් 50කගේ පමණ රාජකාරි කරන එකම නිලධාරීයා, එම නිලධාරියෙකුට ලබාදෙන්නේ රුපියල් 600 ක සොච්චම් දීමනාවක් විතරයි. අපි බලධාරීන්ගෙන් ඇහුවොත් ඔවුන් මේ බෝලය මුදල් අමාත්‍යාංශයට පාස් කරනවා. මුදල් අමාත්‍යාංශයෙන් ඇහුවොත් දේශපාලන අධිකාරියට පාස් කරනවා. දේශපාලන අධිකාරිය 2027, 2028 අයවැයෙන් දෙනවා කියලා අයවැයට පාස් කරනවා. ඉතින් මේක අර බාලගිරි දෝෂය වගේ. මේක නවත්වාගෙන ඉන්න බහිරවයා මොකාද කියන එක තමා අපිටත් තියෙන ප්රශ්නය.
ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය ලෙස 10 සහ 11 දෙදින තුළ ලංකාවේ කිසිම ග්‍රාම නිලධාරීවරයෙක් රාජකාරියට වාර්තා කරන්නෙ නැහැ. ඔවුන් අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත්ව සිටින බව මේ මොහොතේදී අප දන්වා සිටිනවා”


